ෂොයිබ් මලික් + සානියා මිර්සා – සීමා බිඳලූ ප්‍රේමය

International Sports

8255
khaleejtimes.com

1947 දී භාරත බිමෙන් වෙන් වූ පාකිස්තානය, ඉන්දියාවේ පරම වෛරක්කාරයා බවට පත්විය. දේශ සීමා තර විය. ප්‍රේමය ඉක්මවා වෛරය ඉල්පුණි. ඒ වෛරයේ ගිනි පුලිඟු ප්‍රේමයේ පින්නෙන් තෙත් කළ නූතන යුවල ෂොයිබ් මලික් හා සානියා මිර්සා ය.

මෙම ලිපිය ලියැවෙන පෙබරවාරි පළමු වැනිදා යනු ෂොයිබ් මලික්ගේ උපන් දිනයයි. ක්‍රිකට් ප්‍රේමීන් වන ශ්‍රී ලාංකික අප අද ඔහුගේ ක්‍රිකට් දත්ත වාර්තා අවුස්සමින් සිටින බව පුදුමයට කරුණක් නොවේ.

LPL තරගාවලියේ දී දෙවරක්ම ශූරයන් වූ “Jaffna Stallions” කණ්ඩායමේ ප්‍රබල මෙන්ම ජනප්‍රිය ක්‍රීඩකයෙකු ලෙස ෂොයිබ් මලික් ශ්‍රී ලාංකික හදවත් දිනා ඇත. එබැවින් ඔහුගේ ක්‍රිකට් දත්ත වාර්තා අතර සැඟවෙන ප්‍රේමණීය පසුබිම් කතාවටත් ශුභ ප්‍රාර්ථනා කරමු. මේ ඊට වේලාවයි.

මහා භාරතය යනු ඉන්දියාව පමණක් නොවේ. එය රාජ්‍යයන් 14ක එකතුවකි. නූතන ඉන්දියාව යනු මහා භාරතයෙන් විශාල කොටසකි. නූතන පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය යන සියලු රටවල් මහා භාරතයේ කොටස් ය.

කාලයේ ඇවෑමෙන් එකම බිමක් කැබලි වලට බිඳී ගිය පසුබිමක වෛරයේ ගිනි පුපුරු වරින් වර ගිනි අවුලා සැඟවිණි. එහෙත් ඉන්දියා – පාකිස්තාන දේශ සීමා ඉක්මවා ගලා ගිය ෂොයිබ් සහ සානියාගේ ප්‍රේම ගංගාව, කුඩා උල්පතකින් ගමන් ඇරඹුවේ මීට දශකයකටත් පෙර සිට ය.

ෂොයිබ් මලික්, 2003දී.

ෂොයිබ් මලික් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බව අපි දනිමු. ඔහු උපත ලැබුවේ පාකිස්තානයේ සියල්කොට් හිදී ය. 1999දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා තබා, එනම් 20 වැනි සියවසේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉඩ ලබාගෙන 21 වැනි සියවසේ මුල් දශක දෙක ද ඉක්මවා එහි ක්‍රියාකාරීව සිටි ෂොයිබ් විශේෂ ක්‍රීඩකයෙකි.

මුලින්ම පිට දඟපන්දු යවන්නෙකු ලෙස පාකිස්තාන කණ්ඩායමට එක්වූ ඔහු වසර කිහිපයක් ගතවෙද්දී දක්ෂ පිතිකරුවෙකු ලෙස නමක් දිනා ගත්තේය. පිතිකරණ අංක 1 ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා සෑම ස්ථානයකම ඔහු පිතිකරණයේ යෙදී ඇත. පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය ද දැරූ ඔහු මේ වන විට ලොව වැඩිම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ප්‍රමාණයකට ක්‍රීඩා කොට ඇති ක්‍රීඩකයා මෙන්ම ලොව පස්වැනි දිගුම එක්දින ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට ද හිමිකම් කියයි.

සානියා මිර්සා, 2005දී

සානියා මිර්සා උපන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී යි. ඇය ජාත්‍යන්තර ටෙනිස් ක්‍රීඩිකාවක බවට පත්වී 2005 දී “WTA වසරේ නැගී එන ක්‍රීඩිකාව” ලෙස නම් විය. 2006 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ඇය විසින් නියෝජනය කළේ එවැන්නක් කළ පළමු ඉන්දියානු ටෙනිස් ක්‍රීඩිකාව බවට පත්වෙමිනි. ඒ අතින් ගත් කල සානියා මිර්සා යනු ආසියානු ටෙනිස් පිටියට නැවුම් බලාපොරොත්තු එක් කළ ක්‍රීඩිකාවකි.

ඉන්දියාවට පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවය දිනා දුන් ක්‍රීඩිකාව ඇයයි. ඒ හේතුවෙන්ම ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මාන දෙකක් වන පද්ම ශ්‍රී සහ පද්ම භූෂණ සම්මාන ද්විත්වයෙන්ම ඇය පිදුම් ලැබුවා ය. ලෝක ටෙනිස් කරළියේ දී ඉන්දියානුවන්ගේ සමේ පැහැයට උරුමකම් කියූ ඇය එවකට තරුණයන්ව උන්මාදයට ලක් කළ බව ද නොරහසකි.

ලෝක ක්‍රීඩාවේ තරුණ නම් දෙකක් වූ ෂොයිබ් – සානියා මුල්වරට හමු වූයේ කෙසේ ද?

ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම ක්‍රීඩා ජීවිත තුළ දී හැලහැප්පීම් රාශියකට මුහුණ දෙයි. ක්‍රිකට් ක්‍රීඩා කළ ෂොයිබ් සහ ටෙනිස් ක්‍රීඩා කළ සානියා මුල්වරට හමුවන විට සානියා තම ක්‍රීඩා දිවියේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටියාය. එහෙත් ෂොයිබ්ගේ මානසිකත්වය ඉන්දියාවේ දී ලද ජයග්‍රහණයකින් පසුව උද්දාමයෙන් පසුවිය.

අපි දිල්ලි වලදී ක්‍රීඩා කරලා තරගාවලියත් දිනලා හිටියේ. එදා හවස මට ආයෙත් ගුවන් යානයට නගින්න සිදු වෙලා තිබුණා. ඉතින් ඒක සතුටුදායක හැඟීමක්. ඒ නිසා ඊට කලින් මම ගියා කොණ්ඩේ කපාගෙන එන්න.” Good Morning Pakistan නම් වූ වැඩසටහනකදී ෂොයිබ් ඒ දිනය සිහිකළේය.

සානියා එතන ජිම් එකට එනවා. එතන මාවයි සානියාවයි අඳුරන මාධ්‍යකරුවන් කිහිපදෙනෙක් හිටියා. ඔවුන් තමයි අපිව එකිනෙකාට හඳුන්වලා දුන්නේ.” ඔවුන්ගේ ප්‍රථම හඳුන්වා දීම සම්බන්ධව ස්තුතිය පිරිනැමිය යුත්තේ අදාළ මාධ්‍යකරුවන්ට ය.

හඳුන්වා දීම කෙසේ වුවත් ෂොයිබ් හට ඇයව හමුවීමට තවත් වසර කිහිපයක් බලා සිටීමට සිදු විය. ඒ හමුව ඉන්දියාව හෝ පාකිස්තානයේ දී සිදුවීමේ සම්භාවිතාවය ඉතාම අඩු මට්ටමක තිබිය දී ඕස්ට්‍රේලියාවේ දී ඇයව හමුවීමට ෂොයිබ් මඟ පාදාගත්තේය. ඔවුන්ගේ ප්‍රථම හමුව සිදු වුනේ ඕස්ට්‍රේලියාවේ හොබාර්ට් හිදී යි.

ඒ කාලය වන විට ෂොයිබ් ඇතුළු පාකිස්තානය ඕස්ට්‍රේලියාව හමුවේ තරගාවලියක් පරාජය වී සිටි අතර සානියා ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ මිශ්‍ර යුගල අංශයේ ශූරතාවය දිනමින් සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය සතුකරගෙන සිටියාය. ෂොයිබ්ගේ වෘත්තීය දිවිය තවත් අභියෝගාත්මක වෙමින් තිබිණි. පාකිස්තාන කණ්ඩායම තුළ දී ගැටුම් ඇතිකරගැනීම නිසා ඔහුට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වසරක තරග තහනමක් නියම විය. එහෙත් මේ සියලු පෞද්ගලික සහ වෘත්තීය හැලහැප්පීම් මැද ෂොයිබ්-සානියා ප්‍රේම ගංගාව නොකඩවා ගලා ගියේය.

ෂොයිබ් මලික් සහ සානියා මිර්සා ප්‍රේමයෙන් වෙලී – olympicchannel.com

මේ කාලය තුළ ඉන්දියා-පාකිස්තාන දේශපාලන අර්බුදය ද කැකෑරෙමින් තිබිණ. 2005 දිල්ලි නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත්, 2006 මුම්බායට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත්, ඊට පිළිතුරු ලබා දීමට ඉන්දියානු රජය පෙඹීමත් ෂොයිබ් සහ සානියාගේ ප්‍රේම ගං ඉවුරෙන් පිටත කලබැගෑනියක සේයා ප්‍රකට කළේය.

ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක වූ ඔවුන් දෙදෙනාට එල්ල වූ පීඩනය කෙමෙන් කෙමෙන් වැඩි විය. ලොව කෙතරම් කලබල වූවත් ඔවුන් දෙදෙනාට ඒ සියල්ල බාහිර ප්‍රශ්න පමණක්ම විය. ප්‍රේමය වනාහි එවැන්නකි. එවැන්නක් විය යුත්තේමැ ය.

මාස 5ක පමණ ප්‍රේම සම්බන්ධතාවයකින් පසුව ඔවුන් දෙදෙනා විවාහ වීමට තීරණය කළේය. එය ප්‍රේක්ෂකයන් අතරත් මාධ්‍ය අතරත් කතාබහට ලක්වන පුවතක් වූයේ ඔවුන් දෙදෙනා ප්‍රතිවාදී රටවල් දෙකකින් පැමිණීමත්, ප්‍රේම සම්බන්ධතාවයට වැඩි වයසක් නොමැති වීමත්, දෙදෙනාම පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් හා පොරබදමින් සිටීමත් නිසා ය. එහෙත් මේ සියල්ලට සානියා විසින් ව්‍යක්ත පිළිතුරක් ලබා දෙනු ලැබිණි.

මිනිසුන්ට අවුරුදු ගණන් ආදරේ කරලා විවාහයෙන් පස්සේ වෙන්වෙන්න පුළුවන්. සමහර අයට මාසයක් විතර ආදරේ කරලා විවාහ වෙන්නත් පුළුවන්. අපි දෙන්නගේ ඉක්මන් හමුවීම, ඉක්මන් තීරණය, දෙන්නටම එක විදියටම දැනීම නිසා අපි හරි වාසනාවන්තයි.”

ඔවුන් දෙදෙනා තම තීරණය දෙමාපියන් වෙත දැනුම් දුන් අතර ඔවුන්ගෙන් කිසිදු විරුද්ධත්වයක් නොතිබිණි. එහෙත් දෙමාපියන්ගේ එකම සලකා බැලීම වූයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලනික ගැටුම ඔවුන් දෙදෙනාගේ අනාගතයට කෙලෙස බලපානු ඇති ද යන බවයි. කෙසේ වෙතත් කෙටි ප්‍රේම සම්බන්ධතාවයකින් පසුව විවාහයට දින නියම විණි.

2010 වර්ෂයේ දී දෙදෙනා විවාහ වීමට තීරණය කිරීමෙන් පසුව එය ඇතැම් මාධ්‍ය අතර බිල්ලන් මවන පුවතක් විය. ඇතැමුන් පැවසුවේ සානියා ඉන්දියානු පුරවැසිභාවය අත්හැර පාකිස්තානය වෙනුවෙන් ටෙනිස් ක්‍රීඩා කරනු ඇති බවයි. තවත් පසෙකින් කියවුනේ ෂොයිබ් විසින් සානියාගේ ක්‍රීඩා දිවියට බාධා එල්ල කරනු ඇති බවයි. එමෙන්ම අශික්ෂිත ලෙස ඔවුන්ගේ රාජ්‍යයන් දෙක අතර වෛරය ඇවිලීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටියේය. එහෙත් ෂොයිබ් එක් මාධ්‍යයක් හරහා ඊට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

වෙනස් රටවල් දෙකක දෙන්නෙක් විවාහ වෙනවා. ඒක විවාහයක් හැටියට විතරක් සැලකුවහම ඇති.”

තත්වය මෙසේ තිබිය දී 2010 අප්‍රේල් 12 වැනිදා ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී ෂොයිබ් මලික් හා සානියා මිර්සාගේ විවාහය සිදු විය. ඔවුන්ගේ දෙවැනි දින සාදය පැවැත්වුණේ පාකිස්තානයේ ලාහෝර් නුවර දීයි. කලාතුරකින් දැකිය හැකි, එනම් පරම වෛරක්කාරයන් වන රටවල් දෙකක ප්‍රසිද්ධ පුද්ගලයන් දෙදෙනෙකුගේ විවාහ වීම එලෙස අප ඉදිරියේ යථාර්ථයක් බවට පත්විය.

ෂොයිබ් මලික් සහ සානියා මිර්සා විවාහ වූ දා – newstrack.in

ඒත් සමඟින් රටවල් දෙකක ක්‍රිකට් නායකයන් තිදෙනෙකුගේ ඥාතීත්වය සානියා හට උරුම විය. හිටපු ඉන්දීය ක්‍රිකට් නායක ගුලාම් අහමඩ්ගේ නෑනා කෙනෙකු වූ ඇය හිටපු පාකිස්තාන නායක ආසිෆ් ඉක්බාල් හට ද නෑකම් කියයි. ෂොයිබ් හා විවාහ වීමෙන් පසුව ඇය තෙවැනි ටෙස්ට් ක්‍රිකට් නායකයා හට ද නෑකම් කියන්නට උරුමය ලද්දා ය.

දේශ සීමා ඉක්මවා නැගී සිටි ෂොයිබ්-සානියා ප්‍රේමයට එතැන් සිට වසර 11ක් ඉක්ම ගොස් තිබේ. ඔවුන් විවාහයට පෙර පැවසූ ව්‍යක්ත අදහස් වල වටිනාකම නොවෙනස් ව ඇත. ඔවුන් හට එක් පුතෙකු සිටියි. දඟකාර දරුවෙකු වන ඔහුගේ නම ඉසාන් මිර්සා මලික් ය. එය ඔවුන්ගේ ප්‍රේමයේ සාක්ෂියයි.

ක්‍රීඩාව පැත්තෙන් ෂොයිබ් විස්සයි විස්ස ක්‍රීඩකයෙකු ලෙස ශක්තිමත් නමක් ගොඩනගාගෙන ඇත. 2017දී ආබාධයක් නිසා ටෙනිස් ක්‍රීඩාවෙන් විවේක ගත් සානියා තම පුතුගේ ඉපදීමත් සමඟ ක්‍රීඩාවෙන් ඈත්ව සිටියි. සියල්ලට පහළින් ඔවුන්ගේ ප්‍රේම ගංගාව නොකඩවා ගලාබසියි. ෂොයිබ්-සානියා ප්‍රේම ගංගාව දියෙන් තොර නොවේවා!

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<