ශ්‍රී ලංකා යොවුන් පැරා ශූරයින් ඇගයේ

230

බහරේන් හීදී පැවති ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීමේ උත්සවයක් අද (15) පැවැත්වුණා.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කෘතිම හොකී ක්‍රීඩාංගණ සංකීර්ණයේ දී පැවති මෙම අවස්ථාව සඳහා ආසියානු යොවුන් පැරා උළෙල සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ජිම්නාස්ටික් ක්‍රීඩිකා Anna Marie Ondaatje, ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයින් සහ එම කණ්ඩායමේ කළමනාකරු ජූලියන් බෝලිං මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහි දී ගරු නාමල් රාජපක්ෂ මහතා සහ A Quint Ondaatje පදනමේ නිර්මාතෘ Anna Marie Ondaatje විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ ත්‍යාග ලබා දීමට කටයුතු කළ අතර පසුව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ක්‍රීඩා අමාත්‍යවරයාගේ සුබ පැතුම් එක් කළා.

එම අවස්ථාවෙන් පසු ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ද එම දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට විශේෂ ත්‍යාග කිහිපයක් ලබා දීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති රාම් ක්‍රිශ් සහ මාධ්‍යවේදී චතුක දිවාශන සහභාගී වී සිටියා.

පසුගිය දා පැවති ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය පුරාවට පදක්කම් 12ක් දිනා ගැනීමට සමත් වුනා.

එහි දී වඩාත් අවධානයට ලක්වූ ක්‍රීඩිකාව වූ පිහිනුම් ක්‍රීඩිකා ගලීනා බස්නායක රන් පදක්කම් තුනක් සහ එක් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වෙද්දී, මොහොමඩ් සෆ්රාන් එක් රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගත්තා.

ඔවුන්ට අමතරව මලල ක්‍රීඩක ජේසන් ජයවර්ධන රිදී පදක්කම් දෙකක්, පිහිනුම් ක්‍රීඩක නවීඩ් රහීම් එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර මලල ක්‍රීඩිකා ජනනි වික්‍රමසිංහ විසින් ලෝකඩ පදක්කමක් ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වුනා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<