කටාර් නැවතත් ආසියානු ශූරයන් බවට පත් වෙයි

AFC Asian Cup 2024

198

ජෝර්දානය පරදවමින් සිය දෙවැනි ආසියානු පාපන්දු ශූරතාව ද ජයග්‍රහණය කිරීමට කටාර් දේශය ඊයේ (10) රාත්‍රියේ දී සමත් වුනා. 

කටාර් හි Lusail ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම අවසන් මහා තරගයට පසුගිය වර ද (2019) ශූරතාව ජයග්‍රහණය කළ කටාර් දේශය එක් පසෙකින් තරගයට අවතීර්ණ වූ අතර, අනෙක් පසින් මෙවර තරගාවලියේ කිසිවකු හෝ බලාපොරොත්තු නොවූ ගමනක නිරත වූ ජෝර්දානය තරගයට අවතීර්ණ වුනා. 

මෙම තරගයේ ආරම්භක මිනිත්තුවේ සිටම දෙපිළ ම කරට කර තරග වදිමින් සිටියත්, සත්කාරක කටාර් දේශය පාර්ශවයේ ජෝර්දානයට වඩා වාසනාව රැඳී තිබූ බවක් පෙනෙන්නට තිබුණා. 

එහි පළමු අවස්ථාව තරගයේ 22 මිනිත්තුවේ දී කටාර් ඉදිරි පෙළ ක්‍රීඩක Akram Afif වෙත හිමි වූ අතර, ඔහු දඬුවම් පහරක් වාර්තා කරමින් තරගයේ ලකුණු තත්වය 1-0ක් ලෙස වෙනස් කලා. ඉන් පසුව තරගයේ පළමු අර්ධය නිමා වන තෙක් දෙපිළෙන් ම ගෝල වාර්තා වුනේ නැහැ. කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධයේ දී Al-Naimat ජෝර්දානය වෙනුවෙන් වටිනා ගෝලයක් රැස් කිරීමට සමත් වුනේ තරගයේ ලකුණු තත්වය සම කරමිනුයි. 

නමුත් ඉන් මොහොතකට පසුව ජෝර්දාන ආරක්ෂක වලල්ලේ දුර්වලතාවක වාසිය ලබා ගත් කටාර් දේශය සිය දෙවන දඬුවම් පහර අවස්ථාව ද ලබා ගත්තා. Akram Afif විසින් එම දඬුවම් පහර ද සාර්ථක කර ගැනීමට සමත් වූ අතර, තරගයේ 95 වැනි මිනිත්තුවේ දී Akramට තවත් දඬුවම් පහරකට අවස්ථාව හිමි වුනා. Akram විසින් එය ද සාර්ථක කර ගනිමින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහු එම ගෝලයත් සමඟින් සමස්ත තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට ද පත් වෙමින් ගෝල අටක් වාර්තා කර ගැනීමට සමත් වුනා. 

අවසන් ලකුණු තත්වය: 

කටාර් 3 – 1 ජෝර්දානය 

තරගාවලියේ හොඳම ක්‍රීඩකයා සම්මානය Akram Afif විසින් දිනා ගනිද්දී, තරගාවලියේ දක්ෂතම දැල් රකින්නා ලෙස කටාර් දේශයේ ම Meshaal Barsham සම්මාන දිනා ගැනීමට සමත් වුනා. 

කටාර් දේශය සිය ආධිපත්‍යය ආසියාව පුරා ඒ ආකාරයෙන් පැතිරීමට සමත් වන අතරේ, ජෝර්දානය ද සිය පාපන්දු ඉතිහාසයේ හොඳම ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය නිමා කරමින් අනුශූරතාව ලබා ගත්තා. 

තරගාවලියේ තෙවන ස්ථානය ඉරානයට හිමි වූ අතරම, බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි දකුණු කොරියාවට සිව් වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුනා. 

ජාත්‍යන්තර පාපන්දු පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<