පිහි ඇනුමින් දිවි බේරා ගත් ටෙනිස් ශූරිය – පෙට්‍රා ක්විටෝවා

445

තම කුඩා පා පැදියෙන් ටෙනිස් පුහුණුවීම් වලට යන ඒ කුඩා දැරිය, චෙක් ජනරජයේ ෆුල්නෙක් නගරයේ ජනයාට හුරුපුරුදු දසුනකි. ටෙනිස් පිති බෑගය දෙවුර මත එල්ලාගෙන ඇය පුහුණුවීම් සඳහා ප්‍රොස්ටෙජොව් වෙත පා පැදිය පදවාගෙන යන අයුරු සෙනෙහස උපදවන සුළු ය, හැඩකාර ය.

පෙට්‍රා ක්විටෝවා නම් වූ ඇය වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවක වූ පසු ජීවත් වූයේ ප්‍රොස්ටෙජොව් නගරයේයි. බැලූ බැල්මට එහි කිසිදු අනතුරක් හෝ අනාරක්ෂිත ස්වභාවයක් තිබුණේ නැත. හොඳින් හිරු පායයි. හිම කිරම, එසේත් නැතිනම් අයිස් ක්‍රීම් හල් අසල දිගු පෝලිම් ය. බීර පානය කරන්නන් බීම හල් තුළ ය. මහා මාර්ග මත සාමාන්‍ය වේගයෙන් ගමන් ගන්නා වාහන ය. නගරයේ කිසිවෙකුට කලබලයක් තිබුණේ නැත.

එය නිස්කලංක නගරයකි.

2011 සහ 2014 යන දෙවසරෙ හිදී විම්බල්ඩන් ටෙනිස් කාන්තා ඒකල ශූරතාවය දිනා ගත් පෙට්‍රාව හඳුනන්නන් චෙක් ජනරජය තුළ පමණක් නොව මුළු මහත් ලෝක ටෙනිස් ප්‍රජාව තුළම විය. 2016 වර්ෂය වන විටත් සියල්ල හොඳින් සිදුවෙමින් තිබුණි. එහෙත් අපරාධ සම්බන්ධව කලාපයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව එතරම් ප්‍රසිද්ධියක් නොඋසුලන රටක් වුවද චෙක් ජනරජයේ පුරවැසියන් ද වැරදි මොහොතේ වැරදි ස්ථානය තෝරාගන්නා අවස්ථා නැතුවාම නොවේ. 2016 දෙසැම්බර් 20 වැනි දින පෙට්‍රා හට ද නොසිතූ මොහොතක නොසිතූ තැනක දී මුහුණ පාන්නට සිදු වූයේ භයානක අනතුරකටයි.

පෙට්‍රා ජීවත් වූයේ තට්ටු නිවාසයකයි. එය විශේෂ ආරක්ෂාවක් සහිත එකක් නොවුනත්, නගරයේ සන්සුන් ස්වභාවය නිසා ඇයට එවැනි විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වූයේ ද නැත. ඒ වන විට ලෝක තලයේ ටෙනිස් ක්‍රීඩිකාවක වූ පෙට්‍රාට එදින යම් උළෙලකට සහභාගී වීමට සිදුව තිබුණි. එහෙත් කුඩා කල සිටම තමන්ට මූල්‍ය පහසුකම් සපයමින් තමන් හා සිටි කළමනාකරු මිරස්ලාව් සෙරනෝසෙක් සමඟ එහි නොයා, තනිව එහි යෑමට ඇය තීරණය කළා ය.

පෙට්‍රා ජීවත් වූ තට්ටු නිවාස සංකීර්ණය.

පෙට්‍රා ගමනට සූදානම් වෙමින් සිටින අතරතුර ඇගේ නවාතැනෙහි සීනුව නාද විය. දොර ඉදිරියෙහි පෙනී සිටි පුද්ගලයෙක් පවසා තිබුණේ තමන් බොයිලේරුව පරික්ෂා කිරීමට පැමිණි බවයි. පෙට්‍රා හට උණු වතුර කරාමය අරින ලෙස ඔහු කියා සිටියේය. ඇය කරාමය අරින්නට අනෙක් පස හැරෙන විටම ඇයට වැටහුණේ ඇගේ බෙල්ලට පිහියක් ළංවූ බවයි. සිතන්නට වේලාවක් නොතිබුණි. ඉක්මන් වූ පෙට්‍රා, තම සිය වමතින් පිහිය අල්ලාගත්තාය. පොරය අවසන් වන විට ඇගේ වමතේ ස්නායු කැපී ගොස් තිබූ අතර වමතේ දබරැඟිල්ල සමෙන් පමණක් එල්ලෙමින් තිබුණි.

මම මගේ වමතින් පිහි තලය ඇදලා දානවත් එක්කම මම බිම ඇද වැටුණා. හැමතැනම තිබුණේ ලේ.” ඇය තමන්ගේ මතකය BBCය වෙත විවර කළාය.

නාඳුනන පුද්ගලයාට අවශ්‍ය මුදල් දැයි ඇය විමසුවාය. ඇයට රෝහලට යෑමට අවශ්‍ය බව ද ඇය ඔහුට පැවසුවාය. ක්‍රෝනර් 10,000ක මුදලක් (පවුම් 350) ඔහුට ලබා දුන් පසු ඔහු පැන ගියේය. සෙරනෝසෙක් හට දුර ඇමතුමක් ලබා දීම මේ සියල්ලට වඩා වැදගත් විය. ඒ වන විට සෙරනෝසෙක් සිටියේ පෙට්‍රාද යාමට නියමිතව තිබූ උළෙලට තම මෝටර් රියෙන් ගමන් ගනිමිනි.

මිරස්ලාව් සෙරනෝසෙක්

පෙට්‍රා කතා කරන කොට මම හිතුවේ ඇයගේ වාහනයේ ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා. ඒක කම්පා සහගත සිදුවීමක්.” සෙරනෝසෙක් පැවසුවේය.

මම ගිලන් රථයකටයි, පොලිසියටයි කතා කළා.” කළ යුතු දෑ ඉක්මනින් වටහා ගත් 71 හැවිරිදි සෙරනෝසෙක් ඉක්මන් පියවර ගත්තේය. කායික චිකිත්සක මහාචාර්ය පවෙල් කොලාර්ව ඇමතූ සෙරනෝසෙක්, දෑත් සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රැඩෙක් කෙබර්ල්ව සම්බන්ධ කරගත්තේය. පසුව සැතපුම් 145කට ආසන්න දුරක් ගෙවා පෙට්‍රාව ශල්‍ය වෛද්‍යවරයා වෙත රැගෙන යන ලදි. රුධිර වහනය නිසා දුර්වලව සිටි නමුත් පෙට්‍රා ශක්තිමත් මනසකින් යුතුව මේ සියල්ලට මුහුණ දුන්නාය.

වෛද්‍යවරුන් පැවසුවේ ඇයට නැවත ටෙනිස් ක්‍රීඩාවට පැමිණීමට ඇති හැකියාව 10%ක් පමණ වන බවයි.

අපි හිතුවේ ඒ ඇගේ ටෙනිස් ක්‍රීඩාවේ අවසානය කියලයි. අපි පින්තූරේකින් දැක්කා ඇගේ ඇඟිල්ලක් හමෙන් විතරක් එල්ලෙමින් තියෙනවා. “ සෙරනෝසෙක් ඒ වන විට තිබූ තත්වය පැහැදිලි කළේය.

tennis.life
පෙට්‍රාගේ ඇඟිලි කැපී තිබූ අයුරු සහ එය යතා තත්වයට ගෙන ආ පසු.

පෙට්‍රාව පැය 4ක ශල්‍යකර්මයකට ලක් කෙරුණි. නැවත ක්‍රීඩා නොකරන ලෙස ඇයට දැඩි අවවාද ද ලැබුණි. ඇයට මාස 6ක කාලයක විවේකයක් ද නියම කරන්නට වෛද්‍යවරුන් පියවර ගත්තේය. එහෙත් ගත වූයේ මාස 5කි. ඇය සිටියේ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ තරග පිටියේයි.

එය ආශ්චර්යක් නොවේ. එය අවංක කැපවීමේ ප්‍රතිඵලයක්ම විය. ඒ ගැන කිවහොත්, මාස 6ක් පුරාවටම ඇය විසින් රාත්‍රී ආහාර වශයෙන් ලබාගත්තේ පස්ටා ය. පස්ටා ආහාරයට ගන්නා අතරතුර සෑම පස්ටා කටකට පසුවම ඇගේ වමත සම්බාහනය කළ යුතු විය. පිහි අනතුරින් දින තුනකට පසුව මාධ්‍ය ඉදිරියේ වෙළුම් පටි වලින් වෙලාගත් වමතක් සහිතව අදහස් පල කළ සේම පළමු මාස 6 – 12ක කාලය තුළ ඇය නොසැලෙන මනසින් වූවාය. අවස්ථාව ලැබෙන සෑම මොහොතකම ඇය නැවත ආගමනය ගැන කතා බහ කළාය.

Video – ක්‍රීඩාවටත් වැඩ පෙන්වූ ඔහු – Michael Jordan

මයිකල් ජෝඩ්න්, ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගෙන් කෙනෙකි…

2011 විම්බල්ඩන් ජයග්‍රහණයෙන් පසුව ඇය කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල දෙවැනි ස්ථානය හෙබවූ අතර මේ වන විටත් ඇය 6 වැනි ස්ථානය තමන්ගේ නමින් පවත්වා ගෙන යන්නීය. වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය සහ පෙට්‍රාගේ කැපවීම මත, ශල්‍යකර්ම කිහිපයකින් පසුව ඇගේ වමත යළි ප්‍රකෘති තත්වයට රැගෙන ඒමට හැකි විය.

එහෙත් තවමත් ඇගේ වමත සම්පූර්ණයෙන්ම ඇයට අවනත නැත. ස්නායුවලට සිදු වූ හානිය නිසා වමතේ ඇඟිලි තුඩු වලට තවමත් සත්‍ය සංවේදනා නොදැනෙයි. කෙසේ වෙතත් නාඳුනන පිහි ප්‍රහාරකයාට එරෙහිව සටන ඇරඹූ මොහොතේ සිට මේ දක්වා ඇය සටන අත්හැර නැත. වෙනසක් වී ඇත්නම් ඒ ඇගේ ආධ්‍යාත්මයේයි.

මම දැන් ඉස්සරටත් වඩා පොඩි දේවල් අගය කරනවා. මම හැමවිටම සතුටින් ජීවිතය ගෙවූ කෙනෙක්. ඒත් මේතරම් සතුටින් මම ඉඳලා නැහැ.” පෙට්‍රා කියයි.

“සමහර වෙලාවල් වලදී ඇත්තෙන්ම මම මගේ ජීවත්වීම අගය කරනවා”

ජීවිතය පුදුමාකාරය. මොහොතින් මොහොත එය අප වෙත තිලිණ කරන විවිධාකාරයේ අත්දැකීම් මඟින් අප එදෙස බලන කෝණය සහ අප ඒවාට දක්වන ප්‍රතිචාර වෙනස් කරනු ලබයි. ඇතැම් විට අපව පහත හෙලන්නටම උපදින අවස්ථාවලින් අප තුළ සැඟව තිබෙන ශක්තීන් එළියට ඇද දමනු ලබයි. මිනිසුන් ලෙස උගත යුත්තේ ජීවිතය තුළ උද්ගත වන එක් එක් සිද්ධියෙන් ශක්තිමත් වන ඒ කලාව ය. පෙට්‍රා ක්විටෝවා විශේෂ වන්නේ ඇය ඒ කලාව ප්‍රගුණ කරමින් සිටින බැවිනි. ඇතැම් විට ළඟදීම ඈ තවත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයක් ජයග්‍රහණය කරමින් අපව මවිත කරනු ඇත.

ඇතැම් විට අපගේම ජීවිත අගය කරන්නට අපට අමතක විය හැකිය. ජීවිතය, මරණයට වඩා වටිනාකමක් දිය යුත්තක් බව අපට නොතේරෙනු ඇත. ඒ සෑම මොහොතක දී ම ඔබට පෙට්‍රාව සිහි කළ හැකිය. ඇගේ මේ වාක්‍ය ඛණ්ඩය මතකයේ තබාගත හැකිය.

පිහි අනතුරින් මගේ දෘෂ්ටි කෝණය වෙනස් වුනා. සමහර වෙලාවල් වලදී ඇත්තෙන්ම මම මගේ ජීවත් වීම අගය කරනවා.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<