ජයග්‍රහණ ඉඩෝරය නිමයි; ෆසාල්ට ගෞරවනීය සමුගැනීමක්

FIFA Series 2024

117
FIFA Series 2024

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් පළමු වරට පවත්වනු ලබන FIFA Series 2024 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ භූතානය අතර පැවැත්වුණු තරගයෙන් ගෝල 2 – 0ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (25) සමත් වුනා.

කොළඹ තුරඟ තරග පිටියේ දී අද රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළෙන් ම ගෝල වාර්තා වුනේ නැහැ. කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ගෝලය වාර්තා කිරීමට ඩිලෝන් ද සිල්වා විසින් සමත් වුනේ ශ්‍රී ලංකාවේ වසර ගණනක ජයග්‍රහණය නියඟයේ නිමාව සටහන් වන බවට පළමු ඉඟිය ලබා දෙමිනුයි.

ඉන් මොහොතකට පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට ඔලිවර් ජේම්ස් විසින් සමත් වුනේ තරගයේ ජය ස්ථිර කරවමිනුයි.

එතැනින් පසුව ද තරගයේ සම්පූර්ණ ආධිපත්‍යය ම ශ්‍රී ලංකාව සතු වූ අතර, අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් භූතාන් ගෝල සීමාව ආක්‍රමණය කරමින් තවත් ගෝලයක් සඳහා උත්සාහ දැරුවා. කෙසේ වෙතත් තරගයේ නියමිත කාලය අවසන් වන තෙක් එම උත්සාහයන් සාර්ථක නොවීම නිසා තරගය 2 – 0ක් ලෙසින් නිමාවට පත් වුනා.

මෙය ශ්‍රී ලංකාව වසර දෙකකට අධික කාලයකට පසු ලැබූ පළමු ජාත්‍යන්තර පාපන්දු තරග ජයග්‍රහණය ලෙස ද වාර්තා අතරට එක් වුනා. මීට පෙර 2021 වසරේ නොවැම්බර් මාසයේ දී පැවැත්වුණු Four Nations පාපන්දු තරගාවලියේ දී බංග්ලාදේශයට එරෙහිව ගෝල 2-1ක් ලෙස ජයක් ලබා ගැනීමෙන් අනතුරුවයි ශ්‍රී ලංකාව අද මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුනේ. එමෙන්ම ශ්‍රී ලංකාව භූතානයට එරෙහිව පාපන්දු තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ වසර දහයකට පසුව වීමත් විශේෂත්වයක්.

තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 204 ස්ථානයේ රැඳී සිටින අතර, ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ භූතානය ශ්‍රේණිගත කිරීම් හි රැඳෙන්නේ 184 වැනි ස්ථානයේ යි.

මේ අතර මෙම තරගයත් සමඟ සිය වසර 16ක ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩා දිවියට සමුදීමට හිටපු ශ්‍රී ලංකා නායක මොහොමඩ් ෆසාල් තීරණය කළා.

2008 වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් ෆසාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 53ක් ක්‍රීඩා කළා. එමෙන්ම 2018 – 19 තරග සමය තුළ ශ්‍රී ලංකා පාපන්දු නායකයා ලෙස ද ඔහු කටයුතු කළා.

මෙම තරගය අවසානයේ දී ෆසාල් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් මෙන්ම තරගය නැරඹීම සඳහා පැමිණි අතිමහත් ප්‍රේක්ෂක ජනකායෙන් ද අමතක නොවන අන්දමේ ආදරණීය සමුගැනීමක් ඔහුට හිමි වුන අතර, ඒත් සමඟින් ම ෆසාල් සංවේදී වන ආකාරය ද දක්නට ලැබුණා.

ෆසාල්ගේ සමුගැනීම වෙනුවෙන් සංවේදී වන අතරේ ම ශ්‍රී ලංකා පාපන්දුව ලැබූ මෙම නවමු ආරම්භය පිළිබඳ ව ද ශ්‍රී ලංකා පාපන්දු රසිකයින්ට දැඩි සේ සතුටට පත් විය හැකි.

වසර ගණනක ඉඩෝරයකින් පසුව ශ්‍රී ලංකා පාපන්දුවට පෑයූ මෙම අනාගත බලාපොරොත්තුව සමඟ අත් වැල් බැඳ ගන්නා ප්‍රේක්ෂකයින් වෙනුවෙන් දිගින් දිගටම පාපන්දු තතු විත්ති සමීප කිරීමට වගකීම ඉටු කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<