විනිසුරුවරියන් සහ ඉහළම තාක්ෂණයෙන් සපිරි 2022 පාපන්දු ලෝක කුසලානය

FIFA පාපන්දු ලෝක කුසලානය 2022

320

මේ වසරේ නොවැම්බර් මාසයේ කටාර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඉතිහාසයේ තාක්ෂණය අතින් වඩාත් ම දියුණු තරගාවලිය ලෙස හඳුන්වා දිය හැකි.

සුදුසුකම් ලත් විනිසුරුවන් විසින් රූපවාහිනී තිර ගණනාවක් මගින් තරගය නරඹමින් ක්‍රීඩාව නැවත මන්දගාමී නිරූපනවලින් නිරීක්ෂණයට ලක්කර පිටියේ සිටින විනිසුරුට උපදෙස් ලබා දෙන VAR ක්‍රමවේදය මේ තරගාවලියේ දී ද භාවිතය සඳහා තිබෙන අතර ‘ඕෆ්සයිඩ්‘ අඟවන සංඥා වීඩියෝ තරග නිලධාරීන්ට යැවීමේ හැකියාව තිබෙන අර්ධ-ස්වයංක්‍රීය ඕෆ්සයිඩ් ක්‍රමවේදයක් මෙවර තරගාවලියේ දී ප්‍රථම වතාවට ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත්, මේ තාක්ෂණය පාවිච්චි කළ යුත්තේ අවසාන උපායක් ලෙසින් පමණක් බවට ජගත් පාපන්දු සම්මේලනයේ තරග විනිසුරුවන්ගේ ප්‍රධානතමයා වන පියලුයිජී කලීනා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිලධාරීන්ට අවවාද කර තිබෙනවා.

මෙතෙක් බිහි වූ හොඳම පාපන්දු තරග විනිසුරුවෙක් ලෙසින් සැලකෙන පියලුයිජී කලීනා ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සම්බන්ධ වීමට නියමිත සියලුම නිලධාරීන්ට පවසා ඇත්තේ වෘත්තීය ආධාරකයක් ලෙසින් තාක්ෂණය භාවිතා නොකළ යුතු බවයි.

අපේ පරමාර්ථය විය යුත්තේ තාක්ෂණය භාවිතය වැළැක්වීම පිණිස විනිසුරුවරයාව හැකි උපරිමයෙන් සූදානම් කිරීමයි. නමුත් තාක්ෂණය තිබෙන්නේ තරගයක අවසාන ප්‍රතිඵලයට බලපාන මානව වැරැද්දක් (Human Errors) සිදුවීමට ඇති ඉඩකඩ අවම කිරීම සඳහායි,“ කලීනා පවසයි.

ඉතාම හොඳ තරග විනිසුරුවෙකුට පවා වැරැද්දක් සිදු වෙන්න පුළුවන්. ඔහු මනුස්සයෙක්. අපි ඒක දන්නවා!“

කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා පිටියේ විනිසුරුවන් 36ක්, සහාය විනිසුරුවන් 69ක් සහ වීඩියෝ තරග නිලධාරීන් 24 දෙනෙක් ජගත් පාපන්දු සම්මේලනය විසින් තෝරා ගෙන තිබෙනවා.

මෑත වසරවල දී ජගත් පාපන්දු සම්මේලනයේ තරගාවලි මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර හා දේශීය තරගාවලිවල විනිසුරුවන්ගේ ක්‍රියාකාරිත්වය හා ඔවුන්ගේ තත්ත්වය මත මේ තෝරා ගැනීම් සිදු කර ඇති බව සඳහන් වනවා.

අනෙක් සෑම අවස්ථාවක දී මෙන් ම මෙවර ද අප භාවිතා කළ නිර්ණායකය වූයේ ‘පළමුව තත්ත්වය‘ (Quality 1st) යන්නයි. තෝරා ගෙන තිබෙන තරග නිලධාරීන් ලොව පුරා තරග විනිශ්චයේ උපරිම තත්ත්වය නියෝජනය කරන අයයි,“ පියලුයිජී කලීනා ප්‍රකාශ කරයි.

“2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඉතාමත් සාර්ථක වුනා. තරග විනිශ්චයේ තිබුණු උසස් තත්ත්වයත් එම සාර්ථකත්වයට බලපෑ සාධකයක්. තව මාස කිහිපයකින් කටාර්වල දී ඊටත් වඩා සාර්ථක වීමට අපි අපට හැකි උපරිමය කරනවා.“

‘කටාර් 2022ට යන මාවත‘ ව්‍යාපෘතිය ආරම්භ වුනේ 2019 වසරේ දීයි. ඒ වන විට තරග නිලධාරි අංශ තුනට සුදුසුකම් තිබෙනු ඇතැයි සලකනු ලැබූ ඉල්ලුම්කරුවන් 50කට වැඩි පිරිසක් බැගින් ප්‍රබල සූදානම් වීමක නිරතව සිටියා. කෙසේ වෙතත්, කොරෝනා වසංගතය හේතුවෙන් මේ සූදානම් වීමේ කටයුතු පහසු කාර්යයක් නොවූයේ ඊට සහභාගි වීම දීර්ඝ කාලයකට කල් දැමුණු නිසාවෙනි.

විශේෂයෙන් 2020 හා 2021 ආරම්භයේ දී මේ ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑමක් එල්ල වුනා. වාසනාවකට, ඒ වන විට ලෝක කුසලාන තරගාවලියට තව කල් වේලා තිබුණ බැවින් අපේක්ෂකයින්ට හොඳ සූදානමක් ලබා දීම සඳහා ප්‍රමාණවත් කාලයක් ජගත් පාපන්දු සම්මේලනයේ විනිසුරු කමිටුවට ලැබී තිබුණා.

අපි මේ තෝරා ගැනීම් කලින් ම නිවේදනය කරන්නේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පත්කර ඇති සියලු දෙනා සමඟ අපට තවත් වෙහෙස වී වැඩ කරන්න ඕන නිසායි. ඊළඟ මාස කිහිපයේ දී අපි ඔවුන්ව අධීක්ෂණය කරනවා. දිගටම වැඩියෙන් වෙහෙස වී වැඩ කර ඉතාමත් කල්පනාකාරීව ලෝක කුසලානයට සූදානම් වන්න,“ කලීනා අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිනවා.

තරග නිලධාරීන්ගේ සූදානම සියල්ලට වඩා වැදගත් වන බැවින් ඔවුන්ට අවශ්‍ය සියලු සහයෝගය ජගත් පාපන්දු සම්මේලනය විසින් ලබා දෙන බව එහි තරග විනිශ්චයේ අධ්‍යක්ෂ මසිමෝ බීසිකා සඳහන් කරයි.

සම්මේලනයේ විනිසුරුවන්ගේ උපදේශකවරු සියලු තරග නිලධාරීන් පිළිබඳව දැඩි අවධානයෙන් සිටිනු ඇති අතර විශේෂයෙන් ඔවුන්ගේ සෞඛ්‍ය හා ශරීර යෝග්‍යතාව සම්බන්ධයෙන් ඒක පුද්ගල වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත.

කටාර් රාජ්‍යයේ දී පාපන්දුව රෝල් වීම ආරම්භ වන විට මේ නිලධාරීන් ඔවුන්ගේ හොඳම තත්ත්වයෙන් සිටීම තහවුරු කිරීම පිණිස තරගාවලිය ආරම්භ වීමට ඉතාමත් ආසන්න මොහොතේ ඔවුන්ගේ තාක්ෂණික, කායික සහ වෛද්‍ය ලක්ෂණවල අවසාන තක්සේරුව කරන තෙක් එක් එක් තරග නිලධාරියා ඉදිරි මාස කිහිපය තුල තියුණු අධීක්ෂණයකට බඳුන් කරනු ඇත.

තරගාවලිය සඳහා තෝරා ගනු ලැබූ තරග නිලධාරීන් පැරගුවේ අගනුවර වන ඇසින්සියොන්, ස්පාඤ්ඤයේ අගනුවර වන මැඩ්රීඩ් සහ කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා හි සම්මන්ත්‍රණ කිහිපයකට සහභාගි වනු ඇති අතර එහි දී ඔවුන් නියම තීරණාත්මක තරග අවස්ථාවන්ගේ වීඩියෝ පට සමාලෝචනය කිරීමට නියමිතයි. ඔවුන් ක්‍රීඩකයන් සමඟ ප්‍රායෝගික පුහුණු සැසිවලට සහභාගි වන අතර ඒවා පටිගත කර පසුව අධීක්ෂණය කරමින් උපදෙස් ලබා ගනු ඇත.

මේ සූදානමේ ප්‍රධාන අවධානය යොමුව තිබෙන්නේ ක්‍රීඩකයන් හා ක්‍රීඩාවේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම පිළිබඳවයි. අපට වැරදි සියල්ල නැති කරන්න බැහැ. නමුත් ඒවා අවම කර ගන්න අප අපට පුළුවන් සියලු දේ කරනවා,“ යැයි මසිමෝ බීසිකා පවසනවා.

VAR ක්‍රමවේදය ප්‍රථම වතාවට භාවිතා කරනු ලැබුවේ රුසියාවේ පැවති 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දීයි. ඊට සිව් වසරකට පසුව, වීඩියෝ තරග නිලධාරීන් 24 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කටාර් දේශයේ දී ක්‍රියාත්මක වෙමින් තරග පිටියේ සිටින තම කණ්ඩායමේ සගයන්ට අවශ්‍ය වුවහොත් තාක්ෂණික සහාය ලබා දීමට සූදානමින් පසුවනවා.

එදා VAR ක්‍රමවේදය ක්‍රියාවට නංවා තිබුණේ ජගත් පාපන්දු සම්මේලනයේ සාමාජික පාපන්දු සංගම් ඉතාමත් සීමිත ප්‍රමාණයක් බැවින් 2018 රුසියාව තරගාවලිය සඳහා වීඩියෝ තරග නිලධාරීන් තෝරා ගැනුණේ ප්‍රධාන වශයෙන් යුරෝපය සහ දකුණු ඇමරිකාවෙන්.

වර්තමානයේ මේ ක්‍රමවේදය ලොව පුරා සෑම ප්‍රධාන තරගාවලියකටම භාවිතා කරන අතර ආසියාව, අප්‍රිකාව මෙන් ම මධ්‍යම හා උතුරු ඇමරිකාවෙන් ද වීඩියෝ තරග නිලධාරීන් කටාර් 2022 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට නියමිතයි.

ජගත් පාපන්දු සම්මේලනයේ ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා විනිසුරුවන් තිදෙනෙකු සහ කාන්තා සහායක විනිසුරුවන් තිදෙනෙකු සම්මේලනයේ විනිසුරු කමිටුව විසින් පත්කර තිබෙනවා.

ප්‍රංශයේ ස්ටෙෆනී ෆ්‍රැපාට්, රුවන්ඩාවේ සෙලීමා මෙකැන්සන්ගා සහ ජපානයේ යොෂිමි යමාෂිටා තරග විනිසුරුවරියන් වන අතර බ්‍රසීලයේ නීසා බෑක්, මෙක්සිකෝවේ කැරන් ඩිආස් මෙඩීනා සහ අමෙරිකාවේ කැත්රින් නෙස්බිට් සහාය විනිසුරුවරියෝ වනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට කාන්තා විනිසුරුවන් පත් කිරීම මීට වසර ගණනාවකට පෙර ජගත් පාපන්දු සම්මේලනයේ පිරිමි කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ තරගාවලිවල‍ට තරග විනිසුරුවරියන් පත් කරමින් ආරම්භ කළ දීර්ඝ ක්‍රියාවලියක අවසානය ප්‍රතිඵලය වී තිබෙනවා. මෙමගින් සම්මේලනය පැහැදිලිව අවධාරණය කර තිබෙන්නේ ඔවුන්ට වැදගත් වන්නේ තත්ත්වය මිස ලිංගභේදය නොවන බවයි.

“අනාගතයේ දී, වැදගත් පිරිමි තරගාවලි සඳහා සුපිරි කාන්තා තරග නිලධාරීන් තෝරා ගැනීම සාමාන්‍ය දෙයක් මිස එය තවදුරටත් සංවේදනය දෙයක් නොවන ලෙසින් දකිනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඔවුන් සුදුසුයි!,“ ජගත් පාපන්දු සම්මේලනයේ විනිසුරු කමිටුවේ සභාපති පියලුයිජී කලීනා අවසාන වශයෙන් කියා සිටිනවා.

පිරිමි ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සහභාගි වීමට ලැබීමෙන් තවත් කාන්තාවන්ට ඒ අවස්ථාව විවර වනු ඇතැයි යන්න තරග විනිසුරුවරියන් හය දෙනාගෙන් කෙනෙකු වන මෙක්සිකෝවේ කැරන් ඩිආස් මෙඩීනාගේ අපේක්ෂාව වී තිබෙනවා.

මට ලොකු සතුටක් දැනෙනවා. මේ අවස්ථාව මට ලබා දුන් පුද්ගලයන් සියලු දෙනාටම මම ඉතාම කෘතඥ වෙනවා,“ යනුවෙන් ප්‍රකාශ කරන කැරන් ඩිආස් වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ මෙය කාන්තාවන් තෝරා ගනු ලැබූ එක ම අවස්ථාව නොවන බවටත්, මෙය තවත් බොහෝ මෙවැනි තෝරා ගැනීම්වල පළමුවැන්න පමණක් වනු ඇති බවටත් තහවුරු කිරීමට වග බලා ගත යුතු බවයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<