ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරගාවලියට 21ක්

212

5 වන වරට පවත්වනු ලබන ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරග මාලාව (AIMAG) මෙම මස 18 වන දා සිට 20 වන දා දක්වා දින 3ක් පුරාවට තුර්කිමේනිස්ථානයේ අෂ්ගබාත් නුවර දී පැවැත්වෙන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා ඉසව් 05ක් යටතේ තරගකරුවන් 21 දෙනෙකු සහභාගී වීමට නියමිත ය.

නැවත වතාවක් ශූරතාවය බස්නාහිර පළාතට

43 වැනි වරටත් පැවැත්වෙන 2017 ජාතික මහා ක්‍රීඩා උළෙලේ දැල්පන්දු ක්‍රීඩා තරගාවලියේ ශූරතාවය මෙවරත් ජයග්‍රහණය කිරීමට..

ආසියානු කලාපයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉලක්ක කර ගනිමින් වසර 4කට වරක් පැවැත්වෙන මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ආසියානු ඔලිම්පික් කවුන්සිලය (OCA) මඟිනි. මෙම තරගාවලිය පළමු වරට 2005 වසරේ දී තායිලන්තයේ දී පැවති අතර ඒ අනුව මෙවර තරගාවලිය පවත්වනු ලබන්නේ 5 වෙනි වරටයි.

පළමු තරගාවලියේ සිට මෙම තරගාවලිය සඳහා සහභාගී වී ඇති ශ්‍රී ලංකාව මේ වන විට දිනාගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 05කි. ඊට රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02ක් ඇතුළත් වේ. මෙවර තරගාවලිය ක්‍රීඩා ඉසව් 21ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර ඒ අතරින් ශ්‍රී ලංකාව චෙස්, බර ඉසිලීම, මල්ලව පොර, ටයිකොන්ඩෝ සහ ගෘහස්ථ මලල ක්‍රීඩා යන ක්‍රීඩා ඉසව් 05ට සහභාගී වේ. තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය බාරව කටයුතු කරන්නේ (Chef-de mission) කපිතාන් චන්දන බෝපගොඩ මහතා ය.

තරගාවලියේ ගෘහස්ථ මලල ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් 05 දෙනෙක් ඔවුන් සහභාගී වන ඉසව්වල ශ්‍රී ලංකා ජාතික වාර්තාවලට හිමිකම් කියන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වීම නිසා එම ඉසව්වල දී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැක. මීටර 800 පිරිමි ඉසව්ව සඳහා සහභාගී වන ඉඳුනිල් හේරත් සහ එහි කාන්තා ඉසව්ව සඳහා සහභාගී වන ගයන්තිකා අබේරත්න හට එම ඉසව්වල දී පදක්කමක් දිනා ගැනීමට ඉහළ අවස්ථාවක් ඇත.

මීටර 100 ඉසව්ව සඳහා ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන හිමාෂ ඒෂාන් තරගාවලියේ මීටර 60 ඉසව්වේ දී සිය සුපුරුදු දක්‍ෂතාවලට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. පිටිය ඉසව් යටතේ දුර පැනීම ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන අමිල ජයසිරි එම ඉසව්වේ දී පදක්කමක් දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන අතර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව අහිමි කරනු ලැබූ තුන් පිම්ම ඉසව්ව සඳහා සහභාගී වන විදූෂා ලක්ෂානි සිය පදක්කම් අතරට ගෘහස්ථ පදක්කමක් එක්කර ගැනීමේ අරමුණ ඇතිව තරගාවලිය සඳහා එක්වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා ගැනීමේ බලාපොරොත්තු තබා ගත හැකි අනෙක් ක්‍රීඩකයා වන්නේ උස පැනීමේ ඉසව්ව සඳහා සහභාගී වන ඔලිම්පික් වරම් ලැබූ මංජුල කුමාර ය.

චෙස් –

  • පිරිමි – රජීන්ද්‍ර කළුගම්පිටිය, රොමේෂ් වීරවර්ධන
  • කාන්තා – සෞමි සයිනාබ්, දසුනි මෙන්ඩිස්
  • නිරුක්ෂි පනාගොඩ – පුහුණුකාරිනී

බර එසලීම –

  • පිරිමි – කමල් එගොඩවත්ත (56 kg), සංගීත් විජේසූරිය (62 kg), උෂාන් චාරුක (105 kg)
  • එන්. ඩයන් – පුහුණුකරු

මල්ලව පොර –

  • පිරිමි – දිවෝෂන් ප්‍රනාන්දු (57 kg), චාමර මිලින්ද පෙරේරා (65 kg), සුතිජ මදුරංග (74 kg)
  • කාන්තා – නිරෝෂනී කරුණාසේන (48 kg), ශාමිකා මදුෂානි (52 kg), දිල්හානි කුමාරි වීරබාහු (58 kg)
  • කේ. පී. ප්‍රියන්ත – පුහුණුකරු

ටයිකොන්ඩෝ –

  • පිරිමි – අනුර බණ්ඩාර (54 kg), සම්පත් ලියනගේ (57 kg)
  • එම්. කේ. රොමේෂ් – පුහුණුකරු

ගෘහස්ථ මලල ක්‍රීඩා –

  • පිරිමි – හිමාෂ ඒෂාන් (මීටර 60), ඉඳුනිල් හේරත් (මීටර 800), අමිල ජයසිරි (දුර පැනීම), මංජුල කුමාර (උස පැනීම)
  • කාන්තා – ගයන්තිකා අබේරත්න (මීටර 800), විදූෂා ලක්ෂානි (තුන් පිම්ම)
  • සජිත් ජයලාල් – පුහුණුකරු
  • නිලධාරී – කපිතාන් චන්දන බෝපගොඩ

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට