මෙරට පාපන්දුව ගොඩගන්න ක්‍රීඩා ඇමතිගෙන් වැඩපිළිවෙළක්!

183

ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් වන පාපන්දු ක්‍රීඩාව දියුණු කළ යුතු බවත්, ඒ සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමට අවැසි බවත් ගරු ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා (09) ප්‍රකාශ කළා.

ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අසනු ලැබූ වාචික පැනයකට පිළිතුරු දෙමිනි. 

කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ඔස්සේ මෙරට පාපන්දු ක්‍රීඩකයන් ප්‍රමාණය මිලියන 02ක් දක්වා වැඩි කිරීම තම අපේක්ෂාව බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළා. පාපන්දු ක්‍රීඩා කිරීම අතින් ලෝක ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකාව 206 වැනි තැන පසුවන අතර, දකුණු ආසියානු රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ අවසන් ස්ථානය බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙරට පාපන්දු ක්‍රීඩකයන් සංඛ්‍යාව ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා වැඩි බව ද පැවසීය.

ඉදිරියේ දී ශ්‍රී ලංකාව පාපන්දු ලෝක කුසලාන තේරීම් කටයුතුවලට ද සම්බන්ධ වන බවත්, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පවත්වන පාපන්දු තරගාවලිය මෙරට දී පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා. 

තවත් පාපන්දු පුවත්:

පාපන්දු ක්‍රීඩාව සඳහා අනුග්‍රහයක් හෝ ඉලක්කගත වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි වසර 05 තුළ ලෝක ශ්‍රේණි ගත කිරීමේ මට්ටමේ ඉහළට යාම අරමුණ කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙරට සිටින දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් යුරෝපය ඇතුළු රටවල්හි වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයන් වශයෙන් ක්‍රීඩා කරන බව පැවසූ අමාත්‍යවරයා ඔවුන්ට මෙරටට පැමිණීමට ආරාධනා කරන බව ද, එය දේශීය ක්‍රීඩකයින්ට නව අත්දැකීමක් වන බව ද පෙන්වා දුන්නා. 

තවද අප රට තුල අර්ධ වෘත්තීමය පාපන්දු ලීගයක්වත් නොමැති බව පැවසූ අමාත්‍යවරයා, අර්ධ වෘත්තීමය සහ වෘත්තීමය පාපන්දු ලීගයක් මේ වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, එහි පුහුණු කටයුතු අප්‍රේල් මාසයේ අවසානයේ සිට ආරම්භ කරන බවත් ඔහු සඳහා කළා. 

එමෙන්ම පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා ඉදිරියේ දී සෑම සතියකම සිකුරාදා දිනය Football Friday නමින් නම් කර ක්‍රීඩාවේ ජයග්‍රහණ කරා යාමට කටයුතු කරන බව ද ඔහු පැවසුවා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<