ඇලිසන් ෆීලික්ස්ගේ සුවිශේෂීත්වයට හේතු 5ක්

441
Sports Rational

ඇමරිකානු ධාවන ශූරී Allyson Felix (ඇලිසන් ෆීලික්ස්) ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත්කළේ පසුගිය අප්‍රේල් මාසයේ දීයි. මේ වසරේ දී ඇය ජාත්‍යන්තර මලල ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඇය එහි දී සඳහන් කළා.

ඇගේ නිජබිමේ දී ම පැවැත්වුණු 2022 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ඇය දශක දෙකක වර්ණවත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා දිවියට සමුදුන්නේ 4x400m ධාවන තරගයේ දී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්.

ඇයගෙන් තොරව ලෝක මලල ක්‍රීඩාවේ ජනප්‍රියත්වය කොයි අතට හැරේවි ද යන්න පවා සිතා ගන්නට නොහැකිව තිබෙන්නේ ඇගේ ජනප්‍රියත්වය රටකට, ජාතියකට සීමා නොවීම නිසයි. 2003 වසරේ දී වයස අවුරුදු 17ක යෞවනියක ලෙස ජාත්‍යන්තරයට පිය නැගූ ඇය එදා පටන් ලබා ගත් ජයග්‍රහණ ගණන සුවිශාලයි.

voanews.com
ඇලිසන් 2012 ඔලිම්පික් උළෙලේදී

මලල ක්‍රීඩකයෙකු වශයෙන් ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් යම් මට්ටමකට ජනප්‍රිය වුයේ ද, මලල ක්‍රීඩිකාවක ලෙස එවන් ජනප්‍රියත්වයක් දිනාගෙන තිබුණේ ඇලිසන් ෆීලික්ස්. පසුගිය දා අවසන් වරට ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ඇය ඒ රාත්‍රිය ගැන අදහස් දැක්වූවා.

ඒක මම අගය කරන රාත්‍රියක්. මට එච්චර හොඳ මතකයන් තිබෙනවා”, ඇය BBCය හමුවේ එසේ පවසා තිබුණා.

100m, 200m, 400m යන සෑම ඉසව්වක දී ම ලෝක මට්ටමේ දස්කම් දක්වා ඇති ඇය ඔලිම්පික් රන් පදක්කම් 7ක හිමිකාරිණියක්. මලල ක්‍රීඩිකාවක වශයෙන් ඔලිම්පික් රන් පදක්කම් 7ක් දිනා ගත් එකම ක්‍රීඩිකාව ඇයයි.

ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලවල දී ඇය විසින් රන් පදක්කම් 13ක් දිනාගෙන ඇත්තේ එම තරගාවලිය තුළ දී උසෙයින් බෝල්ට් හට වඩා එක් රන් පදක්කමක් දිනා ගනිමින්. එබැවින් ඇය ඉතිහාසගත ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකාවක්.

ක්‍රීඩා පිටිය මත දීත්, ඉන් පිටත දීත් ඇය විසින් පෙන්වා ඇති යහපත් ආදර්ශ නිසාම ඇයව සැලකෙන්නේ මලල ක්‍රීඩාවේ පුරාවෘත්තයක් ලෙසින්. ඊට බලපෑ සුවිශේෂී හේතු පහක් වෙතයි මේ අවධානය.

ඉන් පළමු සුවිශේෂී කාරණය වන්නේ ඇගේ ජනප්‍රියත්වයයි. මලල ක්‍රීඩා ප්‍රේක්ෂකයෙකු වේවා/නොවේවා, ඕනෑම ක්‍රීඩා ප්‍රේක්ෂකයෙකු එක් වරක් හෝ ඇගේ නම අසා ඇතුවාට සැකයක් නැහැ. ඇමරිකානු මලල ක්‍රීඩිකාවක ලෙස වැඩිම ලෝක මට්ටමේ රන් පදක්කම් දිනා ඇත්තේ ඇයයි.

දෙවැනි සුවිශේෂී කාරණය, 2018 නොවැම්බර් මාසයේ දී ඇය විසින් අපරිණත දරු උපතක් (pre-mature birth) ලබා දීමයි. ඇගේ දරුවා ගැබ්ගෙන සිටිය දී ඇයට පූර්ව-එක්ලැම්ප්සියා (pre-eclampsia) නම් රෝගී තත්වයක් ඇතිව තිබුණා.

එබැවින් නියමිත කාලයට සති 8කට පෙර සිය දියණිය ප්‍රසූත කිරීමට ඇලිසන් විසින් නිර්භය තීරණයක් ගෙන තිබුණා. එසේ නොවූයේ නම් දෙදෙනාගේම ජිවිත තිබුණේ අවදානමකයි. එහෙත් දියණිය කැම්රින් ප්‍රසූත කිරීමෙන් පසු මාසයක්ම ඇයව දැඩි සත්කාර යටතේ පවත්වා ගනිමින් ඇගේ ජීවිතය බේරාගැනීමට ඇලිසන්ට හැකි වුනා.

එම අත්දැකීම ඇයට නව මාවතක් පෙන්වා දුන්නා. අප්‍රිකානු-ඇමරිකානු කාන්තාවන් බහුලව මුහුණ දෙන රෝගී තත්වයක් වූ පූර්ව-එක්ලැම්ප්සියා රෝගී තත්වය ගැන ඔවුන්ව දැනුවත් කිරීම ඇගේ ජනප්‍රියත්වය සහ සිවිල් බලය තුළින් ඇයට කළ හැකි බව ඇය හඳුනා ගත්තා. ඇමරිකානු කොංග්‍රසයට ගොස් ඇය ඒ බව මෙසේ පැහැදිලි කළා.

මගේ ජීවිතයේ බියජනකම දින දෙක දරා ගැනීමෙන් පස්සේ, මම දැන ගත්තා මගේ කතාව දුලබ එකක් නොවෙන බව. මං වගේම තවත් අය ඉන්න බව. මං වගේම… කළු පාට, සෞඛ්‍ය සම්පන්න, හැමදේම උපරිමයෙන් කරන, ඒත් මට වගේම වෙලා මරණයට මුහුණ දෙන…”

එය අප්‍රිකානු-ඇමරිකානු කාන්තාවන් අතර පූර්ව-එක්ලැම්ප්සියා රෝගී තත්වය ගැන අවධානය වැඩි කිරීමට සමත් වූ අතරම, ජාතික වශයෙන් ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට ඇමරිකානු බලධාරීන්ට පෙළඹුම්කාරක වුනා.

තෙවැනි සුවිශේෂී කාරණය, කාන්තාවන් වෙනුවෙන් ඇය නැගූ හඬයි. ලොව පුරා ජනප්‍රිය ක්‍රීඩිකාවක ලෙස ඇයට යහපත වෙනුවෙන් නැගිය හැකි වූ හඬ පිළිබඳව ඇයට හොඳ අවබෝධයක් තිබුණා. කාන්තා අයිතීන් ගැන ඇය ලොවට පැවසුවා.

ඇගේ දියණියගේ උපතින් පසුව නයිකි සමාගම ඇගේ අනුග්‍රාහක වැටුපෙන් 70%ක් පමණක් ගෙවන බව සඳහන් කොට තිබුණා. ගිවිසුම් ප්‍රකාරව ඇය හට මුළු වැටුපම ගෙවන්නට නියමිතව තිබුණේ දස්කම් මතයි. සාමාන්‍යයෙන් කාන්තාවන් සම්බන්ධව ලොව ප්‍රබල අනුග්‍රාහකයන් කටයුතු කළේ ඒ අයුරින්. හේතුව වුනේ, ගැබිණියක වූ පසු හෝ මවක වීමෙන් පසු යම් කාලයකට හෝ ක්‍රීඩාවේ යෙදීමට ක්‍රීඩිකාවන්ට නොහැකි වීමයි.

එහෙත් ඇලිසන් ඊට එරෙහිව ප්‍රසිද්ධියේම හඬක් නැගුවා. ඉන්පසුව නයිකි සමාගම මාස 18ක් ඇගේ “දස්කම් මත ගෙවූ වැටුප්” කපා නොහැරීමට තීරණය කළා. මේ වන විට සියලු ක්‍රීඩිකාවන් සම්බන්ධව අනුගමනය කෙරෙන්නේ එම පිළිවෙතයි.

සිව්වැනි සුවිශේෂී කාරණය, ඇයගේ පූර්ව-එක්ලැම්ප්සියා රෝගී තත්වය හඳුනා ගැනීමෙන් පසුව නැවත ක්‍රීඩා පිටියට අවතීර්ණ විය හැකි දැයි ඇයට යම් සැකයක් තිබුණා. එහෙත් දරු ප්‍රසූතියෙන් වසරක් යාමටත් මත්තෙන් සහාය දිවීමේ රන් පදක්කම් දෙකක් සිය රට වෙනුවෙන් දිනා දුන් ඇය තම ශක්තිය යළි ප්‍රකට කළා.

පස්වැනි සුවිශේෂී කාරණය වන්නේ ක්‍රීඩිකාවක ලෙස ඇය විසින් ලබා දුන් දිගුකාලීන සේවයයි. 2003 දී ඇය ලෝක මලල ක්‍රීඩාවට පා තබන විට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා සනත් ජයසූරියයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායකයින් වුනේ අජිත් මුතුකුමාරණ සහ කිංග්ස්ලි පීරිස්. මෙරට දල දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 5.94%ක්. ඩොලරයක රුපියල් අගය 100කටත් අඩුයි.

එහෙත් දශක දෙකක්ම මලල ක්‍රීඩාවට සේවය සැපයූ ඇලිසන් ෆීලික්ස් ලෝක මලල ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩිකාවක ලෙසයි ක්‍රීඩා දිවිය අවසන් කළේ. ඇගේ කාලයේ සිටි දක්ෂතම මලල ක්‍රීඩිකාවන් හා කරට කර සිටිමින් ඔවුන්ගෙන් දක්ෂතමයා සහ ජනප්‍රියතම ක්‍රීඩිකාව ලෙස වැජඹීම පහසු කරුණක් නොවේ. දශක දෙකක් ඉහළ දස්කම් අතර රැඳුණු ඇය සුවිශේෂී නොවන්නේ ද?

ඉතින් එබැවින්, මේ වන විට ජාත්‍යන්තර මලල ක්‍රීඩාවට සමුදී සිටින ඇලිසන් ෆීලික්ස් හේතු ගණනාවක් නිසා ලෝක මලල ක්‍රීඩා පුරාවෘත්තයක්. එහෙත් ඉහත කරුණු පහ, ඇගේ “සුවිශේෂීත්වය” යළි යළිත් සනාථ කරන බලකණු පහක්. ඇය විසින් මවන මීළඟ පුවත කුමක්ද? අපි බලා සිටිමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<