බුරුල් ඇණයක් නොවූ රියල් ඇණය – ගුරුසිංහ

7771

ඔබේ එක්දින කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස ඔබ තෝරාගන්නේ කුමන ආකාරයේ පිතිකරුවෙක් ද? මේ වන විට ලෝක එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවණතාවය නම් කණ්ඩායමේ ස්ථාවරම පිතිකරු අංක 3හි පිතිකරණයේ යෙදීමයි. එහෙත් ඔබේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන්නේ සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ නම්?

ඔව්, එසේ නම් ඔබේ කණ්ඩායමේ අංක 3හි ක්‍රීඩා කළ යුත්තේ අසංක ගුරුසිංහ වැන්නෙකි. ලෝක ක්‍රිකට් වංශ කතාවේ අඩුවෙන් කතාබහ වන වැඩියෙන් වැඩ කළ ක්‍රීඩකයින් ගැන කෙරෙන පස්වැනි දිගහැරුමයි මේ.

පිටිය මැද අප්‍රකට කඩිසරයා – චාමර සිල්වා

ඔබ මුල්පෙළ පිතිකරුවෙකු නම් වේගපන්දු යවන්නන්ට එරෙහිව හොඳින් පන්දුවට පහර දීමේ හැකියාව ඔබට අත්‍යාවශ්‍යය. එමෙන්ම ශක්තිමත් ආරක්ෂණයක් ඔබ සතු විය යුතුය. අප මේ කතා කරන්නේ හිස් ආවරණ, පා ආවරණ සහ වෘෂණ කෝෂ ආවරණ ගැන නොව, ආරක්ෂාකාරී පිතිකරණය ගැන ය. අසංක ගුරුසිංහ වනාහි ඉදිරි පාදයේ ආරක්‍ෂිත පහරකින් ලෝන් ඕෆ් හරහා හතරේ පහරක් පවා වාර්තා කරගැනීමේ ශක්තියක් තිබූ ආරක්ෂකයෙකි.

බොහෝ දෙනා ක්‍රිකට් ක්‍රීඩාවේ ආරක්ෂාකාරී පියවරයන් ගැන කතා කරන්නේ අවතක්සේරුවෙනි. එහෙත් පිත්ත පහරකට යොමුකරන්නා සේම පිත්ත ඔබ අසලම තබාගෙන ක්‍රීඩා කිරීමේ තාක්ෂණය ද ඉතා වැදගත් ය. උදාහරණ වශයෙන් සනත් ජයසූරිය විසින් පිත්ත විසි නොකර කවර් පොයින්ට් හරහා එල්ල කරන විශේෂ පහරක් අපි දැක ඇත්තෙමු. හරියටම කිවහොත් එය පිත්තෙන් කරන තල්ලුවක් පමණි. සනත් එම ආරක්‍ෂිත තල්ලුවෙන් වාර්තා කළ හතරේ පහරවල් මම කොතෙකුත් දැක ඇත්තෙමි. එහෙත් ඔහු ගැන කතා කරන බොහෝ තැන්වල දී අප කතා කරන්නේ ඔහුගේ වේගවත් ස්ක්වෙයාර් කට් පහරත්, කවර් ඩ්‍රයිව් පහරත්, ෆ්ලික් පහරත්, ලොෆ්ටඩ් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරත් ගැන පමණි.

ඔබ සුපිරි පිතිකරු විරාත් කෝලිව හොඳින් අධ්‍යයනය කරන්නේ නම් ඔහු ද මේ වන විට කවර් ඩ්‍රයිව් පහර එල්ල කරන්නේ තල්ලුවක් ලෙස ය. එහි දී ඔබ ආරක්ෂිත ය. පන්දුව සෙමෙන් ගියත්, වේගයෙන් ගියත්, කැපි කැපී ගියත් එය බිම දිගේ ගොස් හතරේ සීමාව පසුකරන්නේ නම් ඔබට ලකුණු හතරකි. එහෙත් අවදානම අඩුම ක්‍රමය ඔබ විසින් තෝරාගැනීම වැදගත් ය. විශාල පහරවල් එල්ල කිරීමේ දක්ෂතාවය තිබුනත්, තම පහරවල් ආරක්ෂිතව එල්ල කළ ගුරුසිංහ, මේ කරුණ හොඳින්ම ඔප්පු කළ පිතිකරුවෙකි.

අංක 3හි ක්‍රීඩා කළ යුත්තේ අසංක ගුරුසිංහ වැන්නෙකි. – espncricinfo.com

ඉදිරි පාදය මඳක් ඔසවා එල්ල කරන පුල් පහර, පන්දුව එලවා දමන ලෙග් ග්ලාන්ස් පහර, කලබලයකින් තොරව පන්දුව තල්ලු කර හරින ඕෆ් ඩ්‍රයිව් පහර, පන්දුව එතැනම බිම පතිත කරන පසුපාදයේ ආරක්‍ෂිත පහර, ඉදිරියට පැන ඉහළින් එල්ල කරන ඕන් සහ ඕෆ් ඩ්‍රයිව් පහරවල් ගුරුසිංහගේ පිතිකරණය ගැන සිහිකරන විට ඉක්මණින්ම මතකයට නැගෙන පහර සංකලනය යි.

ගුරුසිංහගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ගමන ඇරඹෙන්නේ 1985 නොවැම්බර් 03 වැනිදා ය. එවිට ඔහුගේ වයස අවුරුදු 19කි. විශේෂත්වය වන්නේ ගුරුසිංහ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කිරීමයි. එහි දී පාකිස්තානයට එරෙහිව අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි ගුරුසිංහ දුවද්දී දවා ගැනීමකට හසුවන්නේ ලකුණු නොලබාම ය. එය, ඉන් වසරක්ම ඔහුව එක්දින කණ්ඩායමෙන් පිටත තැබීමට හේතු විය. 

එහෙත් මංගල එක්දින ජාත්‍යන්තර තරගයට දින තුනකට පසුව ඔහුව මංගල ටෙස්ට් තරගය සඳහා ද කැඳවනු ලැබීය. එහි දී ගුරුසිංහ පිටියට පිවිසෙන්නේ අංක 8, කඩුලු රකින පිතිකරු ලෙසයි. ඉම්රාන් ඛාන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 17කි. දෙවැනි ඉනිමේ දී ඔහු විසින් ලබාගත්තේ ලකුණු 12ක් පමණකි.

එහෙත් ගුරුසිංහගේ පිතිකරණය ස්ථාවර වන්නට පටන් ගත්තේ කුමාර් සංගක්කාරට සිදු කළාක් මෙන්ම කඩුලු රකින අත්වැසුම් ගලවා දමා ඔහුව අංක 3 ස්ථානය දක්වා රැගෙන ආ පසු ය. පාකිස්තානයට එරෙහිව පැවති ඔහුගේ තෙවැනි ටෙස්ට් තරගයේ දී ම ඔහු සිය මංගල ශතකය වාර්තා කළේය. නොදැවී ලකුණු 116ක ඉනිමක් වූ එය ඉම්රාන් ඛාන්, වසීම් අක්‍රම්, අබ්දුල් කදීර් වැනි ප්‍රබල පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ වාර්තා වූවකි. එහි දී සිව්වැනි කඩුල්ල සඳහා අසංක ගුරුසිංහ සහ අර්ජුන රණතුංග ලකුණු 240ක නොදැවුණු සබඳතාවක් පැවැත්වූ අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. මේ වන විටත් P. සරා ඕවල් පිටියේ හතරවැනි කඩුල්ල සඳහා වාර්තා වී ඇති ඉහළම ලකුණු සබඳතාවය එයයි. 

නිවී සැනසිල්ලේ ලකුණු රැස්කළ හැකි “ගුරා”

1986 දී නැවත එක්දින ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වූ ගුරුසිංහ අංක 3 පිතිකරු ලෙස සාර්ථක වන්නට විය. ඒ පන්නරයෙන්ම ටෙස්ට් කණ්ඩායමේ ද අංක 3 ස්ථානය තමන් යටතේ පවත්වා ගන්නට ඔහු සමත් විය. 

1991 නවසීලන්ත ටෙස්ට් සංචාරය ඔහුට විශේෂ එකක් විය. පළමු තරගයේ දී එක් ඉනිමක් පමණක් ක්‍රීඩා කළ ඔහු ලකුණු 70ක් වාර්තා කළේය. දෙවැනි ටෙස්ට් තරගයේ දී ගුරුසිංහ විශේෂ දස්කමක් පෑවේය. එහි ඉනිම දෙකේ දී ම ශතක වාර්තා කළ ගුරුසිංහ ලකුණු 119 සහ 102ක් වශයෙන් ලබා ගත්තේය. තෙවැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 50 සහ 29ක් වශයෙන් වාර්තා කරමින් සමස්ත තරගාවලියේ දී ලකුණු 370ක් වාර්තා කළේ ලකුණු 74.00ක සාමාන්‍යයක් පවත්වා ගනිමිනි.

නවසීලන්තයට එරෙහිව පෙන්වූ මෙම සාර්ථකත්වයත් සමඟ 1994 නවසීලන්ත ටෙස්ට් සංචාරයේ දී ඔහුව ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට යොමු කළ අතර එහි දී දෙවැනි තරගයේ දී ද ශතකයක් වාර්තා කරන්නට ඔහු සමත් විය.

1994 වන විට ශ්‍රී ලංකාව, ලෝක ක්‍රිකට් අධිරාජ්‍යයන්ට අභියෝගයක් වෙමින් පැවති දියුණු වන ක්‍රිකට් රාජ්‍යයකි. ඒ වන විට ඉතාම සටන්කාමී කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු වූ අතර ෂාජා වැනි තරගාවලිවලට අප කණ්ඩායමට තිබූ ඉල්ලුම ඉතා ඉහළ ය. ගුරුසිංහගේ පළමු එක්දින ශතකය වාර්තා වූයේ 1994 ෂාජා ක්‍රිකට් තරගාවලියේ දීයි. එහි දී නවසීලන්තයට එරෙහිව ලකුණු 217ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම  අවසන් පන්දු වාරය තෙක්ම සටන් කළේ ගුරුසිංහගේ ස්ථාවර පිතිකරණය නිසාවෙනි. අනෙක් අන්තයේ කඩුලු එකිනෙක කඩා වැටෙද්දී අංක 3 පිතිකරු වූ ඔහු නොදැවී ලකුණු 117ක් ලබා අවසන් පන්දුව තෙක්ම සටන් කළ ද, ලකුණු දෙකකින් ශ්‍රී ලංකාව පරාජය විය.

එසේ ගොඩනැගෙමින් ආ ශ්‍රී ලංකා කණ්ඩායම නව්‍ය සැලසුම් ක්‍රිකට් ක්‍රීඩාවට එක් කරමින් වේගවත් ආරම්භක පිතිකරුවන් ලෙසසනත්-කළු සුසංයෝගය ඉදිරිපත් කරන විට, ඔවුන්ට රිසි සේ පන්දුවට පහර දීමේ නිදහස සලසා දුන් එක් පිතිකරුවෙකි ගුරුසිංහ. සනත්-කළු විසින් අවශ්‍ය වේගය ලබා දුන් පසු පන්දුවාර 50 පුරාම ඉනිම ස්ථාවර කරගනිමින් පන්දුවට පහර එල්ල කිරීමේ හැකියාව ගුරුසිංහ සතු විය. 

අනෙක් අන්තයෙන් අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න වැනි වේගයෙන් ලකුණු රැස්කරන්නන් පැමිණීමට නියමිතව තිබූ නිසා ඉනිමට අවශ්‍ය වූ ස්ථාවරත්වය ලබා දීමේ වගකීම සෑම විටම පැවරුණේ ගුරුසිංහ හට ය. ඒ වන විට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු මෙන්ම කෙළින් අදහස් ප්‍රකාශ කරන්නෙකු ලෙස ද ප්‍රකට වූ “ගුරා”, තම ජ්‍යේෂ්ඨත්වය ද උපයෝගී කරගෙන තරුණ ක්‍රීඩකයන්ව හැසිරවීමට නායක අර්ජුනට සහාය විය.

1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැමිණෙන්නේ කණ්ඩායම එකාවන්ව එක් රිද්මයකට ක්‍රීඩා කරමින් සිටි කාල වකවානුවක දී ය. එහි දී ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය පැවැත්වුණේ එවකට අභියෝගාත්මක කණ්ඩායමක් වූ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. කොළඹ SSC පිටියේ දී පැවති තරගයේ දී ශ්‍රී ලංකාවට ලැබුණු ඉලක්කය 229කි. 

සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ යන දෙදෙනාම ලකුණු 23ක් තුළ දැවී ගිය ද, අරවින්ද ද සිල්වා සමඟින් එක්වූ අසංක ගුරුසිංහ සෙමෙන් ආරම්භයක් ලබාගෙන පසුව තම ගියරයන් මාරු කළේය. ඉනිම මැද දී හදිසියේම වේගයෙන් පන්දුවට පහර දීමට උත්සුක වූ ගුරුසිංහ ගැන එවකට ගුවන් විදුලි විස්තර විචාරකයන් වූ ප්‍රේමසර ඈපාසිංහ සහ පාලිත පෙරේරා යන මහත්වරුන් පවා විස්මයට පත්වූ අයුරු අදටත් මගේ දෙසවනෙහි රැඳී ඇත.

සිම්බාබ්වේ කණ්ඩායමේ මද වේග සහ දඟපන්දු යවන්නන් සියල්ලන්ටම බැටදෙන්නට වූ ගුරා හතරේ පහරවල් 5ක් සහ 6 පහරවල් 6ක් එල්ල කළේය. එවකට ප්‍රබලතම සිම්බාබ්වේ පන්දු යවන්නා වූ හීත් ස්ට්‍රික් හටවත් එම ප්‍රහාරය වළක්වා ගත නොහැකි විය. පන්දු 100ක දී ලකුණු 87ක් ලබා සිටි ගුරුසිංහ දුවද්දී දැවී ගිය අතර අර්ජුන සහ හෂාන් එක්වී තරගය අවසන් කළේ පන්දුවාර 37ක් තුළ ලකුණු 229 ඉලක්කය සපුරා ගනිමිනි.

මීළඟ තරගයේ දී ඉන්දියාවට එරෙහිව නවදිල්ලියේ දී ලකුණු 25ක් වාර්තා කළ ගුරුසිංහ, පසුව අස්ගිරියේ දී කෙන්යාවට එරෙහිව පැවති තරගයේ දී පන්දු 103කින් ලකුණු 84ක් රැස්කළේය. ශ්‍රී ලංකාව එක්දින ඉනිමක දී ලකුණු 398ක් ලබා ලෝක වාර්තාවක් තැබුවේ මෙම තරගයේ දී ය. ඉන්පසුව තරගයේ දී එංගලන්තයට එරෙහිව ෆයිස්ලාබාද් හිදී ගුරුසිංහ ලකුණු 45ක් රැස්කළේය. ඉන්දියාවට එරෙහිව කල්කටා හිදී පැවති අවසන් පූර්ව තරගයේ දී පමණක් ලකුණක් ලබා අසාර්ථක වූ ගුරුසිංහ අවසන් මහා තරගයට පැමිණෙන්නේ ඉතිහාසය අලුතින් ලියන්නට ය.

පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ දී ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 23 දී ක්‍රීඩාගාරයට හරවා යැවුණේ ශ්‍රී ලංකාව සහභාගී වූ ලෝක කුසලාන පළමු තරගයේ දී සිදු වූ ලෙසම ය. නැවතත් ඉනිම ගොඩනැගීමේ වගකීම පැටවුනේ ගුරා සහ අරවින්දගේ කරවල් මතට යි. ගුරුසිංහ පුරුදු පරිදි ඉනිම ස්ථාවර කරමින් එක් අන්තයක් රැකගෙන, නිදහසේ පන්දුවට පහර දෙන අරවින්දට වැඩි අවස්ථා ලබාදුන්නේය.

දිවා රාත්‍රී තරගයක් වූ එහි දී ඇස පන්දුවට හුරු වූ පසු ගුරුසිංහ සුපුරුදු පරිදි විශාල පහරවල් එල්ල කරන්නට විය. ෂේන් වෝන් පිත්ත තිරස්ව තබා ලෝන් ඕෆ් වලට ඉහළින් එල්ල කළ දැවැන්ත හයේ පහර මාගේ ක්‍රිකට් රසික දිවියේ අමතකම නොවන මතකයක් වන්නේ, සනත්-කළු දැවී ගිය පසු ඇතිවූ කම්පනයෙන් නින්දට වැටුණු වයස අවුරුදු 8ක මා නැවත අවදි වූයේ එම පහර දැකුමට වීම ය. 

පසුව හදිසියේම ඔහු ඔහුගේ ඇස් කාච මාරු කරනු අපි දුටිමු. දෘෂ්ටියේ යම් ගැටලුවක් තිබූ ගුරුසිංහ අප දන්නා කාලයේ පටන් උපැස් යුවලක් පළඳනු වෙනුවට ක්‍රිකට් ක්‍රීඩා කළේ ඇස් කාච පළඳාගෙන ය. එම කාච මාරුවෙන් පසුව ඔහු පෝල් රයිෆල් හට ඉදිරියට පැමිණ පහරක් එල්ල කරන්නට ගොස් ලකුණු 65කට දැවී ගියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉහළ නංවා, ඉනිම ජයග්‍රහණය කරා රැගෙන යා හැකි ස්ථානයකට ඔසවා තැබූ ගුරුසිංහගේ දැවී යාමෙන් පසු එක්වූ අරවින්ද-අර්ජුන පුරාවෘත්තය 1996 ලෝක කුසලාන අවසන් මහා තරගය විජයග්‍රාහීව අවසන් කළේ මේ වන විටත් ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කළ එකම එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය සපථ කරවමිනි. එම තරගාවලිය පුරාවටම ගුරුසිංහ ලකුණු 25ට අඩුවෙන් දැවී ගියේ එක්වරක් පමණකි. 

ඉන්පසුව ක්‍රිකට් පරිපාලනය සමඟ ඇතිවූ යම් යම් මත ගැටුම් හේතුවෙන් 1996 නොවැම්බර් මාසයේ දී පාකිස්තානයට එරෙහිව ෂාජා හිදී සහභාගී වූ එක්දින තරගයෙන් පසුව ගුරුසිංහ එක්දින ක්‍රිකට් ක්‍රීඩා නොකළේය. මේ සියල්ල සිදු වූයේ ඔහු තම පිතිකරණ රිද්මයේ ඉහළ මට්ටමක රැඳී සිටි අවධියක වීම අවාසනාවකි. 1996 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ ගුරුසිංහගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් ඉනිම් 5 දී ලකුණු වාර්තා වූයේ මේ අයුරිනි.

  • 143 vs Australia at Melbourne 
  • 17 vs Australia at Adilaide 
  • 2 vs Australia at Adelaide
  • 52 vs Zimbabwe at RPS Colombo 
  • 88 vs Zimbabwe at SSC Colombo

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වූ ඔහු කලකිරීමෙන් ඕස්ට්‍රේලියාව බලා ගිය අතර වසර ගණනාවක් යන තෙක්ම නැවත මෙරටට පැමිණියේ නැත. ඔහු නැවත මෙරටට පැමිණෙන්නේ 2017 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ය.

අසංක ගුරුසිංහ යනු කණ්ඩායමට අතිශය වැදගත් වූ ඉතා හොඳ ටෙස්ට් පිතිකරුවෙකි. ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු වශයෙන් ඔහුගේ ලකුණු සාමාන්‍යය 48.11ක් වන අතර අංක 4 පිතිකරු වශයෙන් ඔහුගේ ලකුණු සාමාන්‍යය 49.33කි. එහෙත් ඒ ස්ථාන දෙකෙ හිදීම වැඩිකලක් පිතිකරණයේ යෙදීමට අවස්ථාව නොලද මේ අංක 3 පිතිකරුවාගේ සමස්ත ටෙස්ට් ලකුණු සාමාන්‍යය 38.92කි.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ආරම්භ කළ යුගයේ කඩුලු රකින්නෙකි. ඊට අමතරව මද වේගපන්දු යවන්නෙකු වශයෙන් අවශ්‍ය සෑම විටකම කණ්ඩායමට තම සේවය ලබා දීමට නොපැකිලුණු ගුරුසිංහ ක්‍රිකට් දිවිය අවසන් වන විට ටෙස්ට් කඩුලු 20ක සහ එක්දින කඩුලු 26ක ද හිමිකරුවෙකු විය. ඔහුගේ පන්දු රැකීම ද ඉතා හොඳ මට්ටමක විය. එබැවින් ඔහු ඉරියව් සතරේම ජාත්‍යන්තර දස්කම් දැක්වූ විරල ගණයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ක්‍රීඩකයන්ගේ ජ්‍යේෂ්ඨත්වය ගැන දැඩිව විශ්වාස කළ ඔහු ගැන රසවත් මතකයන් කිහිපයක් ද ඇත. 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව පරදවා ඉන්දියාවේ දී ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තරගය අවසන් යැයි දැනුම් දුන් විගස කඩුලු ඉනි ගලවා ගන්නට විය. එහි දී එවකට කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයෙකු වූ සනත් ජයසූරිය ඉනි දෙකක් රැගෙන යද්දී ඔහු පසුපසින් ගොස් යම් තරවටුවක් ද කොට ඉන් එක් ඉන්නක් උදුරා ගත් ගුරුසිංහව ඔබට අමතකව නැතැයි සිතමි. එමෙන්ම 1996 ලෝක කුසලාන තරගාවලිය අතරතුර පාකිස්තානයේ දී සිදු වූ සිදුවීමක් ගැන එවකට පුහුණුකරු ඩැව් වට්මෝර් මහතා විසින් රසල් ආනොල්ඩ් සමඟ සිදු කළ සාකච්ඡාවක දී සිහි කළේ මෙලෙසයි.

අවසන් මහා තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දහවල් ආහාරය ගන්නා අවස්ථාවේ දී ගුරුසිංහට ලැබී තිබූ ස්ථානය, අවන්හල් සේවකයන් ආහාර රැගෙන නිතර එහා මෙහා යන ස්ථානයකි.

ඒගොල්ලෝ උණු තැටිත් අරගෙන එද්දී ගුරාගෙ බෑග් එක තිබුණේ එතනම බිම. ඉතින් මෙයා (සේවකයා) හෙමීට මේ බෑග් එක කකුලෙන් තල්ලු කළා. එතකොට පාර පැහැදිලි නිසා. ගුරා මේක දැක්කා, බෑග් එක ගත්තා, ආයෙත් තිබ්බ තැනම තිබ්බා. ඒක අල්ලන්න එපා! ඔහු කිව්වා” වට්මෝර් කියයි.

තවත් මිනිත්තු දෙකකින් පමණ තවත් සේවකයෙක් ආහාර සමඟ පැමිණ පෙර පරිදිම ගුරුසිංහගේ බෑගය සෙමෙන් පසෙකට තල්ලු කොට ඇත.

එයා (ගුරා) ආයෙත් එතෙන්ට ගියා, බෑග් එක තිබුණු තැනම අරන් තිබ්බා. උඹ ආයෙත් ඒක කරොත් මං උඹව මරනවා!කිව්වා. (සිනා) ඒ ගුරුසිංහගේ තද මානසිකත්වය ගැන එවකට පුහුණුකරු විසින් සිහි කළ රසවත් කතාවකි.

එවැනි පිතිකරුවන්, ක්‍රීඩකයන් කණ්ඩායමකට අවශ්‍ය ය. ජ්‍යේෂ්ඨත්වයේ වගකීම ගැන විශ්වාස කරන මෙන්ම නොසෙල්වෙන මානසිකත්වයකින් යුත් එවන් ක්‍රීඩකයන් කණ්ඩායමක සිටින විට නායකයාට තම යොවුන් ක්‍රීඩකයන්ව හසුරුවා ගැනීමට පහසු වනවා සේම, එවැනි ක්‍රීඩකයන් තරග බිමට පිවිසි විට ක්‍රීඩා කරන සටන්කාමී විලාශය සෑම විටම සිය කණ්ඩායම ජයග්‍රහණයට පියවරක් ආසන්නයෙන් තබනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<