“මට පෙරීට කතා කරන්න පුළුවන් ද?” – සනාගේ සිහිනය සැබෑ වූ හැටි

5378
Ellyse Perry
Courtesy - Latestly

පසුගිය දා ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් වීඩියෝවක් සමාජ මාධ්‍යවලට මුදා හැරුණා.

එය පාකිස්තාන-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය අතරතුර සිදු වූ සිද්ධියක්. තරගාවලියේ අවසන් තරගයට පසු පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා ෆාතිමා සනා ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Jessica Jonassen (ජෙසිකා ජොනැසන්) ගෙන් විමසුවේ මෙවැන්නක්.

“මට පෙරීට කතා කරන්න පුළුවන් ද?”, ඇය විමසුවා.

ජොනැසන් ඇයට පැවසුවේ පෙරී සමඟින් කතා කළ හැකි බවයි.

ෆාතිමා සනා
ෆාතිමා සනා (Courtesy – Sports Craazy)

ෆාතිමා සනාගේ ප්‍රියතම ක්‍රීඩිකාව වුනේ ප්‍රබල ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Ellyse Perry (එලිස් පෙරී). ප්‍රතිවාදීන් ලෙස ක්‍රීඩා කළත්, පිටියෙන් පිටත දී ඇය ඇගේ වීරවරියට ගරු කළා. එලිස් පෙරී ද තුන් ඉරියව් ක්‍රීඩිකාවක්. වයස අවුරුදු 16 දී ඕස්ට්‍රේලියා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත්, කාන්තා පාපන්දු කණ්ඩායමටත් තේරී පත්වූ පෙරී විශේෂ දක්ෂතා වලින් සපිරි ක්‍රීඩිකාවක් ලෙස සැලකිය හැකියි.

ඊට හේතුව ICC (International Cricket Council) සහ FIFA (Fédération Internationale De Football Association) යන සංගම් දෙකෙන් පවත්වන ලෝක කුසලාන තරගාවලි දෙකටම සහභාගී වූ පළමු ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව පෙරී වීමයි. එබැවින් ඇය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂ වීරවරියක්.

“ඔයා පෙරීට ගරු කරනවද?”, ජොනැසන් සනාගෙන් විමසුවා.

“ඔව්, එයා මුලින්ම ලෝක කුසලානයක් දිනනකොට මට වයස අවුරුදු 11යි”, සනා පිළිතුරු දුන්නේ ඒ අයුරින්.

2010 සිට 2014 දක්වා එලිස් පෙරී ඇතුළු ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් ලෝක කුසලාන 4ක් දිනාගෙන තිබෙනවා. ඊට සීමිත පන්දුවාර ලෝක කුසලාන දෙකක් සහ විස්සයි විස්ස ලෝක කුසලාන දෙකක් ඇතුළත් වුනා. 2010 දී ෆාතිමා සනා කුඩා දැරියක්. එහෙත් මේ වන විට ඇය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිකාවක්.

ළමා කල තම වීරවරිය වූ එලිස් පෙරී සමඟින් ඡායාරූපයක් ගෙන එය Twitter මත පළකරමින් සනා, Bo Jackson (බෝ ජැක්සන්)ගේ ප්‍රකාශයක් එහි ලියා තිබුණා.

“ඔබේ ඉලක්ක ඉහළින් තබාගන්න. එතැනට යන තෙක් නොනවතින්න”,

එයට ද විශේෂ හේතුවක් තිබුණා. බෝ ජැක්සන් යනු බේස්බෝල් සහ ඇමරිකන් ෆුට්බෝල් ක්‍රීඩා දෙකෙන්ම “හොඳම කණ්ඩායම” නැතහොත් All Star කණ්ඩායම් නියෝජනය කර ඇති, ඉතිහාසයේ එකම ක්‍රීඩකයායි.

එලිස් පෙරී විසින් ෆාතිමා සනාගේ ක්‍රීඩා ජීවිතයට සහ සමස්ත ජීවිතයට කළ බලපෑම එවැන්නක්‌. සාමාන්‍ය ක්‍රීඩිකාවක නොවී ලෝක මට්ටමේ ක්‍රීඩිකාවක වූ විට ඔබට ලොවට කළ හැකි බලපෑම එවැන්නක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<