කොළඹ ගෞරවය රැක ගත් රොෂේන්ගෙන් සුපිරි ශතකයක්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

2174

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතියේ පැවැත්වෙන තරග අද (26) තෙවැනි දිනයටත් ක්‍රියාත්මක වුනා.

අද දිනයේ දී රොෂේන් සිල්වා සුපිරි ශතකයක් ලබාගෙන කොළඹ ඉනිම ඔසවා තබද්දී, ගාල්ල පසුපෙළ සවිමත් කළ සුමින්ද ලක්ෂාන් අගනා ලකුණු 60ක් ලබාගැනීමට සමත් වුනා.

යාපනය සහ කොළඹ අතර තරගය

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගයේ අද දිනය ආරම්භ වන විට කොළඹ කඩුලු 2ක් ලකුණු 3ක් තුල දැවී ගොස් අසීරු මට්ටමක පසුවුණා.

පළමු කඩුල්ල ලෙස ලකුණු 8ක් ලබා සිටි ශෙවෝන් ඩැනියල් දැවී ගිය පසුව පිටියේ එක්වූ නුවනිඳු සහ සම්මු සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 42ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිම ගොඩනැංවීම සඳහා අවශ්‍ය වුනු මූලික අඩිතාලම සකස් කර දුන්නා.

ඉන්පසුව පිටියට පැමිණි රොෂේන් සිල්වා කොළඹ ගෞරවය ආරක්ෂා කරගනිමින් පන්දු 202ක දී නොදැවී ලකුණු 147*ක් ලබාගෙන කොළඹ ලකුණු සටහන සවිමත් මට්ටමකට රැගෙන ආවා. රොෂේන්ගේ සුපිරි ඉනිම සඳහා 4 පහර 16ක් ඇතුළත් වුනු අතර එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලබා ගත් 25 වැනි ශතකයයි. ක්‍රිෂාන් සංජුල ලකුණු 35යි.

පන්දු යැවීමේ දී යාපනය වෙනුවෙන් වමතින් දඟපන්දු යවන දුනිත් වෙල්ලාලගේ දැනට කඩුලු 2ක් දවාගෙන තිබෙනවා. තරගයේ තෙවැනි දිනයේ නිමාව සටහන් වන විට කොළඹ කණ්ඩායම යාපනයට වඩා තවත් ලකුණු 246ක් පසුපසින් පසුවෙනවා.

  • යාපනය – ලකුණු 555 (173.4): සමින්ද ප්‍රනාන්දු 141, නවෝද් පරණවිතාන 77, දුනිත් වෙල්ලාලගේ 74, ගීත් කුමාර 63, සන්තුෂ් ගුණතිලක 61, සදීර සමරවික්‍රම 58, ප්‍රභාත් ජයසූරිය 6/169.
  • කොළඹ (තෙවන දිනය අවසානයේ) – 309/8 (91): රොෂේන් සිල්වා 147*, ක්‍රිෂාන් සංජුල 35, දුනිත් වෙල්ලාලගේ 2/93

ගාල්ල සහ මහනුවර අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ගාල්ල ක්‍රීඩකයින් කඩුලු 8ක් දැවී ලකුණු 388ක් ලබාගෙන සිටියේ මහනුවර පළමු ඉනිමට වඩා තවත් ලකුණු 94ක් පසුපසින් සිටිමින්.

එහි දී පබසර වඩුගේ 4 පහර 9ක් සහ 6 පහර 4ක් සමඟ ලකුණු 128ක් ලබා ගත්තා. ගාල්ල පසුපෙළ සවිමත් කළ සුමින්ද ලක්ෂාන් පන්දු 67ක් තුල ලකුණු 60ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට 4 පහර 5ක් ඇතුළත් වුනා.

දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි ගාල්ල කඩුලු 3ක් දැවී ලකුණු 185ක් ලබාගෙන සිටියා. ගාල්ල වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් වඩුගේ දැවී ගිය පසුව ඔවුන්ගේ බොහෝමයක් පිතිකරුවන් ලකුණු 20 සීමාව ඉක්මවා යමින් ගාල්ල ලකුණු සටහන ඉහළ නැංවීම සඳහා සිය දායකත්වය ලබා දුන්නා.

  • මහනුවර – 482 (120.1): කමිඳු මෙන්ඩිස් 111, ලසිත් කaaස්පුල්ලේ 93, ලහිරු උදාර 92, කසුන් විදුර 58, සහන් ආරච්චිගේ 52, හේෂාන් හෙට්ටිආරච්චි 4/64, නිමේෂ් විමුක්ති 3/120, චානක රුවන්සිරි 2/96.
  • ගාල්ල (තෙවැනි දිනය අවසානයේ) – 388/8 (123.1): පබසර වඩුගේ 128, සුමින්ද ලක්ෂාන් 60, සංගීත් කුරේ 36, නිපුන් රන්සික 2/45, සහන් ආරච්චිගේ 2/58, අසිත ප්‍රනාන්දු 2/64.

මෙම තරග සිව්වැනි සහ අවසන් දිනයටත් (27) ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<