WPL වැඩිම වටිනාකම Adani Sportsline ආයතනයෙන්

කාන්තා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය 2023

202

කාන්තා විස්සයි විස්ස පිටියට නව ජීවයක් එක් කරමින් මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායම් සඳහා හිමිකරුවන් තෝරාගැනීමේ වෙන්දේසිය පසුගිය දා පැවැත්වුණා.

ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හිමිකරුවන් හතක් ඇතුළු සමාගම් 16ක් මේ සඳහා ඉදිරිපත්ව තිබූ අතර ඉදිරිපත් කර තිබූ නගර දහයකින් එකක් තෝරා ගැනීම සඳහා ලංසු 84ක් ඉදිරිපත්ව තිබුණා. මෙම ලංසු වසර දහයක කාලයක් වලංගු වන බව ද සඳහන්.

ලොව ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙක් වන Gautam Adani හිමිකාරිත්වය දරන Adani Sportsline Private Limited ආයතනය විසින් වැඩිම ලංසුව තබා තිබූ අතර ඔහු Ahmedabad, Bengaluru, Chennai, Guwahati සහ Kolkata යන නගර සඳහා ඉන්දීය කෝටි 1289 බැගින් ඉදිරිපත් කර තිබුණා.

නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීතින්ට අනුව ඔහුට ලබා ගත හැක්කේ එක් නගරයක් පමණක් වූ නිසා ඔහු සිය කණ්ඩායම ලෙස Ahmedabad නගරය තෝරා ගත්තා.

මෙම කණ්ඩායම ලබා ගත් පසුව එය Gujarat Giants ලෙස හඳුන්වන අතර එය වත්මන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරයින් වන Gujarat Titans කණ්ඩායම සමඟින් Motera ක්‍රීඩාංගණය සත්කාරක පිටිය ලෙස යොදා ගැනීමට නියමිතයි.

මෙම වෙන්දේසියේ වැඩිම ලංසු ගණන Bengaluru සහ Chennai යන නගර සඳහා හිමි වූ අතර එම නගර ද්විත්වය සඳහා ලංසු 12 බැගින් ඉදිරිපත්ව තිබීම විශේෂත්වයක්. දෙවනුවට වැඩිම ලංසු 11ක් Indore වෙත ඉදිරිපත්ව තිබුණා.

මෙම වෙන්දේසියේ අවම ලංසු ගණන මුම්බායි නගරයට ලැබී තිබූ අතර එම ලංසු ගණන 4ක්.

2008 වසරේ Rajasthan Royals හිමිකරුවන් විසින් එම කණ්ඩායම ඉන්දීය රුපියල් මිලියන 67ක මුදලකට ලබා ගැනීමෙන් පසුව මෙම තරගාවලියේ ද කණ්ඩායමක් සඳහා අඩුම මිල ඔවුන් විසින් ඉදිරිපත් කර තිබුණා.

ඔවුන් Indore සඳහා ඉදිරිපත් කළ ඉන්දීය රුපියල් කෝටි 176ක මුදල කණ්ඩායමක් සඳහා ඉදිරිපත් වූ අවම මුදල වන අතර එය සහ වැඩිම මුදල වූ Adani සමාගම ඉදිරිපත් කළ කෝටි 1289ක මුදල අතර වෙනස ඉන්දීය කෝටි 1113ක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වතාවක් ශූරයින් වන Mumbai Indians හිමිකරුවන් විසින් නගර පහක් සඳහා සිය ලංසු ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ඉන්දීය කෝටි 912.99ක මුදලකට සුපුරුදු පරිදි මුම්බායි කණ්ඩායම මිල දී ගෙන තිබෙනවා.

Kolkata Knight Riders කණ්ඩායමේ හිමිකරුවන් විසින් ඉන්දීය කෝටි 666 බැගින් නගර කිහිපයකට ලංසු ඉදිරිපත් කළ නමුත් ඔවුන්ට කණ්ඩායමක් මිල දී ගැනීමට හැකි වුනේ නැහැ.

මෙම තරගාවලියේ අනෙක් කණ්ඩායම වන බැංගලෝර් කණ්ඩායම කෝටි 901කට Royal Challengers Bangalore හිමිකරුවන් විසින් ලබා ගනිද්දී, දිල්ලි කණ්ඩායම කෝටි 810කට Delhi Capitals හිමිකරුවන් විසින් ලබා ගත්තා.

තරගාවලියේ අවසන් කණ්ඩායම ලෙස ලක්නව් නගරයට අදාළ කණ්ඩායම Capri Global ආයතනය විසින් ලබා ගත්තේ කෝටි 757ක මුදලකටයි.

Espncricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<