කළු කඩ මිල ඉහළට

526
Courtesy - Reuters

අෂ්රෆ් අලී, 974 ක්‍රීඩාංගණයට පැමිණියේ ආජන්ටිනා – පෝලන්ත තරගය ඇරඹීමට පැය 6කට පෙර ය. ප්‍රවේශ පතක් සොයා ගැනීම කෙතරම් අපහසු වී ද යත්, “අපට ටිකට් ඕන” යනුවෙන් සඳහන් පුවරුවක් ඔහුට ඔසවා ගෙන සිටින්නට සිදු විය.

කෙනෙකු ඔහුට ඇ.ඩොලර් 2000කට (රු.738,000කට වැඩි) ප්‍රවේශ පතක් ලබා දෙන්නට එකඟ විය. එය එහි සැබෑ මිල මෙන් නව ගුණයකි.

30 හැවිරිදි අලී, ඊජිප්තුවේ සිට කටාර් වෙත පැමිණියේ ඔහුගේ පාපන්දු වීරයා, ලියොනල් මෙසී ක්‍රීඩා කරනු හැබැහින් දැකීමට ඔහුට තිබූ දැඩි ආශාව නිසයි. ඇ.ඩොලර් 500කට (රු. 185,000ක් පමණ) ප්‍රවේශ පතක් ඔහුට සොයා ගන්නට ලැබුණේ තරගයට මිනිත්තු 30කට පමණ පෙර යි. ඒ වාසනාව නිසා ආජන්ටිනාව විසින් පෝලන්තය පරදවා ගෝල 2-0ක ජයක් ලැබූ අවස්ථාව සැබවින්ම දැකගන්නට ඔහුට හැකි විය.

ප්‍රවේශ පත් රහිත අනෙකුත් ප්‍රේක්ෂකයින් දෝහා හි ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණ වටා රැස්ව සිටිනු දැක ගත හැකිය. හේතුව, ඔවුන්ට ප්‍රවේශ පත් මිලට ගැනීමට ඇති නොහැකියාවයි. එය නොහැකියාවකටත් වඩා අසාධාරණ මිලකට ප්‍රවේශ පතක් මිලට ගැනීමට ඇති අකමැත්තයි. ඇතැම් විට ඒවා සැබෑ මිලට වඩා දස ගුණයකින් පමණ ඉහළ ය.

Messi
ලියොනල් මෙසී – Courtesy – CNN.com

ඔවුන්ව පොලිසිය විසින් සහ අනෙකුත් ආරක්ෂකයින් විසින් විසුරුවා හරිනු පෙනෙන්නට තිබේ. එය අරාබියානු ගල්ෆ් පාලනයේ ස්වභාවයයි. එහෙත් ඔවුන් එහි රැඳී සිටින්නේ කොහෙන් හෝ ප්‍රවේශ පත් සොයාගෙනවිත් ඔවුනට අලෙවි කරන්නන් පැමිණෙන තෙක් ය.

“කළු කඩයක් ගොඩනැගෙමින් තියෙනවා”, ප්‍රවේශ පත් අලෙවි කරන ප්‍රංශ අතරමැදියෙකු රොයිටර් පුවත් සේවය වෙත එසේ අදහස් පළකළේය. ඔහු පවසන්නේ ප්‍රවේශ පත් අලෙවි කර ඉපයූ මුදලින් ඔහුගේ ලෝක කුසලාන සවාරිය අවසන් වන තෙක්ම වියදම් පියවා ගෙන අතිරික්තයක් තබා ගැනීමට තරම් ඉපයූ ආදායම ඉහළ බවයි.

නම සඳහන් කිරීමට අකමැති ප්‍රකාශකයෙකු පැවසුවේ උග්‍ර රසිකයන්ට ප්‍රවේශ පත් විකිණීමේ දී 1000%ක මිල ඉහළ දැමීමක් සිදු කරන බවයි. ලියොනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා කරන තරග එහි මුල්තැන් ගන්නා බව ද ඔහු පවසයි.

“මම විකුණන්නේ රසිකයෝ ඕන දෙයක් දෙන තරගවල ටිකට් තමයි”, ඔහු රොයිටර් වෙත කීවේය.

අනෙකුත් ප්‍රවේශ පත් විකුණන අතරමැදියන් ලෝක කුසලාන තරග පැවැත්වෙන සමයේ දෝහා වෙත සංක්‍රමණය වූයේම මුදල් ඉපයීම වෙනුවෙනි. එය මැදපෙරදිග පැවැත්වෙන පළමු ලෝක කුසලාන තරගාවලියයි.

ක්‍රීඩාංගණවලින් පිටත දී සමාජ මාධ්‍ය භාවිතයෙන් සහ අනෙකුත් “කළු ක්‍රම” වලින් ප්‍රවේශ පත් මිලට ගැනීමට උත්සාහ කළ බව රොයිටර් හා අදහස් පල කළ 20කට අධික අලෙවිකරුවන් පිරිසක් පවසා ඇත.

එමෙන්ම ක්‍රීඩාංගණ අවසර පත් වෙනුවෙන් ද ප්‍රේක්ෂකයන් විසින් මුදල් ලබා දෙනු මොරොක්කෝ – කැනඩා තරගය පැවැත්වුණු අල්-තුමාමා ක්‍රීඩාංගණයේ දී දක්නට ලැබිණි.

තරග සංවිධායකයන් පවසන්නේ ප්‍රවේශ පත් රහිත ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණ වෙත පැමිණීමෙන් වළකින ලෙසයි. පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී අතිවිශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ප්‍රවේශ පත් රහිතව ක්‍රීඩාංගණ අසලට රැස්ව සිටිනු දක්නට ලැබිණි.

දකුණු ඇමරිකාවේ පරිපාලන නිලධාරියෙකු පැවසුවේ කළු කඩ මුදලට ප්‍රවේශ පත් ලබා දෙන අලෙවිකරුවන්ට ලබා දෙන දඬුවම් සරල බවයි. බොහෝ අවස්ථාවල දී සිදු කෙරෙන්නේ දඩ ගැසීමක් පමණි. තානාපති කාර්යාලයෙන් හෝ එවැනි අලෙවිකරුවන් සහ මිලට ගන්නන්ව රටින් පිටමං කිරීමක් තමන් නොදුටු බව ඔහු පැවසුවේය.

FIFA ආයතනයෙන් පමණක් ප්‍රවේශ පත් අලෙවි කිරීමේ බලය පවත්වා ගන්නා ලෙස කටාර් රාජ්‍යයේ නීතියක් පවා සම්මත විය. ඊට අනුව, ප්‍රවේශ පතක් නියමිත මිලට වඩා ඉහළ මිලකට අලෙවි කළහොත්, වරදකරුවන්ට ප්‍රවේශ පතේ මිල මෙන් දස ගුණයක පමණ දඩ පැනවේ.

ලෝක කුසලාන තරගාවලිය තීරණාත්මක පිළිමළුන් පිටුදැකීමේ වටයට පැමිණෙද්දී FIFA පවසන්නේ අයථා ක්‍රමවලින් අලෙවි කෙරුණු බවට හඳුනා ගන්නා ප්‍රවේශපත් අවලංගු කරන බවයි.

“FIFA හි පරම අරමුණ වන්නේ සියලු ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව සහ සුරැකි බව ප්‍රමුඛ කරමින් සාධාරණ මිලකට ප්‍රවේශ පත් අලෙවි කිරීමේ ක්‍රමවේදයක් බලාත්මක කිරීමයි,” යනුවෙන් FIFA විසින් ප්‍රකාශයක් නිකුත් කොට තිබේ.

රොයිටර් වෙත විද්‍යුත් පණිවුඩයක් නිකුත් කරමින් FIFA හි බලධාරියෙකු පවසා ඇත්තේ පවත්නා නීතිය යටතේ ගැළපෙන තීරණ ගැනීම සම්බන්ධව ඔවුන් කටාර් හි බලධාරීන් සමඟ නිතිපතා සම්බන්ධතා පවත්වන බවයි.

තරගාවලියේ අවසන් තරග කිහිපය වන විට ඉල්ලුම තවත් වැඩි වනු ඇති අතර කටාර් රජය විසින් සංක්‍රමණිකයන්ට නීති පනවා ඇත්තේ ප්‍රවේශ පත් නොමැති නම් රටට ඇතුල් විය නොහැකි පරිදියි. දෝහා නගර මධයේ පිහිටි FIFA ප්‍රවේශ පත් මධ්‍යස්ථානයෙන් පිටත පසුගිය ඉරිදා ශබ්ද විකාශන යන්ත්‍ර යොදා පණිවුඩයක් කියවනු ලැබුණා.

“ප්‍රවේශ පත් නැහැ”, යනුවෙන් එය කියවුනා.

ආජන්ටිනා රසික ෆෙඩරිකෝ ක්‍රියාදෝ පවසන්නේ සෑම දින දෙකකට වරක්ම තමන් ප්‍රවේශ පත් මධ්‍යස්ථානයට ගියත්, ආජන්ටිනා තරගවලට ප්‍රවේශ පත් නොමැති බව එහි පුළුල් තිර මත ප්‍රදර්ශනය වූ බවයි. එමෙන්ම ඔහු අන්තර්ජාලය ඔස්සේ ද නැවත අලෙවි වන ප්‍රවේශ පත් මිලට ගැනීමට උත්සාහ කරමින් පැය ගණන් ගත කළ බව පැවසුවේය.

“මම හිතන්නේ මිනිස්සු ඒ තැන්වලින් පිටත දී ටිකට් විකුණන්නේ එතකොට වැඩිපුර සල්ලි ගන්න පුළුවන් හින්දා වෙන්න ඕන.”, ක්‍රියාදෝ පවසන පරිදි කළු කඩ ජාවාරම විශාල වශයෙන් ක්‍රියාත්මක ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<