ෆාසිල් මරීජාට නව තනතුරක්

750

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අත්දැකීම් බහුල ක්‍රීඩක සහ පුහුණුකරුවෙකු වන ෆාසිල් මරීජා පත් කර තිබෙනවා.

වසර 3ක කාලයකට ඔහුව එම තනතුරට පත් කර ඇති අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ, මහනුවර කණ්ඩායමේ සහ කිංග්ස්වුඩ් රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ෆාසිල් වර්තමානයේ ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.

රග්බි ක්‍රීඩාවේ හසල අත්දැකීම් ඇති පුහුණුකරුවෙකු වන ෆාසිල් 2017/18 තරග වාරයේ දී ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කිරීමෙන් අනතුරුව මහනුවර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් ලීග් කිරුළු දෙකකට කණ්ඩායම මෙහෙයවූවා.

සිය පුහුණුකාර දිවියේ නව අභියෝගය පිළිබඳව ThePapare.com වෙත අදහස් දැක්වූ ෆාසිල් ප්‍රකාශ කළේ,

“එය තරමක් කන්දක් නැගීමක් වගේ දෙයක් වුනත් මට විශ්වාසයි ත්‍රිත්ව විද්‍යාලය ඒක හොඳින් කරයි කියලා. ඔවුන්ට විශිෂ්ට රග්බි සම්ප්‍රදායක් සහ දීප්තිමත් රග්බි සංස්කෘතියක් තියෙනවා. ඔවුන් රග්බි සැකසුම හොඳින් සකස් කරලා තියෙන්නේ. ඒ නිසයි මම මේ අභියෝගය භාරගත්තේ.

මහනුවර ක්‍රීඩා සමාජයේ හොඳින් වැඩ කරපු රග්බි දර්ශනය මම වෙනස් කරන්නේ නැහැ. අපට හොඳ වේගවත් රග්බි ක්‍රීඩාවක් කිරීමට අවශ්‍ය වන අතර වැදගත්ම දේ ක්‍රීඩකයින්ට රග්බි ක්‍රීඩාව කිරීමට ප්‍රියයක් ඇති කිරීමයි.”

ත්‍රිත්ව විද්‍යාලය මෙරට රග්බි ක්‍රීඩා කරන පාසල් අතරින් ප්‍රබල පාසලක් වූව ද, වර්තමානයේ දී දස්කම් දැක්වීමට ඔවුන්ට හැකි වුනේ නැහැ. ඔවුන්ගේ ප්‍රබලතම තරගාවලියක් වන බ්‍රැඩ්බි පලිහ 2014 වසරේ සිට ඔවුන්ට මඟ හැරී ඇති අතර ඔවුන් අවසන් වරට ලීග් ශූරතාවයක් දිනා ගෙන ඇත්තේ 1987 වසරේයි.

“පුහුණුකරු ලෙස මගේ පළවෙනි ඉලක්කය මේ කණ්ඩායම තරගයක් හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය මට්ටමට ගෙන ඒමයි,” තමන්ගේ පළමු ඉලක්කය ගැන ෆාසිල් ප්‍රකාශ කළේ එලෙසයි.

ෆාසිල්ට අමතරව හිටපු ජාතික, ඉසිපතන සහ මහනුවර ක්‍රීඩක සහ වර්තමානයේ මහනුවර කණ්ඩායමේ ඉදිරි පෙළ පුහුණුකරු බුද්ධික තලගම්පොළ ත්‍රිත්ව විද්‍යාලයේ ඉදිරි පෙළ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ත්‍රිත්ව විද්‍යාලය අවසන් වරට බ්‍රැඩ්බි ජය ගන්නා විට නායකයා වූ තරින්ඳ රත්වත්ත කණ්ඩායමේ පහර දීමේ (kicking) පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ඔවුන්ට අමතරව හිටපු ත්‍රිත්ව ක්‍රීඩකයෙකු වන තාරක අල්ගම ද ත්‍රිත්ව විද්‍යාලයේ පුහූණුකාර මණ්ඩලයට එක් වෙන්නේ කණ්ඩායමේ strength සහ conditioning භාරකරු ලෙසයි.

තම පුහුණුකාර මණ්ඩලය පිළිබඳව අදහස් දක්වමින් ෆාසිල් ප්‍රකාශ කළේ,

“මම හිතනවා අපිට හොඳ පුහුණුකරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. මම මීට කලින් තලගම්පොළ සහ තාරක සමඟ වැඩ කරලා තියෙන නිසා අපි අතරේ අවබෝධයක් තියෙනවා. ඒ වගේම තරින්ද රත්වත්ත අප සමඟ එකතු වීමෙන් ඔහුගෙන් පහර දීම පිළිබඳව උපදෙස් දීමට වඩා ක්‍රියාශීලී ක්‍රීඩකයෙකු ලෙස එය සිදු කිරීම පිළිබඳව වටිනා අවබෝධයක් ලබා ගැනීමට ඔහුගෙන් හැකි වෙනවා.”  

මෙම නව පුහුණුකාර මණ්ඩලය පත් කිරීම මගින් ත්‍රිත්ව විද්‍යාලය රග්බි ක්‍රීඩාවෙන් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට වෙහෙස වන බවක් දක්නට ලැබෙනවා. ෆාසිල් ඇතුළු කණ්ඩායම මහනුවර කණ්ඩායමේ ජයග්‍රහණ සඳහා හොඳින් කැප වී ඇති නිසා ඔවුන් ත්‍රිත්ව රග්බි ක්‍රීඩාවට ඉහළට ඔසවා තැබීමට කටයුතු කරනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<