කම්පා කරවන ප්‍රතිඵල මේ ලෝක කුසලානයේ වැඩියෙන් දකින්නේ ඇයි?

FIFA World Cup 2022

882

මේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයේ සිට ම සම්ප්‍රදායික බලවත් කණ්ඩායම්වලට මුහුණ පෑමට සිදු වූයේ එසේ මෙසේ අභියෝගවලට නම් නෙවෙයි.

සෞදි අරාබිය විසින් ආජන්ටිනාව විස්මයට පත් කරනු ලැබුවේ ලෝක කුසලාන පාපන්දු දීර්ඝ ඉතිහාසයේ වඩාත් ම පෙරළිකාර සිදුවීම සටහන් කරමින්.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇත්ත වශයෙන් ම ආරම්භ වූයේ ඒ අවස්ථාවේ දී.

ඊට පසු දිනවල දී මොරොක්කෝව ලොව අංක දෙකට ශ්‍රේණිගතව සිටින බෙල්ජියම පරාජය කළ අතර ඩෙන්මාර්කය පැරදවූ ඕස්ට්‍රේලියාව තරගාවලියේ Knockout අදියරට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත්, කුමක් සිදු වේ දැයි කලින් කිව නොහැකි තරගාවලියේ කාණ්ඩ අදියර හෙවත් මූලික වටයේ විස්මය ජනක සිදුවීම් දක්නට ලැබුණේ H කොටසේ. එහි දී ජපානය සිය කාණ්ඩයේ ඉහළට ම පිවිසියේ ජර්මනියත්, ස්පාඤ්ඤයත් පරාජය කරමින් සහ පාපන්දු ලෝකය අන්දමන්ද කරවමින්.

මේ පරාජයත් සමඟ ජර්මනියට ආපසු සිය රට බලා යාමට සිදු වුනා. ස්පාඤ්ඤය විසින් ආරම්භක තරගයේ දී ගෝල 7-0කින් පරාජයට පත් කළ කොස්ටාරිකා කණ්ඩායමට ජපානය පැරදුණා.

ලෝක කුසලාන පෙරළිකාර සිදුවීම් බොහෝ ප්‍රමාණයක් වාර්තා වී තිබුනත්, මේ වසරේ තරගාවලිය ඒ සියල්ලට ම වඩා වැඩි සිද්ධීන්වලින් පිරී තිබෙනවා. ඇත්ත වශයෙන්ම, මේ තරගාවලිය වසර 92ක ලෝක කුසලාන පාපන්දු තරගාවලි ඉතිහාසයේ කිසිම කණ්ඩායමක් විසින් ඔවුන්ගේ මූලික වට තරග සියල්ල ම ජය නොගත් සිව්වැනි තරගාවලිය මෙන්ම 1994 වසරෙන් පසුව එවැනි ප්‍රථම තරගාවලිය බවට ද පත්වෙනවා.

මේ වසරේ තරගාවලියේ මෙතරම් පෙරළිකාර සිදුවීම් ඇති වීමට හේතුව කුමක්ද?

නොයෙකුත් හේතුන් අරබයා මේ ලෝක කුසලානය පළමු තරගාවලිය බවට පත්වෙනවා.

එය මැද පෙරදිග රටක පැවැත්වූ පළමු තරගාවලිය වනවා. මීට අමතරව එය සම්ප්‍රදායික යුරෝපීය පාපන්දු කැලැන්ඩරයේ මැද පැවැත්වුණු ප්‍රථම තරගාවලිය ද වෙනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සාම්ප්‍රදායිකව පවත්වනු ලබන්නේ ජූලි සහ අගෝස්තු මාසවල දී වූවත්, එම වකවානුවේ කටාර් දේශයේ පවතින දැඩි  උෂ්ණත්වය සැලකිල්ලට ගෙන ජගත් පාපන්දු සම්මේලනය මේ දින වකවානු වෙනස සිදු කිරීමට තීරණය කළා. මේ හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දුවේ ප්‍රධානතම තරගාවලියට සූදානම් වීමට බොහෝ කණ්ඩායම්වලට ලැබුණේ සතියකට මඳක් වැඩි වූ කාලයක් පමණයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, එක රටක පමණක් ප්‍රමුඛව සිටින ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් තරගාවලියේ මුල සිට ම දියුණුවට පත්වුනා. රටෙන් පිට ක්‍රීඩා කරන එක ම ක්‍රීඩකයෙකු හෝ නැති සෞදි අරාබිය සහ එංගලන්තය තරගාවලිය ආරම්භයේ සිට ම හොඳින් සංවිධානය වී සිටි කණ්ඩායම් ලෙසින්  දිස්වුනා.

කෙසේ වෙතත්, සෑම ක්‍රීඩකයෙකු ම රට තුළ ක්‍රීඩා කරන සත්කාරක කටාර් කණ්ඩායමෙන් එතරම් සංවිධානාත්මක බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. එබැවින් ඔවුන් තරග ප්‍රතිඵල අතින් මෙතෙක් දක්නට ලැබුණු දුර්වල ම ලෝක කුසලාන පාපන්දු සත්කාරක රට බවට පත්වුනා.

අනෙක් අතින් බලන විට, ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ලීග් තරගාවලිවලට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් ඔවුන්ගේ ඒකාබද්ධතාව සොයමින් තරගාවලියේ සිය මුල් තරගවල සිට ම දඟලන්නට වුනා.

ආජන්ටිනාව දිස්වුණේ මනා ගැළපීමක් නැති කණ්ඩායමක් ලෙසින්. ඩෙන්මාර්කයට ප්‍රාණවත්භාවයේ අඩුවක් තිබුණු අතර බෙල්ජියමෙන් ප්‍රදර්ශනය වුනේ නිදිමත ගතියක්. උපායශීලී සංවිධානය සහ මිත්‍ර සම්බන්ධතාව ගළපා ගැනීම පිණිස බොහෝ ලීගයන් ඔවුන්ගේ තරගවාර අවසන් කිරීමෙන් පසුව ග්‍රීෂ්ම සෘතුවේ කලින්ම ලැබෙන සුපුරුදු අමතර කාලය අහිමි වීම නිසා ලොකු නම්වලින් යුත් සමහර කණ්ඩායම් තරගාවලිය ආරම්භ කළේ මන්දගාමීව.

මේ අතර, සූදානම් වීමේ කාලයේ තිබුණු අඩුපාඩුවලින් සිදු වුනේ බොහෝ සතිවල තරග දෙක බැගින් ක්‍රීඩා කරමින් මාස හතරක පමණ ඉතාමත් වෙහෙසකාරී තරග වැඩසටහනක නියැලීමෙන් පසුව ක්‍රීඩකයින් කටාර් දේශයට පැමිණීමයි.

සාමාන්‍යයෙන්, පළමු පරීක්ෂණය සඳහා ක්‍රීඩකයන්ට මාසයක පමණ කාලයක් ලැබෙන අතර ඔවුන් ශාරීරිකව තරගාවලියට සූදානම් වන්නේ ඉන්පසුවයි. නමුත් මේ සුඛෝපභෝගීබව මේ තරගාවලියේ දී ඔවුන්ට තිබුණේ නැහැ.

මෙහි ප්‍රතිඵලයක් ලෙසින් තරගාවලිය බබළවනු ඇතැයි අපේක්ෂා කෙරුණු සමහර සුපිරි තරුවලින් ඔවුන්‌ගේ උපරිම දක්ෂතාවන් ප්‍රදර්ශනය නොවුනාක් මෙන්ම, මේ ලෝක පාපන්දු වේදිකාව අලංකාර කරනු ඇතැයි බලාපොරොත්තු තබා ගෙන සිටි ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ආබාධවලට ද ලක්වුනා.

ශාරීරික යෝග්‍යාතාවයේ තිබෙන අඩුපාඩු නිසා ප්‍රාණවත් කකුල්වලින් යුත් ආදේශ ක්‍රීඩකයන් නිසි වේලාවට සාර්ථකව තරග සඳහා යෙදවීමට කණ්ඩායම් කළමනාකරුවන්ට නොහැකි වී තිබෙනවා.

කණ්ඩායම්වලට ආදේශක ක්‍රීඩකයන් යොදා ගැනීම 3 සිට 5 දක්වා වැඩි කිරීමට මෑතක දී ලැබුණු අවසරය තමන්ට අවශ්‍ය වූ විට ක්‍රීඩකයන් සහ උපායශීලී ක්‍රම මාරු කිරීමට කළමනාකරුවන්ට ඇති අභිප්‍රායට රුකුලක් වී තිබෙනවා.

ජර්මනිය සහ ස්පාඤ්ඤයට එරෙහි ජපානයේ ජයග්‍රහණවල දී හරියට ම නියම වේලාවට – තමන්ගේ ප්‍රතිවාදියා වෙහෙසට පත්ව සිටිය දී – අලුත් මුහුණු කණ්ඩායමට එක් කිරීමට කළමනාකරු Hajime Moriyasu කටයුතු කළා. මේ නිසා ජයග්‍රහණය කරා යාමට අවශ්‍ය ආවේගය කණ්ඩායමට ලැබුණා.

තරගාවලියට සූදානම් වීම සඳහා ලැබුණු කාලයේ අඩුපාඩුව කණ්ඩායම් 32ට ම ප්‍රශ්නයක් වූවත්, එය සෑම දෙනාට ම පොදු වූ සාධකයක් වුනා. සමහර විට මේ නිසා සාම්ප්‍රදායික ජනප්‍රිය කණ්ඩායම් සමඟ සාර්ථකව තරග කිරීම සඳහා ජනප්‍රියත්වයෙන් අඩු කණ්ඩායම්වලට දොරටු විවර වීමක් ද සිදුවන්නට ඇති.

ලොකු නම්වලින් යුත් කණ්ඩායම් ලැබූ පුදුම සහගත පරාජයන් ඒ ඒ අවස්ථාවන්හි පැවති වාතාවරණයන්ට සම්බන්ධ කිරීමට ද හැකියාව තිබෙන බවට කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.

ආජන්ටිනා කණ්ඩායම සෞදි අරාබියට පරාජය වීම පසුව නිරීක්ෂණය කරන විට වැඩිපුර පෙනෙන්නේ විකෘත වූ ප්‍රතිඵලයක් ලෙස. සෞදි අරාබිය ඔවුන්ගේ ප්‍රහාර දෙක ඉලක්කයට එල්ල කළ අතර ආජන්ටිනාව ලබා ගත් ගෝල බොහොමයක්  ප්‍රතික්ෂේප වුනේ ඔවුන්ට ලැබුණු ඉතාමත් සියුම් offside තීරණ  හේතුවෙන්. එහෙත් ආජන්ටිනාව ඔවුන්ගේ ඊළඟ තරග දෙක ජය ගත් අතර සෞදි අරාබිය ඔවුන්ගේ ඊළඟ තරග දෙකෙන් පරාජයට පත්වුනා.

බෙල්ජියම පැත්තෙන් බලන විට ‘රත්තරං පරම්පරාවක්’ ලෙසින් හැඳින්වෙන ඔවුන්ගේ කණ්ඩායමේ වයස දැන් කල් ඉකුත්ව ඇති බව සමහරුන්ගේ විශ්වාසය වී තිබෙනවා.

The Guardian සමඟ පැවති සාකච්ඡාවක දී එම කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක Kevin De Bruyne ප්‍රකාශ කර තිබුණේ ක්‍රීඩකයන් වයසින් වැඩි නිසා තම කණ්ඩායමට කුසලානය දිනා ගැනීමට අවස්ථාවක් නැති බවයි.

De Bruyneගේ මේ ප්‍රකාශය බෙල්ජියම් ක්‍රීඩක කාමරයේ භේදයක් හට ගැනීමට හේතු වූ බවට වාර්තා වූවත්, ඒ භේදය නිසා හෝ කණ්ඩායම් සංචිතයේ දෝෂයක් නිසා හෝ අවසානයේ ඔහු නිවැරදි බව තහවුරු වූයේ බෙල්ජියම මූලික වටයෙන් ම ඉවතට විසි වුනු නිසා.

ජර්මනියේ කලකිරවන ලෝක කුසලාන මෙහෙයුම එතරම් පුදුමසහගත එකක් නෙවෙයි.

වයසට යන සුපිරි තරු වන Thomas Muller, Manuel Neuer සහ Ilkay Gundogan යන සියලු දෙනා තරුණ, පළපුරුද්දක් නැති අස්වැන්නක් වන Jamal Musiala, Karim Adeyemi, Armel Bella-Kotchap සහ Youssoufa Moukoko යන ක්‍රීඩකයින් සමඟ සම්බන්ධ වූ විට සෑදුණේ සමබර නැති සංචිතයක්.

සෑම ලෝක කුසලාන තරගාවලියකට ම පෙර එක කාණ්ඩයක් එහි දුෂ්කර අන්තර්ගතය නිසා ‘Group of Death’ ලෙසින් අභිෂේක කරනු ලබනවා. මෙවර තරගාවලියේ E කාණ්ඩයේ දී ජපානය, ස්පාඤ්ඤය සහ කොස්ටාරිකා සමඟ ජර්මනිය ද දුෂ්කර පරිසරයකට ඇද ගනු ලැබුවා.

කණ්ඩායමකට ලෝක කුසලාන තරගාවලිය පැමිණියේ කල් වැඩියෙන් හෝ ප්‍රමාද වී හෝ බව නිතර කියවෙන කතාවක්. බෙල්ජියම සහ ජර්මනියට අනුව කටාර් තරග බිමේ ඔවුන්ගේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ රොස්ටරය 2022 වසරේ පැවැත්වෙන තරගාවලියක් සඳහා හොඳින් සූදානම් වී  නොතිබුනු බවයි.

මේ ගැන පාපන්දු ලෝක කුසලානය බලන ඔබේ අදහස මොකද්ද? පහළින් Comment කරන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<