මොරොක්කෝවේ යකඩ තාප්පය; Yassine Bounou

Football World Cup 2022

6243
AL RAYYAN, QATAR - DECEMBER 06: Yassine Bounou of Morocco applauds fans after their win in the penalty shoot out during the FIFA World Cup Qatar 2022 Round of 16 match between Morocco and Spain at Education City Stadium on December 06, 2022 in Al Rayyan, Qatar. (Photo by Shaun Botterill - FIFA/FIFA via Getty Images)

2022 පාපන්දු ලෝක කුසලානයෙන් සුපිරි ස්පාඤ්ඤ කණ්ඩායමට එළියට විසි වෙලා යන්න බලපෑ ප්‍රධානතම හේතුව තමයි මොරොක්කෝ කණ්ඩායමේ ගෝල රකින්නා වුණු Yassine Bounou කියන්නේ.

පසුගිය අඟහරුවාදා (06) ස්පාඤ්ඤය සහ මොරොක්කෝව අතර පැවැත්වුණු කණ්ඩායම් 16 තරග වටයේ දී ස්පාඤ්ඤ ක්‍රීඩකයින්ට එකම එක වතාවක්වත් (අඩුම තරමේ තරගයේ ජයග්‍රහණය තීරණය කරපු දඬුවම් පහර අවස්ථාවල දී වත්) Bounouව පසු කරන්න හැකියාව ලැබුණේ නැහැ.

මේ ස්පාඤ්ඤ කණ්ඩායම ම තමයි ඊට ටික දවසකට කලින් කොස්ටාරිකාවට එරෙහිව ගෝල හතක් ලබා ගන්නේ.

ඒ වගේම අනිත් අතට ස්පාඤ්ඤයට යන එන මං නැති කරපු Bounou පසු කරලා මේ තරගාවලියේ තවමත් එකම එක වතාවක් විතරයි පාපන්දුව දැල ඇතුළට ගිහිං තියෙන්නේ.

ඒ එකම එක ගෝලය Bounou පරයා දැල තුලට යවන්න සමත් වුනේ කැනඩා කණ්ඩායම. විශේෂම දේ තමයි මීට අවුරුදු 12කට පමණ පෙර Bounouට තීරණයක් ගන්න සිදු වෙලා තිබුණා තමන් ක්‍රීඩා කළ යුත්තේ කැනඩාවට ද එහෙම නැත්නම් මොරොක්කෝවට ද කියන එක ගැන.

එදා ඔහු කැනඩාව තෝර ගත්තා නම් මේ කතාව මීට වඩා වෙනස් එකක් වෙන්න තිබුණා.

ඒ වගේම අඟහරුවාදා ස්පාඤ්ඤය ගෙදර යවන වැඩපිළිවෙළේ මුල් පුරුක වුණු Bounou දැන් අවුරුදු 10කට ආසන්න කාලයක් තිස්සේ තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවා දමන්නේ ස්පාඤ්ඤයේම වීම තවත් දෛවෝපගත සිදු වීමක්.

ඒ හැම දෙයක් ගැනම ලියවෙන මේ ලිපියේ කතාව මොරොක්කෝවේ යකඩ තාප්පය Yassine Bounou පිළිබඳව!

Yassine Bounou උපත ලබන්නේ කැනඩාවේ මොන්ට්‍රෙයල් වලදී, ඒ 1991 අප්‍රේල් 5 වැනිදා. කැනඩාවේ උපත ලැබුවත් ඔහුගේ සැබෑම මව්බිම වෙන්නේ මොරොක්කෝව. ඒ නිසා කැනඩාවේ දී කුඩා දරුවෙක් විදිහට පාපන්දුවට අත්පොත් තිව්වා වුනත්, ඔහු නැවතත් තමන්ව අයිති, තමන්ට අයිති දේශය වන මොරොක්කෝවට එනවා.

එතැනින් පස්සේ තමයි ඔහු තමන්ගේ පාපන්දු ගමන වෙනස් තැනකින් ආරම්භ කරන්නේ.

2011 CAF Champions league (අප්‍රිකානු පාපන්දු ලීගය) තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ Wydad AC සහ  ES Tunis කණ්ඩායම් දෙක අතර. ඒ තරගය ජයග්‍රහණය කරන්න ES Tunis සමත් වෙනවා.

එදා පරාජිත Wydad AC කණ්ඩායමේ ගෝල රකින්නා විදිහට කටයුතු කරන්නේ වයස අවුරුදු 20ක කොළු ගැටයෙක් වුණු අපේ කතා නායකයා Yassine Bounou විසින්.

හැබැයි එදා අප්‍රිකානු පාපන්දු ලීගයේ පරාජිත කණ්ඩායමේ ගෝල රකින්නා විදිහට කටයුතු කළ Bounou ඊට අවුරුදු 10කට පස්සේ ස්පාඤ්ඤ පාපන්දු ලීගයේ (La Liga) හොඳම ගෝල රකින්නා විදිහට සම්මාන දිනා ගනීවී කියලා කවුද හිතන්න ඇත්තේ.

Yassine Bounou කුඩා කළ සහ දැන්

Yassine Bounou ගෝල රකින්නෙක් විදිහට ආපු ගමනේ දුෂ්කරතාවයන් ගැන කියනවටත් වඩා උලුප්පලා පෙන්වන්න තියෙන්නේ ඔහුගේ ඉවසීම ගැන. මොන තරම් දක්ෂ වුනත් ඒ බව ඔප්පු කරලා පෙන්වන්න අවස්ථාව ලැබෙනකම් ඉවසීමෙන් බලා හිඳීම නිසා තමයි අද Bounou ගැන මේ විදිහේ ලියමනක් ලියන්න පුළුවන් වෙන්නේ.

2011 දී අප්‍රිකානු පාපන්දු ලීගයට ක්‍රීඩා කළ Bounou එහෙමත් නැත්නම් Bono 2012 දී ස්පාඤ්ඤයට එන්න තීරණය කරනවා.

ඒ විදිහට ස්පාඤ්ඤයට ආපු Bono පළමුවෙන්ම ගිවිසුම් ගත වෙන්නේ Atletico Madrid ක්‍රීඩා සමාජය සමඟ. හැබැයි මොරොක්කෝවෙන් ස්පාඤ්ඤයට ආපු Bonoට සිද්ධ වෙනවා ඉවසන්න, මොකද ඔහු මුලින්ම යොදවන්නේ Atletico Madrid දෙවැනි පෙළ කණ්ඩායමක් එක්ක.

කාලය ගෙවිලා යද්දී  Atletico Madrid ප්‍රධාන කණ්ඩායමේ ගෝල රකින්නන් විදිහට කටයුතු කරපු Thibaut Courtois සහ Daniel Aranzubia විසින් කණ්ඩායම හැර යාමත් එක්ක අපේ කතා නායකයා එහි ප්‍රධාන කණ්ඩායමට එකතු වෙන්න සමත් වෙනවා.

ඒත් ඔහුට 2014 වෙන තෙක්ම Atletico Madrid කණ්ඩායමෙත් ප්‍රධාන ගෝල රකින්නා වෙන්න ඔහුට අවස්ථාව හිමි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි 2014 දී on loan ක්‍රමය යටතේ Real Zaragoza කණ්ඩායම එක්ක ඔහු එකතු වෙන්නේ (වැඩි තරග කාලයක් ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දෙන්න තමයි මේ දේ කරන්නේ).

ඒ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තු Bono විසින් එතෙක් ස්පාඤ්ඤ පාපන්දු ලීගයේ දෙවන මට්ටමේ හිටපු Real Zaragoza කණ්ඩායම ප්‍රධාන තරගාවලියට ඇතුළත් වෙන වෙලාවේ ඒ වෙනුවෙන් හයියක් වෙනවා.

ඉන් අනතුරුව 2016 දී Girona කණ්ඩායම සමඟ එකතු වෙන Bono පිට පිටම දෙවැනි වතාවටත් ඒ විදිහේ දෙයක් කරන්න සමත් වෙන්නේ Girona කණ්ඩායමත් ස්පාඤ්ඤයේ ප්‍රධාන ලීගයට ඇතුළත් කරමිනුයි.

ඕනම මනුස්සයෙක්ට තමන් තව කෙනෙක්ට විකල්පයක් පමණක් බව දැනෙනවා කියන්නේ දරා ගන්න බැරි හැඟීමක්.

තමන් ක්‍රීඩා කරපු හැම ක්‍රීඩා සමාජයක දී ම වගේ Bono බොහෝ විට පළමු තෝරා ගැනීම වුනේ නැහැ, නමුත් ඔහු ඒ දේ දරාගෙන හිටියා.

අවුරුදු ගණනාවක් තිස්සේ ඉවසීමෙන් බලා හිඳීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහුට පුළුවන් වෙන්නේ 2021/22 තරග සමය වෙනුවෙන් ස්පාඤ්ඤ ලීගයේ (La Liga) හොඳම ගෝල රකින්නා  (best goalkeeper) විදිනට Zamora කුසලානය දිනා ගන්න.

ඔහුට මේ සම්මානය හිමි වෙන්නේ Sevilla FC ක්‍රීඩා සමාජය වෙනුවෙන් අදාළ තරග කාලය තුල දක්වපු දස්කම් නිසා.

ඒත් ඔහු මුලින්ම Sevilla කණ්ඩායමෙත් මුල්ම තෝරා ගැනීම වුනේ නැහැ. 2019 වර්ෂයේ දී on loan ක්‍රමය යටතේ Sevilla වලට එන Bonoට එවකට කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින්නා වුණු Tomas Vaclikගේ ආදේශකය විදිහට ක්‍රීඩා කරන්න සිදු වුනා.

නමුත් 2021/22 තරග වාරය වෙද්දී ඔහු කෙසේ හෝ කණ්ඩායමේ තමන්ට ලැබිය යුතු ස්ථානය තහවුරු කරගන්න සමත් වෙනවා.

කෙමෙන් ස්ථාවර වුණු ඔහු දැන් වෙද්දී තමන්ගේ රට වෙනුවෙන් වගේම තමන්ගේ වර්තමාන ක්‍රීඩා සාමාජය වෙනුවෙනුත් ඉතිහාසගත ගෝල රකින්නෙක් වෙලා හමාරයි.

ඔහු තමයි මොරොක්කෝවේ වගේම Sevilla ක්‍රීඩා සමාජයෙනුත් Zamora කුසලානය දිනා ගන්න සමත් වුණු පළමු සහ එකම ගෝල රකින්නා බවට පත් වෙන්නේ.

ඒ වගේම මේ වෙද්දී ඔහු 2022 වසර වෙනුවෙන් ලෝකයේ හොඳම ගෝල රකින්නා විදිහට ලබා දෙන Yashin කුසලානය වෙනුවෙනුත් නාම යෝජනා ලබලයි ඉන්නේ.

වැදගත් ම කතාව තමයි ඔහු 2012 දී ස්පාඤ්ඤයට ඇවිත් පළමුවෙන්ම එකතු වුන Atletico Madrid කණ්ඩායමේ එවකට ප්‍රධාන ගෝල රකින්නා වුණු Thibaut Courtois සමඟ එකම නාම ලැයිස්තුවක ලොව හොඳම ගෝල රකින්නා විදිහට නාම යෝජනා ලබන්න Bonoට හැකි වීම.

මනුස්සයෙක් තමන්ගේ ජීවිතය ඇතුළේ අවස්ථාවන් ලැබෙන තෙක් බලා හිඳීමේ හොඳම උදාහරණයක් විදිහට Bonoව නම් කරන්න අපිට පුළුවන් වෙන්නේ ඒ නිසායි.

“ මේ තෑග්ග  සෑම මොරොක්කෝ ජාතිකයෙක් වෙනුවෙන්මයි!”

පසුගිය අඟහරුවාදා ස්පාඤ්ඤය පරාජය කරමින් ලෝක කුසලානය අර්ධ අවසන් පූර්ව වටය තෙක් යන්න සමත් වූ මේ උතුරු අප්‍රිකානු රාජ්‍යයේ ගෝල රකින්නා, අපේ කතා නායකයා Bono ඒ ජයග්‍රහණය සිය රට වැසියා වෙනුවෙන් පිරිනැමුවා.

“ හැම ක්‍රීඩකයෙක් වෙනුවෙන්ම, මම අපේ ක්‍රීඩාලෝලීන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සියලු මොරොක්කෝ වැසියන්ට මම මේ ජයග්‍රහණය ත්‍යාගයක් විදිහට පිරිනමනවා.

ඔබ දන්නවා ඒ වගේ වෙලාවකට බුද්ධිමත් බව වගේම, වාසනාවත් ටිකක් විතර අවශ්‍යයි. අපි දිනපු එක තමයි වැදගත්ම දේ වෙන්නේ. අපේ කාර්‍ය මණ්ඩලයේ හැම කෙනෙක්ටම මගේ උත්තමාචාරය පිරිනමනවා. අපි ඒක කළා. ඒක අදහා ගන්න බැරි තරම් දෙයක්.

ස්පාඤ්ඤය වගේ හොඳ කණ්ඩායමකට එරෙහිව විනාඩි 120ක් තිස්සේ හොඳ අවධානයකින් සිටීම අසීරු දෙයක්.”

තරගයෙන් අනතුරුව Bono තමන්ගේ හැඟීම් ඒ විදිහට මාධ්‍ය හමුවේ බෙදා ගත්තා.

Bono මොරොක්කෝව වෙනුවෙන් ජාත්‍යන්තර තරග වරම් දිනා ගන්නේ 2013 වර්ෂයේ දී, එතැන් සිට ඔහු කෙමෙන් කෙමෙන් සිය ජාතික කණ්ඩායමෙත් ප්‍රධාන තෝරාගැනීම බවට පත් වෙන්න සමත් වෙනවා.

මෙවර ලෝක කුසලානයට එද්දී ඔහුගේ තරග වාර්තාවේ ගෝල රකින්නෙක් විදිහට පන්දුව දැල තුලට යා නොදී රැක ගැනීමේ සම්භාවිතාවය 26%ක් විදිහට සටහන් වෙලා තිබුණා.

පෙර සඳහන් කළාත් වගේ ඔහු අතින් මෙවර ලෝක කුසලානයේ දී ගිලිහිලා ගියේ එකම එක ගෝලයක් විතරයි.

දෙසැම්බර් 10 සෙනසුරාදා Bono ප්‍රමුඛ මොරොක්කෝවට, ලෝක කුසලානය අර්ධ අවසන් පූර්ව වටයේ දී පෘතුගාලය මුණ ගැහෙන්න නියමිතයි. පෘතුගාලයට මේ වෙනකොටත් තියෙන ලොකුම හිසරදය අපේ කතා නායකයා Bono නොහොත් Yassine Bounou කියන දේ රහසක් නෙවෙයි.

ඉතින් අපි බලන් ඉමු සෙනසුරාදා පෘතුගාලය ද, එහෙම නැත්නම් Bounou ද මේ සටනේ ජයග්‍රාහකයා වෙන්නේ කියලා!

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<