නායකත්වය අතහැරීම ගැන Kohli පළමු වරට මාධ්‍යයට කතා කරයි

1430

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම නායකයා ලෙස සැලකෙන Virat Kohli සිය හත් වසරක නායකත්වයට පසුගිය දා සමුදුන්නා. සිය ආන්දෝලනාත්මක තීරණය පිළිබඳව Kohli මීට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුණේ නැහැ.

Virat Kohli ක්‍රීඩා පිටියේ දී සෑම විටම ඉතාමත් ආවේගශීලී පුද්ගලයෙකු ලෙස සැලකෙන අතර සාමාන්‍ය ජීවිතයේ දී ඔහු සරල පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔහු කතා කරන සෑම වචනයක දී ම ඔහුගේ අධිශ්ඨානශීලී මානසිකත්වය පිළිබිඹු කරනවා.

දැන් ඔහු තවදුරටත් නායකයා නොවන බැවින් ඉන්දීය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස තමාගේ භූමිකාවට පිවිසෙන්නේ කෙසේද යන්න Kohli මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබුණා.

පසුගිය වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව Virat Kohli විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්ව තිබුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු එක්දින නායකත්වයෙන් ඉවත් කර සීමිත පන්දුවාර නායකත්වය Rohit Sharma හට ලබා දීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණා.

ඉන් මාස කිහිපයකින් අනතුරුව ඉන්දීය කණ්ඩායම සහභාගී වූ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව Kohli තමන් ටෙස්ට් නායකත්වයෙන් ද ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කළා. ඔහුගේ මෙම තීරණය ක්‍රීඩාලෝලීන්ගේ මෙන්ම මාධ්‍යවල ද දැඩි අවධානයට යොමුව තිබුණා.

Digit නම් නාලිකාවේ ‘Firseside Chat with VK’ නම් වැඩසටහනට එක්වෙමින් Virat Kohli තමා නායකයා නොවන විට කණ්ඩායමට දායක විය හැකි ආකාරය මෙන්ම සිය ක්‍රිකට් අනාගතය පිළිබඳව ද අදහස් දක්වා සිටියා.

“සෑම දෙයකටම කාලසීමාවක් සහ අවසානයක් තියෙනවා. අපි පැහැදිලිවම ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ. සමහර විට කෙනෙක් අහන්න පුළුවන් මේ පුද්ගලයා මොනවද කරලා තියෙන්නේ කියලා. නමුත් ඔබ ඔබේ හදවතින් අහලා බැලුවම ඔබ යමක් කරලා තියෙනවා කියලා හිතෙනවා නම් ඒ හොඳටම ඇති.”

“දැන් පිතිකරුවෙකු ලෙස මට කණ්ඩායමට දායක වෙන්න පුළුවන්. මට කරන්න පුළුවන් තවත් දේවල් තියේවි. මට කණ්ඩායම තවත් ජයග්‍රහණවලට අරන් යන්න පුළුවන් වේවි. ඒ නිසා මම ඒ ගැන ආඩම්බර වෙනවා. කණ්ඩායම මෙහෙයවන්න නායකයෙකු වෙන්න අවශ්‍ය නැහැ. මගේ අදහස සරල එකක්”, Kohli පවසා සිටියා.

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම නායකයෙකු ලෙස සැලකෙන MS Dhoni නායකත්වයට සමුදීමෙන් අනතුරුව ඔහුගේ ස්ථානයට පත්වන Kohli සිය නායකත්ව වගකීම අකුරටම ඉටු කළ බව නොරහසක්.

“MS Dhoni නායකත්වයෙන් ඉවත් වෙලා කණ්ඩායමේ ඉන්න කාලේ ඔහු නායකයෙක් විදිහට නෙමෙයි හිටියේ. ඒත් අපි හිතුවේ නායකයා ඔහු කියලා. තවමත් අපි උපදෙස් ගන්න නිරන්තරයෙන් යන්නේ ඔහු ළඟට.

නමුත් ඔහුට තේරුණා මම ස්වාභාවික ප්‍රගතියක් ලබාගෙන ඉන්දීය ක්‍රිකට් භාරගන්න පුළුවන් කියලා. මම මට අවශ්‍ය මට්ටමට කණ්ඩායම ඉදිරියට ගෙන යාමට ස්වාභාවික කාලයක් ගත්තා. මගේ කාර්‍යභාරය සම්පූර්ණ බව මට හිතෙනවා. මට පෞද්ගලික ඉලක්ක තිබුණේ නැහැ. මම හිතන්නේ ඒක දිගු කල් පවතින බලපෑමක් ඇති කරනවා.”

නායකත්වයෙන් සමුගැනීමෙන් අනතුරුව කණ්ඩායම සමඟින් ඉදිරියට යා යුතු ආකාරය ගැන ද Kohli අදහස් දක්වා සිටියා. ආරම්භක පිතිකරු Rohit Sharma Kohliගෙන් අනතුරුව එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙස කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ Kohliගේ අනුප්‍රාප්තිකයා තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

“ඉදිරියට යාමට තීරණය කිරීම නායකත්වයේ කොටසක් කියලා මම විශ්වාස කරනවා. එය කිරීමට සුදුසු කාලය අවබෝධ කරගැනීමත් වැදගත්. කණ්ඩායම ඇතුළේ පැහැදිලිවම එකම සංස්කෘතියක් තිබුනත්, වෙනස් ආකාරයකින් කණ්ඩායම ඉදිරියට අරන් යන්න අදහස් සමූහයක් තියෙන කෙනෙක් නායකයා වුනාම ඒක අලුත් අත්දැකීමක් වේවි.”

“ක්‍රීඩකයෙක් විදිහට අපි සෑම ආකාරයකම භූමිකාවන් සහ වගකීම් භාරගන්න ඕනේ. මම ක්‍රීඩකයෙකු විදිහට MS Dhoni යටතේ ක්‍රීඩා කළා. ඊට පස්සේ මම දිගු කලක් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා. දැන් මම නව නායකයෙක් යටතේ ක්‍රීඩා කරන්න සූදානම් වෙනවා. ඒත් මේ හැම අවස්ථාවකම මගේ මනස එක හා සමානව තිබුණා”, Kohli පවසා සිටියා.

“මම ක්‍රීඩකයෙක් විදියට ඉද්දී හිතුවේ නායකයෙක් වගේ. මට ඕනේ කණ්ඩායම දිනවන්න. මම මගේම නායකයා වෙන්න ඕනේ.”

Rohitගේ නායකත්වයෙන් ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය ලෙස ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය එළඹෙන පෙබරවාරි 06 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<