විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම ඉනිම් 10

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

913

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් ම අමතක නොවන අතීත ඉනිම් සොයා දිගු මතක මාවතේ යන ක්‍රීඩාලෝලියෙකුට 2007 වසරේ දී එංගලන්තයේ Stuart Broadට එරෙහිව ඉන්දියාවේ Yuvraj Singhගේ පිට පිට හයේ පහර හයෙන් ගමන ආරම්භ කර පසුගිය වසරේ අවසාන මහා තරගයේ දී නවසිලන්තයට එරෙහිව ඕස්ට්‍රේලියාවේ Mitchell Marshගේ තරග-ජයග්‍රාහී ලකුණු 77ක නොදැවුනු ඉනිම දක්වා යාමට පුළුවන්.

ඉන්දියාව ඔවුන්ගේ පරම ප්‍රතිවාදීන් වන පාකිස්තානය පරාජය කරමින් 2007 වර්ෂයේ දී මංගල විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත්තා. ජගත් ක්‍රිකට් කවුන්සලයේ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කර තිබෙන ලැයිස්තුවේ ඉන්දියාව සිටින්නේ අංක 1ට.

මෙවර තරගාවලියට සත්කාරකත්වය දක්වන ඕස්ට්‍රේලියාව කිරුළ රැක ගන්නා කණ්ඩායම වන අතර එංගලන්තය සහ පාකිස්තානය ද කුසලානය දිනා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙනවා.

  1. Yuvraj Singh (පන්දු 16න් ලකුණු 58ක්, එංගලන්තයට එරෙහිව 2007)

2007 වසරේ පැවති මංගල විස්සයි විස්ස ලෝක කුසලානයේ දී එංගලන්තයට එරෙහිව පන්දු 16කට පමණක් මුහුණ දෙමින් ලකුණු 58ක් ලබා ගෙන මේ ඉන්දියානු පිතිකරුවා ක්‍රීඩා කළේ ඔහුගේ ක්‍රීඩා දිවියේ හොඳම ඉනිමයි.

යුව්රාජ් සිං ඔහුගේ අර්ධ ශතකයට පිවිසියේ පන්දු 12කින් පමණක් වූ අතර එය විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ තවමත් නොමැකී පවතින ලෝක වාර්තාවක්. එහෙත් ඒ ඉනිමේ හොඳම කොටස වූයේ යුව්රාජ්, ස්ටුවර්ට් බ්‍රෝඩ්ට එරෙහිව නොනැවතී හයේ පහර 6ක් ගැසීම.

 එංගලන්තයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Andrew Flintoff සිය පන්දුවාරය අවසානයේ යුව්රාජ්ට සරදම් කළ අතර ඊළඟ පන්දුවාරයේ දී ඉන්දියානු පිතිකරුවා හයේ පහර එල්ල කළේ එයින් හට ගත් කෝපය නිසා.

මෙය විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වූයේ ප්‍රථම වතාවට බැවින් එය ක්‍රීඩාලෝලීන්ට සිතා ගත නොහැකි දෙයක් වුනා. යුව්රාජ්ට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ හයේ පහර හයක් එල්ල කර තිබුණේ දකුණු අප්‍රිකාවේ Herschelle Gibbs පමණයි.

යුව්රාජ් මේ තරගාවලිය පුරා ම ආශ්චර්යවත් ක්‍රීඩකයෙකුව සිටියේ නිරන්තරයෙන් වැදගත් ඉනිම්වල නියැළුණු නිසා. ඔහු අවසන් පූර්ව වටයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව තවත් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළා. ඔහු ඒ ලෝක කුසලාන තරගාවලිය ලකුණු 148ක් වාර්තා කරමින් නිමා කළේ දීප්තිමත් සහ වැදගත් අර්ධ ශතක දෙකක් සමඟයි.

  1. Chris Gayle (පන්දු 57න් ලකුණු 117ක්, දකුණු අප්‍රිකාවට එරෙහිව 2007)

බටහිර ඉන්දීය කොදෙව් පුරාවෘත්තයක් වන මේ පිතිකරුවා 2007 පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ ආරම්භක තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ශතකයක් වාර්තා කළා.

ඔහු මේ තරගාවලියට ප්‍රාණවත් ආරම්භයක් ලබා දුන්නේ ලෝක වාර්තා කිහිපයක් බිහි කරමින් සහ බිඳ දමමින්. මෙය විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු ශතකය ද වුනා.

 ක්‍රිස් ගේල් පන්දු 57කින් රැස් කළ ලකුණු 117 හි ප්‍රහාරක අනුපාතිකය 205.26ක් වූයේ ඔහුගේ ඉනිමේ ලකුණු 88ක් වාර්තා වුනේ හතරේ සහ හයේ පහරවලින් පමණක් වූ නිසාවෙන්.

පළමුව පන්දුවට පහර දෙමින් කොදෙව්වන් පන්දුවාර 20 දී ලකුණු 205ක් රැස් කළත්, දකුණු අප්‍රිකාව සියලු දෙනා මවිතයට පත් කළේ ඒ දැවැන්ත ඉලක්කය කඩුලු 8ක් සහ පන්දු 14ක් ඉතිරිව තිබිය දී නිරායාසයෙන් හඹා යමින්.

ආරම්භක පිතිකරු Herschelle Gibbs නොදැවී ලකුණු 90ක් ලබා ගත් අතර Justin Kemp පන්දු 22කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත්, ගේල්ට ‘තරගයේ වීරයා’ සම්මානය පිරිනැමුණා.

  1. Michael Hussey (පන්දු 24න් නොදැවී ලකුණු 60ක්, පාකිස්තානය ට එරෙහිව 2010)

මේ ඕස්ට්‍රේලියානු පිතිකරුවා Kings XI Punjabට එරෙහිව 2008 දී නොදැවී ලබා ගත් ලකුණු 116 ද සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ආකාරයේ ම අමතක නොවන ඉනිම් ගණනාවක් ක්‍රීඩා කර තිබෙනවා. එහෙත් Gros Islet හි පැවති විස්සයි විස්ස ලෝක කුසලාන 2010 තරගාවලියේ දී පාකිස්තානයට එරෙහිව ඔහු ක්‍රීඩා කළ පන්දු 24කින් ලකුණු 60ක නොදැවුනු ඉනිම සැමදා මතකයේ රැඳී තිබෙනවා.

 කලින් පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි දෙකේ දී අවසාන තරගයට පිවිසි සහ 2009 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජය ගෙන සිටි පාකිස්තානය අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 191ක් පුවරුවේ සටහන් කර තිබුණා.

පන්දුවාර තුනකටත් අඩුවෙන් ඉතිරිව තිබිය දී ඕස්ට්‍රේලියාව ලකුණු 144කට කඩුලු 7ක් අහිමි වී අසරණව සිටි අතර Hussey අංක 7 පිතිකරුවා ලෙස ක්‍රීඩා කරමින් එම තරගාවලියේ වැදගත් ම ඉනිම ක්‍රීඩා කළා.

ඔහු Saeed Ajmalට එරෙහිව 20 වැනි පන්දුවාරයේ ගැසූ හයේ පහර තුනත් සමඟ හයේ පහර හයක් එල්ල කරමින් තම කණ්ඩායම තවත් පන්දුවක් ඉතිරිව තිබිය දී අවසාන තරගයට ගෙන ගියා.

Mr. Cricket ලෙසින් හඳුන්වනු ලබන මේ ක්‍රීඩකයා විවිධ ස්ථානවල එකිනෙකට වෙනස් කාර්යයන් ඉටු කරමින් නැවත නැවතත් සිය තුන් ඉරියව් දක්ෂතා තහවුරු කළා. ඔහු ප්‍රථම වතාවට ක්‍රිකට් පිටියට පිවිසෙන විට වයස අවුරුදු 28ක්ව තිබුනත්, ජාත්‍යන්තර ලකුණු 12000ක් රැස් කිරීමට සමත් වුනා.

  1. Joe Root (පන්දු 44කින් ලකුණු 83ක්, දකුණු අප්‍රිකාවට එරෙහිව 2016)

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නොවෙනස්ව විශාල ලකුණු රැස් කරන ක්‍රීඩකයෙකු ලෙසින් නම් දරා සිටින ජෝ රූට් ඔහුගේ ක්‍රීඩා දිවියේ වඩාත් ම අමතක නොවන ඉනිම්වලින් එකක් ක්‍රීඩා කළේ 2016 වසරේ ඉන්දියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී.

මුම්බායි නුවර Wankhede Stadium හි පැවති දකුණු අප්‍රිකාවට එරෙහි මූලික වටයේ තරගයේ දී ඔහු ලකුණු 83ක් ලබා ගත්‌තේ පන්දු 44කට පමණක් මුහුණ දෙමින්.

Quinton de Kock, Hashim Amla සහ JP Duminy අර්ධ ශතක ලබා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුලු 4කට ලකුණු 229ක දැවැන්ත මුළු ලකුණ සංඛ්‍යාවක් කරා ගෙන ගියා. එංගලන්තය මේ විශාල හඹා යාම ආරම්භ කළේ පළමු පන්දුවාර දෙකේ දී  ලකුණු 44ක් රැස් කරමින්. ඔවුන්ට දිගට ම කඩුලු අහිමිව ගියත් රූට්ගේ ලකුණු 83 ඉනිම එංගලන්තයට පන්දු දෙකක් ඉතිරිව තිබිය දී කඩුලු 2ක ජයග්‍රහණයක් හිමි කර දුන්නා.

ජගත් ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පළමුවෙන් ශ්‍රේණිගතව සිටින රූට් ශතක 28ක සහායෙන් මෑතක දී ලකුණු 10,000ට පිවිසියා.

සුදු පන්දුවේ ක්‍රිකට්වල ඔහුගේ ලකුණු චමත්කාරජනක වන්නේ ජාත්‍යන්තර එක්දින තරගවල 51.3ක සාමාන්‍යයකින් යුතුව රැස්කර ගෙන තිබෙන ලකුණු 6109 සහ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල 35.7ක සාමාන්‍යයකින් ලබා ගෙන ඇති ලකුණු 893 නිසා.

එහෙත් මෑතක දී ඔහු රතු පන්දුවේ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කර ඇති බැවින් ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටි ම ආකෘතියේ ඔහු දක්නට ලැබෙන්නේ කලාතුරකින්.

  1. Yuvraj Singh (පන්දු 30කින් ලකුණු 70ක්, ඕස්ට්‍රේලියාවට එරෙහිව 2007)

හොඳම ඉනිම් ලැයිස්තුවේ ස්ථානයක් හිමි වීමට සුදුසු තවත් ඉනිමක් යුව්රාජ්ට තිබෙනවා. එංගලන්තයට එරෙහිව පන්දුවාරයක දී හයේ පහර හයක් එල්ල කිරීමෙන් පසුව, මේ ඉන්දියානුවා අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 30කින් පමණක් ලකුණු 70ක් රැස් කරමින් 2007 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයේ දී තවත් තරග ජයග්‍රහණය කරවන ඉනිමක් ක්‍රීඩා කළා.

 ඉන්දියාව තරගයේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ද පන්දුවාර අටක් අවසානයේ ලකුණු 41කට කඩුලු 2ක් අහිමි කරගෙන වැටී සිටියේ අසීරු අඩියක. පෙර තරගවල දී හයේ පහර වරුසාවක් පතිත කර සිටි යුව්රාජ්, ලකුණු 70ක් ලබා ගනිමින් ඉන්දියා කණ්ඩායම ලකුණු 188ක් කරා ගෙන ගියා, ඒ්, ඉන්දියානු පන්දු යවන්නන් එම විශාල මුළු ලකුණු ප්‍රමාණය රැක ගැනීමට පෙර.

ඒ වකවානුවේ රතු පන්දුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ම භයානක කණ්ඩායම වී සිටි ඕස්ට්‍රේලියාව, මංගල විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරනු ඇතැයි අනුමාන කෙරුණු ප්‍රියතම කණ්ඩායම වී සිටියා. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ඕස්ට්‍රේලියානු ආධිපත්‍ය බිඳ දැමීමක් ලෙසින් යුව්රාජ්ගේ ඉනිම සදා මතකයේ රැඳෙනු ඇත.

  1. Herschelle Gibbs (පන්දු 55කින් නොදැවී ලකුණු 90ක්, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 2007)

මේ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවා සිය ක්‍රීඩා දිවියේ දී විශිෂ්ට ඉනිම දෙකක් ක්‍රීඩා කළ අතර ඒ දෙක ම වාර්තා වූයේ 2007 වසරේ දී. ඔහු ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් ක්‍රීඩාවේ (ODI) එක් පන්දුවාරයක දී හයේ පහර හයක් එල්ල කළ පළමු පිතිකරුවා බවට පත්වූ අතර එය සිදු වූයේ 2007 ODI World Cup තරගාවලියේ නෙදර්ලන්තය සමග තරගයේ දී.

එහෙත් ඔහු ඊටත් වඩා බලපෑමක් ඇති කරන ඉනිමක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2007 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේ දී නොදැවී ලකුණු 90ක් වාර්තා කරමින්.

 පළමුව ලකුණු රැස් කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම Wanderers ක්‍රීඩාංගණයේ Chris Gayleගේ ශතක ‘කුණාටුවෙන්’ පසුව ලකුණු 205ක ලොකු මුළු ලකුණු සංඛ්‍යාවක් සටහන් කළා.

මංගල විස්සයි විස්ස World Cup ලස්සන විලාසයකින් ආරම්භ කිරීම පිණිස ගේල් වාර්තා කළේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ප්‍රථම ශතකය. නමුත් මෑතක දී ජාත්‍යන්තර එක් දින ලෝක කුසලාන තරගාවලියේ හයේ පහර හයක් එල්ල කර සිටි ගිබ්ස්, 163.63ක ප්‍රහාරක අනුපාතිකයකින් පන්දු 55ක් ඇතුළත නොදැවී ලකුණු 90ක් රැස් කරමින් දකුණු අප්‍රිකානුවන් අමතක නොවන ජයග්‍රහණයක් කරා මෙහෙයවූවා.

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු 14ක් ඉතිරිව තිබිය දී කඩුලු අටක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ගිබ්ස්ගේ මේ ඉනිම ප්‍රමාණවත් වුනා. මංගල විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමතක නොවන ඉනිම කිහිපයක් ම තිබුනත් ගිබ්ස්ගේ මේ ඉනිම සදා කල් මතකයේ රැඳී තිබෙන්නක්.

  1. Tillakaratne Dilshan (පන්දු 57කින් නොදැවී ලකුණු 96ක්, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 2009)

තිලකරත්න ඩිල්ෂාන් සෑම ආකෘතියක ම ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට ඉනිම ගණනාවක් ම ක්‍රීඩා කර තිබුනත් ඒ සෑම ඉනිමක් ම අභිබවා යාමට ඔහු 2009 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වාර්තා කළ ලකුණු 96 ඉනිම සමත්.

ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවැනි ශතකය අභියසට ම පැමිණියත් ලකුණු 4ක් අඩුවෙන් දැවී ගියා.

කොදෙව්වන්ට එරෙහි අවසන් පූර්ව තරගයේ දී පළමුව පන්දුවට පහර දෙමින්  ශ්‍රී ලංකා පිතිකරුවන් ලොකු ලකුණු ලබා ගත නොහැකිව අසරණ වූව ද, තම කණ්ඩායම 158ක මුළු ලකුණු සංඛ්‍යාවක් කරා මෙහෙයවීමට ඩිල්ෂාන් තනිව ම සමත් වුනා.

 මෙය කිසිසේත් ම කොදෙව්වන්ට අභියෝගාත්මක ඉලක්කයක් නොවූව ද, ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ පළමු පන්දුවාරයේ දී කඩුලු තුනක් ලබා ගෙන ශ්‍රී ලංකාව 2009 තරගාවලියේ අවසාන මහා තරගය කරා රැගෙන ගියා.

ඩිල්ෂාන් 19 වැනි පන්දුවාරය අවසන් වන විට ලකුණු 91 කරා පිවිසිය ද අවසාන පන්දුවාරයේ දී ලකුණු 5ක් පමණක් ලබා ගනිමින් ශතකය අහිමි කර ගත්තා. ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 80ක දී 28.2ක සාමාන්‍යයක් සහ 120.5ක ප්‍රහාරක අනුපාතිකයක් සමග ලකුණු 1889ක් රැස්කර ගත් ඩිල්ෂාන් 2009 ශ්‍රී ලංකා ලෝක කුසලාන මෙහෙයුමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා.

  1. Virat Kohli (පන්දු 44කින් නොදැවී ලකුණු 72ක්, දකුණු අප්‍රිකාවට එරෙහිව 2014)

විරාත් කෝලි සෑම වර්ගයක ම ක්‍රිකට් ක්‍රීඩාවේ සහ ඔහුගේ කීර්තිමත් ක්‍රීඩා දිවියේ සෑම අවස්ථාවක දී ම අමතක නොව ඉනිම බොහොමයක් ක්‍රීඩා කර තිබෙනවා. ඔහු නිශ්චිතවම එවැනි තවත් බොහෝ ඉනිම ක්‍රීඩා කරනු ඇති වූව ද 2014 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහුගේ තරග ජයග්‍රාහී පිතිහරඹය විස්සයි විස්ස ලෝක කුසලානයේ ඔහුගේ හොඳම ඉනිම බවට සැකයකින් තොරව කියන්න පුළුවන්.

බංග්ලාදේශයේ පැවති 2014 විස්සයි විස්ස World Cup තරගාවලියේ අවසාන තරගයට පිවිසීම සඳහා ඉන්දියාව ට උපකාරී වීම පිණිස ඔහු පන්දු 44කින් නොදැවී ලකුණු 72ක් රැස් කළා.

 පළමුව පන්දුවට පහර දෙමින් දකුණු අප්‍රිකාව ලකුණු 172ක් වාර්තා කළේ නායක Faf du Plessisගේ අර්ධ ශතකය සහ JP Duminyගේ ලකුණු 45ක ඉනිමට ස්තුතිවන්ත වන්නට. එහෙත් ඉන්දියා පිතිකරුවන් විශිෂ්ට කාර්යයක නිරත වෙමින් කඩුලු හයක් සහ පන්දු පහක් ඉතිරි කරගෙන එම මුළු ලකුණු ප්‍රමාණය හඹා ගියා. කෝලි ඔහුගේ ඉනිම ගොඩනැගුවේ පළමු පන්දු 17 දී ලකුණක් සහ ලකුණු දෙකක් වශයෙන් රැස් කරමින්.

ලකුණු ලබා නොගත් පන්දු තුනක් පමණක් සටහන් කරමින් කෝලි ඔහුගේ ලකුණුවලින් අඩකට වඩා ලබා ගත්තේ කිසිම හතරේ පහරකින් තොරව. කෝලි පසුව පෙන්වා දුන්නේ ලකුණු 50ක පමණ සාමාන්‍යයක් පවත්වා ගෙන යාම පිණිස ඔහුට උපකාරයක් වූ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ තනි ලකුණුවල වැදගත්කම.

කෝලි මේ ඉනිම ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස ප්‍රියතම ඉනිම බවට ප්‍රකාශ කළේ එය ඉන්දියාවට 2014 World Cup තරගාවලියේ අවසාන මහා තරගයට පිවිසීම සඳහා මග පෑදූ නිසා.

  1. Brendon McCullum (පන්දු 58කින් ලකුණු 123ක්, බංග්ලාදේශයට එරෙහිව 2012)

නවසිලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වන බ්‍රෙන්ඩන් මැක්ලම් පිළිබඳව මතකයේ රැඳෙනු ඇත්තේ 2008 වසරේ පැවති මංගල Indian Premier League තරගයේ දී ලකුණු 158ක ඔහුගේ ප්‍රවේගාත්මක පිතිහරඹය නිසාවෙන්.

 එහෙත් මේ ආරම්භක පිතිකරුවා වඩාත් වැදගත් ඉනිමක් නවසිලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළේ ඊට සිව් වසරකට පසුව. ඔහු 2012 වසරේ පල්ලෙකැලේ දී පැවති විස්සයි විස්ස World Cup තරගාවලියේ බංග්ලාදේශය සමඟ පැවති තරගයේ දී ලකුණු 123ක් ලබා ගත්තේ පන්දු 58කට පමණක් මුහුණ දෙමින්.

ඔහු Richard Leviගේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් වැඩි ම ලකුණු වාර්තාව බිඳ දැමුවා. මීට අමතරව මැක්ලම් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ ශතක දෙකක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ද වෙනවා. නවසිලන්තය පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 191ක් ලකුණු පුවරුවේ සටහන් කරමින් එදා තරගාවලියේ ඔවුන්ගේ ආරම්භක තරගය ලකුණු 59කින් ජය ගත්තේ Tim Southee සහ Kyle Mills කඩුලු තුන බැගින් ලබා ගැනීමෙන් පසුව.

මැක්ලම්ගේ මේ පිතිහරඹය විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩි ම ඉනිම ලෙස අදටත් පවතිනවා. මැක්ලම් ඔහුගේ ආක්‍රමණශීලී ක්‍රීඩා දිවියේ දී ජාත්‍යන්තර ලකුණු 14,000කට වැඩියෙන් වාර්තා කර තිබෙනවා.

  1. Mitchell Marsh (පන්දු 50කින් නොදැවී ලකුණු 77ක්, නවසිලන්තයට එරෙහිව 2021)

තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක මිචල් මාෂ් තරග ජයග්‍රාහී ඉනිමක් විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසානයේ පැවැති තරගයේ දී ක්‍රීඩා කළා. ඕස්ට්‍රේලියාවට ඔවුන්ගේ මංගල විස්සයි විස්ස World Cup ලබා දීම පිණිස ඔහු 2021 තරගාවලියේ අවසාන මහා තරගයේ දී නවසිලන්තය ට එරෙහිව පන්දු 50කින් නොදැවී ලකුණු 77ක් රැස් කළා.

 Kane Williamson නවසිලන්ත ලකුණු පුවරුව ට ලකුණු 172ක් දැමීම පිණිස පන්දු 48කින් ලකුණු 85ක අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළා. නමුත් ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ අසල්වැසියන් පහසුවෙන් ම අභිබවා ගියේ පන්දු හතක් ඉතිරිව තිබිය දී කඩුලු 8ක ජයග්‍රහණයකින්.

මාෂ් අංක 3 ස්ථානයේ පිතිකරණයේ යෙදෙමින් විශ්වසනීය ක්‍රිකට් ක්‍රීඩාවක් ආරම්භයේ සිට ම ක්‍රීඩා කරමින් කැන්ගරුවන්ගේ ‌ඉතිහාසගත ලකුණු හඹා යාමේ දී නොදැවී සිටියා.

මෙය මේ තරගාවලියේ ඔහුගේ දෙවැනි අර්ධ ශතකය වූ අතර මෙහි දී මාෂ් රැස්  කළේ ඔහුගේ කණ්ඩායම වෙනුවෙන් දෙවැනියට වැඩි ලකුණු ප්‍රමාණය. 185ක් වූ එය ඉනිම පහකින් වාර්තා වූයේ 61.66ක සාමාන්‍යයකින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<