ගියපු අය පැන්නේ ඇයි?

471
 

මවිසින් නැරඹූ සිංහල චිත්‍රපට අතර “මචං” චිත්‍රපටයට ඇත්තේ හදවතේ ඉහළ ස්ථානයකි. උපතේ සිට සංස්කෘතික, ආර්ථික, දේශපාලනික, සමාජීය වරපට වලින් බැඳ තබනු ලැබ සිටින ශ්‍රී ලාංකික අප දෙස එම චිත්‍රපටයේ විදෙස් අධ්‍යක්ෂකවරයා බලන සංවේදී කෝණය ඊට හේතුවයි. එය සත්‍ය කතාවක ප්‍රතිනිර්මාණයක් වීම තව තවත් ආදරය දනවන සුළු ය.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දසදෙනෙකු ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳ පුවත වාර්තා වී මේ වන විට දින කිහිපයක් ඉක්ම ගොසිනි.

’80/’90/’00/’10 දශකවල දී ද එවැනි සිදුවීම් වාර්තා වී ඇති නමුත් රටේ වර්තමාන තත්වය සලකා බැලීමේ දී එවැනි පුවත් හමුවේ හඬනවා ද, සිනාසෙනවා ද යන උභතෝකෝටිකය අප හමුවේ ඇත.

“නීති විරෝධී සංක්‍රමණය” සාධාරණීකරණය කිරීම කිසිසේත්ම කළ නොහැක්කකි. ඔවුන් කළේ නීති විරෝධී ක්‍රියාවකි. එහෙත් “ඔවුන් මගේ රටේ පුරවැසියන් ය” යන සහකම්පනයෙන් ගැලවිය නොහැකිය.

“මචං” චිත්‍රපටයට පාදක වූ ව්‍යාජ හෑන්ඩ්බෝල් කණ්ඩායමේ සත්‍ය ඡායාරූපයක්

මෙය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. හැකියාවට, සුදුසුකමට නිසි ඉඩ සොයාගැනීම කළු නික සොයන්නාක් මෙන් අපහසු ය. තරුණයන්ගේ සිහින දිනෙන් දින බොඳවෙයි. වසර 25-30ක කාල පරතරයක් ගතවන සෑම යුගයකම ලේ හැලීම්, කැරලි, අර්බුද ගොඩනැගෙන ආකාරය පුදුම සහගත ය. ඇතැමෙකුට අනුව එය කුවේණියගේ සාපය නිසා සිදුවන්නකි.

කුමන සාපයක් නිසා හෝ වේවා ඒ දුක්වලින් ඈතට පැන යා හැකි සෑම අවස්ථාවක දී ම මෙරට පුරවැසියන් අවස්ථාවාදීත්වයට ඉඩ දෙන්නේ එබැවිනි. 2021 වසරේ නෝර්වේහි ඔස්ලෝ නුවර පැවති ලෝක මල්ලව පොර ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු කණ්ඩායම හැර පලා ගියේය.

2014 දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර දී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු කණ්ඩායමෙන් පලා ගියේය. ක්‍රීඩාවට සම්බන්ධ වුව ද ඔවුන් මෙරට පුරවැසියන් ය. එබැවින් අප සිත්හි ඔවුන් කෙරෙහි සානුකම්පිත හැඟීම් නැතැයි කිව නොහැකි ය. එහෙත් ඔවුන් විසින් තෝරාගත් ක්‍රමය නීති විරෝධී ක්‍රමයකි.

“මචං” චිත්‍රපටයට පාදක වූ 23දෙනාගේ කතාන්දරය ද එවැන්නකි. හෑන්ඩ්බෝල් නමැති ක්‍රීඩාවක් ගැන පෙර අසාවත් නොතිබූ හෑන්ඩ්බෝල් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජර්මනියේ පැවති මිත්‍රත්ව තරගාවලියට සහභාගී වීම සඳහා ජර්මනිය බලා ගියේය.

ඉන් බොහෝ දෙනෙකුට එය ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටතට ගිය මුල්ම සහ අවසන් අවස්ථාව විය. අද ඔවුන් යුරෝපයේ හෝ සාමාජීය වශයෙන් මෙරටට වඩා දියුණු මොනයම් හෝ කලාපයක ජීවත් වනවා විය යුතුය. එය ධනාත්මක සිතුවිල්ලයි.

එහෙත් සත්‍යය අපි නොදනිමු. ඇතැම් විට ශ්‍රී ලංකාව හැරදා ශ්‍රී ලංකාවටත් වඩා සාමාජීය වශයෙන් පිරිහුණු කලාපයකට යන්නට ඔවුන්ගේ දෛවයේ ලියැවී තිබුනේ දැයි අපි නොදනිමු.

එම සිද්ධිය සිදු වුනේ 2004 වසරේ දීයි. ඒ ශ්‍රී ලංකාව අලුත් වෙමින් පැවති වසරකි. ආර්ථික වර්ධන වේගය ඍණ අගයක සිට ධන අගයක් වෙත බැල්ම හෙලන්නට පටන්ගෙන තිබුණි. ශ්‍රී ලංකාව ජංගම දුරකතන සන්නිවේදනයේ නව පිටුවක් පෙරළු වසරකි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වී සනත් ජයසූරිය තරගාවලියේ වීරයා වී ශ්‍රී ලංකාව එහි ශූරයන් වූ වසරකි.

ඒ සියල්ල හොඳින් සිදු වෙමින් තිබිය දීත් තරුණයන් 23දෙනෙකු ක්‍රීඩා උළෙලකට මුවා වී ශ්‍රී ලංකාව හැර පලා යන්නේ මෙරට සමාජ දේශපාලනික පරිසරයේ තිබූ අස්ථාවරත්වය නිසා නොවේ නම් ඒ අන් කවරක් නිසා ද?

ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු 2004 ආසියානු කුසලාන අතැතිව

අප දැන් සිටින්නේ 2022 වර්ෂයේ යි. තත්වය 2004ට වඩා දරුණු ය. ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩාවැටීමට ලක්ව සිටියි. එබැවින් ක්‍රීඩාවට නොවේ නම් මළමිනියකට හෝ මුවා වී රටින් පිටවීම වනාහි මෙරට පුරවැසියන්ගෙන් 90%කටත් වැඩි පිරිසකගේ කැමැත්ත බව නම් කිව හැකිය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී සිදුවන්නට ඇත්තේ ද එයයි. මෙය මිනීමරුවෙකුගේ මිනීමැරීම සාධාරණීකරණය කිරීමක් නොව, ඔහු මිනිමරන්නට හේතුභූත වූ කරුණු පිළිබඳ සානුකම්පිත, සරල අධ්‍යයනයක් පමණක් බව යළිදු සිහි කරමි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ දී ඊට සහභාගී වූ බොහෝ අස්ථාවර රටවල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ගම්මානයෙන් පලා යන පුවත් වාර්තා වී තිබේ. විශේෂයෙන්ම අප්‍රිකානු සහ ආසියානු කලාපයේ රටවල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊට ප්‍රසිද්ධියක් උසුලයි.

2006 මෙල්බෝර්න් හිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ක්‍රීඩකයන් සහ නිලධාරීන් 40 දෙනෙකුට වඩා පලා ගොස් හෝ, වීසා ඉකුත් වීමෙන් පසුව එහි රැඳී හෝ, දේශපාලන රැකවරණ පතා හෝ ප්‍රසිද්ධ විය.

2018 ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී අප්‍රිකානු ක්‍රීඩකයින් 13දෙනෙකු ආගිය අතක් නැති විය. එවර ක්‍රීඩා ගම්මානයෙන් පැන යෑම ගැන වැඩි ප්‍රසිද්ධිය හිමි වූයේ ඔවුන්ට ය.

මෙවර පලා යන්නන් පිළිබඳ වැඩි ප්‍රසිද්ධිය ලැබුණේ ශ්‍රී ලංකාවට වුවත් එය අප රට ආර්ථික අවපාතය නිසා ලද ප්‍රසිද්ධියට වඩා වැඩි ප්‍රසිද්ධියක් දැයි නොදනිමි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව යම් දුරකට ඒ ආර්ථික අපහසුකම් කළමනාකරණය කර ගනිමින් සිටින බව අමතක නොකළ යුතුය. එහෙත් සම්පූර්ණ විසඳුම් ලැබෙන තෙක් ඉවසන්නට තරම් ශ්‍රී ලාංකිකයන්ට හුස්ම ඇත් දැයි අප සානුකම්පිතව ප්‍රශ්න කළ යුතු වේ. එහෙත් මිතුරු මිතුරියනි, ඉවසිය යුතුය.

සාමාන්‍යයෙන් ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගමන් බලපත්‍රය සහ අදාළ ලියකියවිලි ඔවුන්ගේ පුහුණුකරුවන් අත හෝ කළමනාකරුවන් අත පවතිද්දී ඔවුහු පලා යති.

සාමාන්‍ය තත්වයන් යටතේ බ්‍රිතාන්‍යය වැනි රාජ්‍යයන් මෙවැනි ක්‍රීඩා උළෙල වලට සහභාගී වන අයවලුන්ට තරගාවලියෙන් පසුව මාස කිහිපයකට වීසා පහසුකම් සැපයීම සිදු කරයි. ඉන් ප්‍රයෝජන ගැනීමට පීඩිත රාජ්‍යයන් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළඹීම අරුමයක් නොවේ.

කැමරූන් රාජ්‍යයෙහි කෙටිදුර ධාවකයෙකු වූ ලමීන් ටකර් 2006 ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් හිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අතරතුර පලා ගියේය. පසුව ඔහුගේ රටෙහි තත්වය සලකා බලා ඔහුට දේශපාලනික සරණාගතයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ රැඳෙන්නට ඉඩ ලබා දුනි. එහෙත් එය සියලු දෙනාටම හිමිවන වාසනාවක් නොවේ.

වීසා කල් ඉකුත් වීමෙන් පසුව යම් රටක රැඳීම දියුණු රටවල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නම් එක්තරා අතකින් විනෝදයකි. 2000 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවති සිඩ්නි ඔලිම්පික් උළෙලට සහභාගී වූ බ්‍රිතාන්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් විසා කල් ඉකුත් වීමෙන් පසුවත් එහි රැඳුණේ එරට සංචාරය කිරීමේ අරමුණිනි. බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමයේ මාධ්‍ය ප්‍රකාශකගෙන් ඒ පිළිබඳව විමසීමේ දී ඔහු පවසා තිබුණේ,

වැඩිපුර කල් හිටපු අයට දොසක් කියන්නත් බෑ. ඕස්ට්‍රේලියාව හරිම උණුසුම්”, යනුවෙනි.

එහෙත් අර්බුදවලින් මිරිකී සිටින රාජ්‍යයන් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එය එතරම් පහසු නැත.

ඉකුත් අගෝස්තු 05 වැනි සිකුරාදා ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක බල ඇණිය විසින් අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික 47 දෙනෙක් නැවත ශ්‍රී ලංකා වරායට ගොඩ බෑහ. පසුගිය මැයි මාසයේ සිට ශ්‍රී ලාංකිකයන් 183දෙනෙකු නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටිය දී අත්අඩංගුවට පත්ව ඇත.

නීතිය සැමට සමාන විය යුතු බව සැබෑ ය. එහෙත් බුරුතු පිටින් අත්අඩංගුවට ගෙන දඬුවම් කරනවාට වඩා මේ සංක්‍රමණයන් පිටුපස සැඟව තිබෙන දුක්මුසු කතාන්දරය අප විසින් කියවාගත යුතුව තිබේ. එතෙක් හඬන්නට ද නොහැකි ය, සිනාසෙන්නට ද නොහැකි ය. ක්‍රීඩකයන් ද පුරවැසියන් ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<