ක්‍රීඩාලෝලීන් හඬවමින් මෙලොව හැර ගිය ක්‍රීඩා තරු

5940

මානසික ආතතිය සහ විෂාදය වැනි මානසික තත්වයන් සෑම පුද්ගලයෙකුට මෙන්ම ක්‍රීඩා තරුවලට ද එක ලෙස බලපාන්නකි. 

ඒ අනුව මෙවන් තත්වයන් සහ වෙනත් විවිධ ගැටලු හේතුවෙන් ජීවත් වනවාට වඩා මරණය පහසු යැයි සිතමින් සිය දිවි නසා ගත් පුද්ගලයින් රැසක් අපට ක්‍රීඩා ඉතිහාසය දෙස හැරී බැලීමේ දී හඳුනා ගත හැක. 

පසුගිය කාලය පුරාවට සිදු වූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් සිය දිවි නසා ගැනීම සමාජයේ දැඩිව කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති පසුබිමක ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද එය දැඩිව බලපාන සහ අදාළ කරුණක් බව අප අමතක නොකළ යුතුය. 

ඒ අනුව පහතින් දැක්වෙන්නේ ලක්‍ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ආදරයට ලක්ව සිටිය දී ඔවුන්ව හඬවමින් සිය දිවි නසා ගනිමින් මෙලොව හැර ගිය ක්‍රීඩා තරු කිහිපයකි. 

Dan Vickerman

Daniel Vickerman යනු ඕස්ට්‍රේලියාවේ Wallabies ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කරමින් ‘Lock’ ස්ථානයේ ක්‍රීඩා කළ රග්බි ක්‍රීඩාලෝලීන් දැඩි ලෙස ඇලුම් කළ ප්‍රබල රග්බි ක්‍රීඩකයෙකි. 

2002 වසරේ සිට 2012 වසර දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියානු ජාතික රග්බි කණ්ඩායම වෙනුවෙන් තරග 63කට ක්‍රීඩා කළ ඔහු එහි දී එම කාලය තුළ පැවති 2003, 2007 සහ 2011 රග්බි ලෝක කුසලාන තරගාවලි 3 දී ම ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඉහළ දස්කම් දක්වන්නට ද සමත් විය. ඊට අමතරව ඔහු Super Rugby තරගාවලිවල දී Brumbies සහ New South Wales Waratahs කණ්ඩායම් ද නියෝජනය කරමින් ක්‍රීඩා කරන්නට විය. 

පළමුව 2008 වසරේ දී රග්බි ක්‍රීඩාවට සමු දී නැවතත් 2011 වසරේ දී ක්‍රීඩාවට පිවිසෙන්නට පෙර එම කාල සීමාව තුළbදී ඔහු එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ භූමි ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් සම්පූර්ණ කරන්නට වූ අතර එහි දී සිය සරසවි කණ්ඩායම මෙන්ම Northampton Saints කණ්ඩායම ද නියෝජනය කරමින් ඔහු රග්බි ක්‍රීඩාවේ දී නිරත වන්නට විය. අනතුරුව 2012 වසරේ දී සිය දකුණු පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහු සම්පූර්ණයෙන් ම රග්බි ක්‍රීඩාවට සමුදෙනු ලැබීය. 

කෙසේ නමුත් රග්බි ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව ක්‍රීඩාවෙන් තොර ඊට පසු ජීවිතයට හැඩගැසීම ඔහුට දැඩි අභියෝගයක් මෙන්ම මානසික පීඩනයක් වූ බව ද වාර්තා වන්නට වූ අතර ඒ අනුව 2017 වසරේ දී Sydney නුවර සිය නිවස තුළ ඔහු සියදිවි නසාගනිමින් මරණයට පත්වන්නට විය. 

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු ඒ වන විට 37 වැනි වියේ පසු වූ අතර ඔහුගේ මරණය ක්‍රීඩාවට සමුදීමෙන් අනතුරුව ක්‍රීඩකයින් රැසක් මුහුණ දෙන විශාල ගැටලුවක් වන ඊට පසු ජීවිතයට හැඩගැසීමේ අපහසුතාවල බරපතලකම තවදුරටත් කියාපාන්නට විය. 

Robert Enke

1995 සිට 2009 කාල සීමාව තුළ වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නියැලුණු Robert Enke ජර්මනියෙන් බිහි වූ දක්‍ෂතම ගෝල රකින ක්‍රීඩකයෙක් ලෙස අදටත් නම් දරා සිටියි. 

Benfica සහ Hannover 96 ඇතුළු තවත් පාපන්දු සමාජ රැසක් නියෝජනය කරමින් ඉහළ දස්කම් දැක්වූ ඔහු ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ද තරග 8කට ක්‍රීඩා කර තිබුණි. 

2008 Euro පාපන්දු තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ජර්මානු කණ්ඩායම ද නියෝජනය කළ ඔහු දෙවරක් ජර්මනියේ හොඳම ගෝල රකින ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2007/08 තරග වාරයේ සිට Hannover කණ්ඩායමේ නායකත්වය ද හොබවනු ලැබීය. 

2010 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී Enke ජර්මානු කණ්ඩායමේ අංක 1 ගෝල රකින ක්‍රීඩකයා ලෙසට කටයුතු කරනු ඇතැයි බොහෝ දෙනෙක් මත පළකර තිබුනත්, 2009 වසරේ දී සියදිවි හානිකර ගනිමින් ඔහු ජීවිතක්‍ෂයට පත්වන්නට විය. 

වසර 6කට අධික කාලයක් පුරාවට මානසික විෂාදයෙන් ඔහු පෙළුණු බවත්, ඊට මානසික වෛද්‍යවරයෙකුගෙන් ඔහු ප්‍රතිකාර ලබාගත් බවත් පසුව ඔහුගේ බිරිඳ හෙළිකර සිටින්නට වූ අතර තවදුරටත් අනාවරණය වූයේ 2006 වසරේ දී සිදු වූ ඔවුන්ගේ දියණියගේ අභාවයේ ශෝකය ද ඔහුට දරා ගැනීමට නොහැකි වූ බවයි

David Bairstow

වර්තමාන එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන Jonny Bairstowගේ පියාණන් වන David Bairstow ද මරණයට පත්වූයේ සිය දිවි නසාගැනීමේ සිදුවීමකට ගොදුරු වෙමිනි. 

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 4ක් සහ එක්දින තරග 21කට ක්‍රීඩා කළ David සිය ක්‍රීඩා සමාජ ක්‍රිකට් දිවියම Yorkshire සමඟ ඔවුන් වෙනුවෙන් ගතකළේ ඔවුන් වෙනුවෙන් තරග 459ක් ක්‍රීඩා කරමින් තවදුරටත් 1984 සිට 1986 වසර දක්වා කණ්ඩායමේ නායකත්වය ද දරමිනි. එහි දී ඔහු පිතිකරුවෙක් ලෙස මෙන්ම කඩුලු රකින්නෙක් ලෙස ද ඉහළ දක්‍ෂතා දැක්වූයේ ක්‍රීඩාලෝලීන්ගේ ආදරය දිනා ගනිමිනි. 

1990 වසරේ දී ක්‍රීඩාවට සමුදීමෙන් අනතුරුව ඔහු ප්‍රසිද්ධ ගුවන් විදුලි ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරනු ලැබූ නමුත් අවස්ථාවන් රැසක දී Yorkshire පරිපාලනය සහ ඔහු අතර බහින්බස්වීම් ඇතිවන්නට විය.

තවදුරටත් ඔහු මානසික විෂාදයෙන් ද පෙළුණු අතර 1997 වසරේ දී ඔහු ඖෂධ නියමිත මාත්‍රය ඉක්මවා ලබා ගනිමින් සිය දිවි නසා ගැනීමට තැත්කළත් එහි දී ඔහු මරණයට පත්වූයේ නැත.

ඉන් සති කිහිපයකට පසුව Yorkshire නුවර Marton-cum-Graftonහි සිය නිවසේ දී සිය දිවි හානිකර ගනිමින් ජීවිතක්‍ෂයට පත්වූ අතර කෙසේ නමුත් මේ පිළිබඳව පරීක්‍ෂා කළ හදිසි මරණ පරීක්‍ෂකවරයා සිය වාර්තාවේ සටහන් කර තිබුණේ ඒ හරහා Davidට සිය දිවි හානිකර ගැනීමට අවශ්‍යව තිබූ බව ඔහු විශ්වාස නොකරන බවත් එය බොහෝ විට ඔහුගේ තත්වයට උදව් ලබා ගැනීම පිණිස සිදු කළ දෙයක් බව ඔහු සැක කරන බවත්ය.

Ricky Berry

අඩි 6’8ක උසකින් යුතු වූ ‘small forward’ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ Ricky අනාගතයේ දී ඉතා දක්‍ෂ ක්‍රීඩකයෙකු වනු ඇති බවට පැසිපන්දු ක්‍රීඩාවේ ප්‍රවීණයින් මත පළකර තිබුණි. ආරම්භයේ දී සිය විශ්ව විද්‍යාල කණ්ඩායම් තුළ දක්‍ෂතා හමුවේ NBA තරගාවලියේ ක්‍රීඩා කරනු ලැබූ Sacramento Kings කණ්ඩායම විසින් ඔහුව එම කණ්ඩායමට එක්කරගනු ලැබීය.

ඒ අනුව ඔහු ක්‍රීඩා කළ සිය මංගල තරග වාරයේ දී කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ඔහු එහි දී 11.0ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක්, 3.1ක rebounds සාමාන්‍යයක් සහ 1.3ක assists සාමාන්‍යයක් පවත්වා ගැනීමට සමත් වූ අතර තවදුරටත් ලකුණු 3 කලාපයේ සිට පන්දුව යොමුකිරීමේ 40.6%ක ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට සමත් විය.  

කෙසේ නමුත් ඉතා හොඳ අනාගතයක් ඉදිරියේ පෙනි පෙනී තිබිය දීත් ඔහු ඉතා ශෝකජනක ලෙස 1989 වසරේ දී 24 වැනි වියේ පසුවෙද්දී වෙඩි තබා ගනිමින් සිය දිවි හානිකර ගන්නට විය. ඒ වන විට ඔහු මානසික විෂාදයෙන් පෙළුණු බවට කිසිදු සලකුණක් සොයා ගැනීමට නොහැකි වූ අතර කෙසේ නමුත් ඔහු සිය දිවි හානිකර ගන්නට පෙර ඒ පිළිබඳ සටහනක් තබන්නට කටයුතු කර තිබුණි

තවත් කියවන්න;

Ryan Freel

Freel ඇමෙරිකාවේ සිටි ස්ථාන කිහිපයකම ක්‍රීඩා කරමින් ඉහළ දක්‍ෂතා දැක්වීමට සමත් වූ ප්‍රබල බේස්බෝල් ක්‍රීඩකයෙකි. 2001 සිට 2009 දක්වා කාලය තුළ ඔහු Baltimore Orioles, Chicago Cubs, Cincinnati Reds, Kansas City Royals සහ Toronto Blue Jays වැනි ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් නියෝජනය කරමින් ඔහු එරට Major League Baseball තරගාවලියේ ක්‍රීඩා කරනු ලැබීය. 

ක්‍රීඩකයෙකු ලෙස ඔහු දැක්වූ ඉහළ දක්‍ෂතාවලට අමතරව ක්‍රීඩාලෝලීන් සමඟ ඉතා සුහදශීලී වෙමින් ඔවුන් කෙරෙහි ඔහු දැක්වූ ආදරය සහ ගෞරවය නිසාවෙන් ඔහු ද ක්‍රීඩාලෝලීන්ගේ දැඩි ආදරයට ලක්වන්නට විය. 

2010 වසරේ දී ක්‍රීඩාවට සමු දුන් ඔහු ඉන් වසර දෙකකට අනතුරුව 2012 වසරේ දී ඔහු විසින්ම වෙඩි තබා ගනිමින් සිය දිවි හානිකර ගන්නට විය. මරණයෙන් අනතුරුව ඔහුගේ මොළය ඥාතීන් විසින් Boston සරසවියට පරිත්‍යාග කළ අතර එහි දී සිදු කරනු ලැබූ පරීක්‍ෂණවල දී අනාවරණය වූයේ ඔහු හිසට යමක් වාර ගණනාවක් පුරාවට තදින් වැදීම හේතුවෙන් ඇති වන Chronic Traumatic Encephalopathy නම් රෝග තත්වයකින් පෙළුණු බවයි. 

ඊට අමතරව ඔහු විෂාදය සහ මානසික ආතතිය ඇතුළු තවත් මානසික රෝග කිහිපයකින්ම පීඩා විඳින්නට ද විය.

කෙසේ නමුත් අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ, මානසික සහනයක් අවැසි ඕනෑම අවස්ථාවක දී ඔබට පිහිට විය හැකි, කිසිසේත් ඔබව තනි නොකරන පුද්ගලයින් සහ සේවාවන් ශ්‍රී ලංකාවේ ද ඇති බවයි.

මනසට පීඩාකාරී ඕනෑම ගැටලුවකට ඔබට විසඳුමක් ලබා දෙන්නට පහත සඳහන් අංක ඔස්සේ සම්බන්ධ වන්න. සිය දිවි හානි කරගන්නට සිතෙන සෑම වාරයකම ඔබේ ජීවිතයට අවස්ථාවක් දෙන්න අධිෂ්ඨාන කරගන්න. මතක ඇතුව පහත සඳහන් ආයතන වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන්න.

  • CCC line – 1333 (24 පැයේම ක්‍රියාත්මකයි)
  • ජාතික මානසික සෞඛ්‍ය ආයතනය – 1926 (ගාස්තු රහිත 24 පැයේම ක්‍රියාත්මකයි)
  • සුමිත්‍රයෝ – 011 2696666 (උදෑසන 9.00 සිට රාත්‍රි 8.00 දක්වා)
  • ශාන්ති මාර්ගම් – 0717639898

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<