Rajasthan Royals පන්දු බලඇණිය ගැන මාලිංගගෙන් ප්‍රකාශයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

870

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන Rajasthan Royals කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක ලසිත් මාලිංග පසුගිය දා පත්කෙරුණා.

පළපුරුදු ජාත්‍යන්තර ක්‍රීඩකයින්, අත්දැකීම් සහිත ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සහ තරුණ ක්‍රීඩකයින්ගේ හොඳ සම්මිශ්‍රණයක් ඇති Rajasthan Royals කණ්ඩායමට මෙවර තරගාවලියේ විශාල ගමනක් යා හැකි බව ලසිත් මාලිංග පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආකෘති තුනකින් ජාත්‍යන්තර තරග 340ක දී කඩුලු 546ක් දවා ගෙන තිබෙන මාලිංග 2014 වසරේ දී විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමට විශාල කාර්‍යයක් ඉටු කරනු ලැබුවා.

“මම හිතන්නේ අපිට ඉතාමත් හොඳ වේගපන්දු බලඇණියක් තියෙනවා. Boult සහ Coulter-Nile වගේ පළපුරුදු විදේශීය ක්‍රීඩකයින් ඉන්නවා. ඔවුන් සමඟ මම මීට පෙරත් වැඩ කරලා තියෙනවා”, මාලිංග මධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

“ඒ වගේම අපිට Prasidh Krishna සහ Navdeep Saini වගේ තරුණ ඉන්දීය වේගපන්දු යවන්නන් සිටිනවා. ඔවුන් ඔවුන්ගේ හැකියාවන් ඉහළම මට්ටමින් ඔප්පු කරලා තියෙන ක්‍රීඩකයින්. ඊට අමතරව Anunay Singh, Kuldeep Sen සහ Kuldip Yadav වගේ නව මුහුණු කිහිපයක් තිබෙනවා. විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ දී නිවැරදි එල්ලය ඇත්තෙන්ම වැදගත්. සෑම අවස්ථාවක දීම ඔවුන්ගේ හොඳම හැකියාව කණ්ඩායමට ලබා දෙන්න ඔවුන්ට මග පෙන්වන්න මම කැපවෙනවා”, යැයි ඔහු තවදුරටත් පවසා සිටියා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන 38 හැවිරිදි මාලිංග නව කණ්ඩායම සමඟ එක්වීම පිළිබඳව ද සිය අදහස් දක්වා සිටියා. එහි දී ඔහු කියා සිටියේ ඔහු තම නව භූමිකාව සතුටින් භාරගෙන ඇති බවයි.

“ඇත්ත වශයෙන්ම මට පුහුණු භූමිකාවට පිවිසීම සහ මගේ අත්දැකීම් යොවුන් ක්‍රීඩකයන්ට ලබා දීම අලුත් දෙයක්. මම මීට පෙර මුම්බායි සමඟ මෙම භූමිකාව ඉටු කළා. දැන් Rajasthan Royals සමඟ වැඩ කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මේක අලුත් තැනක්. මම මේ දක්වා මගේ භූමිකාව ඉතාමත් සතුටින් කරමින් ඉන්නවා. මේ වගේ දක්ෂ පන්දු යවන්නන් පිරිසක් සමඟ වැඩ කිරීම ඉතාමත් හොඳ අත්දැකීමක්.”

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වසර 13ක් Mumbai Indians සමඟ ක්‍රීඩා කර ඇති මාලිංග Rajasthan Royals වෙත එක් වූ ආකාරය ද සිහිපත් කර තිබුණා.

“ඇත්තටම ගිය අවුරුද්දේ තමයි කුමාර් සංගක්කාර මගෙන් ඇහුවේ පුහුණුකරුවෙක් විදිහට එක්වෙන්න කැමති ද කියලා. නමුත් මේ කොරෝනා සහ ජෛව බුබුලු සීමා කිරීම් එක්ක මට මගේ පවුලෙන් ඈත් වෙන්න අවශ්‍ය වුනේ නැහැ”, මාලිංග පවසා සිටියා.

වේගපන්දු යවන්නෙකුට වඩාත්ම වැදගත් වන සැලසුම කුමක් ද යන්න පිළිබඳව ද මාලිංග සිය අදහස් පළකර තිබුණා.

“මම හිතන්නේ බොහෝ විට කණ්ඩායම් අවධානය යොමු කරන්නේ ප්‍රතිවාදීන් විශ්ලේෂණය කරන්න සහ ඔවුන්ගේ දුර්වලතා දෙස බලන්න. නමුත් මගේ අත්දැකීම අනුව මම හිතන්නේ ඔබ ඔබේ දක්ෂතා මත වැඩ කරන්න ඕනේ. ඒ අනුව පන්දු යවද්දී වඩාත් හොඳින් ක්‍රියාත්මක වන්නේ කුමක් ද කියලා හඳුනාගන්න ඕනේ.

විස්සයි විස්ස තරගවල දී ඔබට පන්දු 24ක් යවන්න සිදුවෙනවා. එය අපට වාසිදායක වෙනවා. ඒත් ඔබේ සහජ බුද්ධිය විශ්වාස කිරීමත් වැදගත් වෙනවා. මේ තත්වයේ දී අපි හැසිරෙන්න ඕනේ කොහොම ද, ක්‍රියා කළ හැකි වෙනස්කම් මොනවා ද කියලා හඳුනාගන්න ඕනේ.

ඔබට එරෙහිව සූදානම් වෙන්න තියෙන්නේ දකුණත් පිතිකරුවෙකුට සහ වමත් පිතිකරුවෙකුට පමණයි. ඒ නිසා පන්දු යවන්නෙකු පුහුණු කරද්දී ඒ අනුව පුහුණු කිරීම වැදගත් වෙනවා. පිතිකරුවන් දෙදෙනෙකු පමණයි ඉන්නේ කියලා හිතන්න පුරුදු වෙන්න ඕනේ. පිතිකරුවාගේ නම කුමක් වුවත් කමක් නැහැ”, ඔහු තවදුරටත් පවසා සිටියා.

ලසිත් මාලිංග Mumbai Indians සමඟින් සිව් වතාවක් IPL කිරුළ ජයග්‍රහණය කර තිබෙනවා.

“මම හිතන්නේ සෑම කණ්ඩායමක්ම එක හා සමානව ශක්තිමත්. කණ්ඩායමේ සිටින සෑම කෙනෙකුම සමානව දක්ෂයි. නමුත් වඩාත්ම තීරණාත්මක දේ වන්නේ අපි ක්‍රීඩාව තේරුම් ගන්නා ආකාරය සහ ක්‍රීඩාව තුළ ඇති වන තත්වයන් පාලනය කරන ආකාරයයි.”

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මාර්තු 26 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

Times of India ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<