උත්සවශ්‍රීයෙන් 2022 පොදුරදමඬුලු සැණකෙළිය නිමා වෙයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

261

පුරා දින 11ක් මුළුල්ලේ එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවති 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (08) උත්කර්ෂවත් ලෙස නිමාව දුටුවා.

Alexander ක්‍රීඩාංගණයේ දී පැවති උත්කර්ෂවත් සමාප්ති උළෙල නැටුම් ගැයුම් සහ ගිනිකෙළි සංදර්ශනවලින් විචිත්‍රවත් වී තිබුණා. මේ සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටි අතර එංගලන්ත රජ පවුල නියෝජනය කරමින් පැමිණ සිටි Edward කුමරු ද ඒ අතර සිටියා.

රටවල් 72ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5000කට අධික පිරිසක් පදක්කම් 877ක් වෙනුවෙන් දින 11ක් පුරා තරගය වැදුණු මෙවර ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ දිනා ගන්නට සමත් වුනේ ඕස්ට්‍රේලියාවයි.

රන් පදක්කම් 67ක්, රිදි පදක්කම් 57ක් සහ ලෝකඩ පදක්කම් 54ක් සමඟින් සමස්ත පදක්කම් 178ක් ජයග්‍රහණය කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී තිබුණා.

ඕස්ට්‍රේලියාව සමඟ කරට කර තරග කළ එංගලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 57ක්, රිදි පදක්කම් 66ක් සහ ලෝකඩ පදක්කම් 53ක් සමඟින් පදක්කම් 176ක් ජයග්‍රහණය කරමින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය දිනා ගත්තා. පදක්කම් 92ක් (රන් 26, රිදි 32, ලෝකඩ 34) දිනූ කැනඩාව තෙවැනි ස්ථානය දිනා ගනිද්දී, අසල්වැසි ඉන්දියාව පදක්කම් 61ක් (රන් 22, රිදි, 16, ලෝකඩ 23) සමඟින් සිව්වැනි ස්ථානය දිනා ගත්තා.

අවසන් වරට 2018 දී ඕස්ට්‍රේලියාවේ සත්කාරත්වය සහිතව අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ද ප්‍රථම සහ දෙවැනි ස්ථාන සඳහා හිමිකම් කියන්නට ඕස්ට්‍රේලියාව (පදක්කම් 196ක්) සහ එංගලන්තය (පදක්කම් 136ක්) සමත් වූ අතර තෙවැනි සහ සිව්වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනේ පිළිවෙළින් ඉන්දියාව (පදක්කම් 66) සහ කැනඩාවයි (පදක්කම් 82).

මෙවර තරගාවලියේ කැපී පෙනෙන මලල ක්‍රීඩකයාට පිදෙන David Dixon සම්මානයෙන් පිදුම් ලබන්නට සිංගප්පූරු ජාතික මේසපන්දු ක්‍රීඩිකා Feng Tianwei සමත් වුනා. ඇය මෙවර ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 3ක් දිනා ගන්නට සමත් වූ අතර ක්‍රීඩා උළෙල ඉතිහාසයේ රන් පදක්කම් 9ක්, රිදි පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් ඇය දිනා ඇති සම්පූර්ණ පදක්කම් ගණන 13ක්.

මීළඟ ක්‍රීඩා උළෙල තවත් වසර 4කට පසුව එනම් 2026 මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩා උළෙලේ 11 වැනි දිනය වූ ඊයේ ද ක්‍රීඩා කිහිපයක අවසන් ඉසව් පැවැත්වුනා.

හොකි

පිරිමි හොකි අවසන් මහා තරගයේ දී ඉන්දියාව පරාජය කරමින් රන් පදක්කමට හිමිකම් කියන්නට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් සමත් වුනා. 7-0ක් ලෙස අවසන් වූ එම තරගයේ දී ඉන්දියාවට රිදි පදක්කම හිමි වූ අතර එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගය 6-3ක් ලෙස ජයග්‍රහණය කළ එංගලන්තය විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

මේසපන්දු

කාන්තා යුගල අවසන් තරගය පැවැත්වුණේ සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව අතරයි. එහි දී 3-0ක් ලෙස රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සිංගප්පූරු ක්‍රීඩිකාවන් වන Tianwei Feng සහ Jian Zeng සමත් වුනා. රිදි පදක්කම Minhyung Jee සහ Jia Lay සතුවෙද්දී, ලෝකඩ පදක්කම දිනා ගන්නට වේල්ස් ජාතික Chariotte Carey සහ Hursey සමත් වුනා.

පිරිමි කේවල ඉසව්වේ අවසන් තරගයෙන් 4-1ක් ලෙස එංගලන්තයේ Liam Pitchford පරාජය කළ ඉන්දීය ක්‍රීඩක Sharath Kamal විසින් රන් පදක්කම දිනා ගත්තා. ඉසව්වේ ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කරන්නට ඉන්දීය ක්‍රීඩකයෙකු වන Sathiyan Gnanasekaran සමත් වුනේ එංගලන්ත ක්‍රීඩකයෙකු වන Paul Drinkhall 4-3ක් පරාජය කරමිනුයි.

කිමිඳුම්

මිශ්‍ර Synchronized මීටර් 3 Spring ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ස්කොට්ලන්තය සමත් වුනේ ලකුණු 306ක් වාර්තා කරමිනුයි. රිදි පදක්කම ලකුණු 304.02ක් ලබා ගත් ඕස්ට්‍රේලියාව සතු වෙද්දී, මැලේසියාව ලෝකඩ පදක්කම සඳහා හිමිකම් කීවේ ලකුණු 299.04ක් වාර්තා කරමිනුයි.

මිශ්‍ර Synchronized මීටර් 10 Platform ඉසව්වේ දී ලකුණු 333.08ක් වාර්තා කළ එංගලන්ත ක්‍රීඩකයින් වන Noah William සහ Andrea Sirieix විසින් රන් පදක්කම ජයග්‍රහණය කරද්දී, එංගලන්ත ක්‍රීඩකයින් වන Kyle Kothari සහ Lois Mae විසින් රිදි පදක්කම දිනා ගත්තා. ඒ ලකුණු 318.54ක් රැස් කරමින්. Cassie Emmanuel සහ Emily Ann විසින් ලකුණු 309.60ක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම ඕස්ට්‍රේලියාවට දිනා දෙන්නට සමත් වුනා.

ස්කොෂ්

පිරිමි යුගල ඉසව්ව සඳහා තරග වැදුණු එංගලන්තයේ Adrian Waller සහ Daryl Selby විසින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනේ 2-1ක් ලෙස එංගලන්තයේ ම Jams Willstrop සහ Decian James පරාජය කරමින් වීම විශේෂත්වයක්. එහි ලෝකඩ පදක්කම දිනා ගත්තේ මැලේසියාව 0-2ක් ලෙස පරාජය කළ ස්කොට්ලන්ත ක්‍රීඩකයින් වන Greg Lobban සහ Rory Stewart විසිනුයි.

කාන්තා යුගල ඉසව්වේ අවසන් තරගය ජයග්‍රහණය කරන්නට සමත් වුනේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් වන Joelie King සහ Landers-Murphy විසිනුයි. එහි දී එංගලන්ත ක්‍රීඩිකාවන් වන Sarah-Jane සහ Alison Waters 2-0ක් ලෙස පරාජය වුනා. ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයේ දී මැලේසියානු කණ්ඩායම් දෙකක්ම තරග කළ අතර එහි දී Rachet Arnold සහ Alfa Azman ලෝකඩ පදක්කම සඳහා හිමිකම් කීවා.

බැඩ්මින්ටන්

මිශ්‍ර යුගල ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සිංගප්පූරුවේ Yon Kai Terry සහ Jessica Wei Han සමත් වුනේ එංගලන්තයේ Ellis Marcus සහ Smith Lauren 2-0ක් ලෙස පරාජය කරමිනුයි.

කාන්තා කේවල ඉසව්වේ රන් පදක්කම සඳහා කැනඩාව සහ ඉන්දියාව තරග කළ අතර එහි දී 2-0ක් ලෙස රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඉන්දියාවේ Venkata Pusarla සමත් වුනා. ඇය හමුවේ පරාජය වුනේ Michelle Li.

පිරිමි කේවල ඉසව්වේ ද ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුනේ ඉන්දියාවයි. රන් පදක්කම වෙනුවෙන් ඉන්දියාව සහ මැලේසියාව තරග වැදුණු අතර එහි දී Tze Yong පරාජය කරන්නට Lakshya Sen සමත් වුනේ 2-1ක් ලෙසයි.

පිරිමි යුගල ඉසව්වේ අවසන් තරගය ද ඊයේ පැවති අතර එහි දී එංගලන්ත ක්‍රීඩකයින් වන Lane Ben සහ Vendy Sean පරාජය කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඉන්දියාවේ Satwik Sairaj සහ Chirag Shetty සමත් වුනා. ඒ 2-0ක් ලෙසයි.

ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය කළ අවසන් රන් පදක්කම ජයග්‍රහණ කරන්නට සමත් වුනේ මැලේසියාවේ Koong Le Pearly සහ Thinaah Muralitharan දෙදෙනායි. කාන්තා යුගල අවසන් මහා තරගයේ දී 2-0ක් ලෙස එංගලන්තයේ Choie Birch සහ Lauren Smith පරාජය කරන්නට ඔවුන් සමත් වුනා.

ඒ සමඟින් ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසන් වන අතර ThePapare.com සමඟ රැඳෙමින් පුරා දින 11ක් පුරා පොදුරාජ්‍ය මණ්ඩලීය උණුසුම බෙදා ගත් ක්‍රීඩාලෝලී ඔබට ස්තුතියි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<