මාලිගේ අගය කියා දුන් මහේලගේ ප්‍රකාශය!

4219

IPL තරගාවලි ඉතිහාසය පුරාවට බිහි වූ සාර්ථකම කණ්ඩායම් අතරින් අග්‍රස්ථානය හිමි කරගන්නා Mumbai Indians එළඹෙන නව තරගවාරය සඳහා මේ වන විට ලහිලහියේ සූදානම් වන ආකාරය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැකගත හැක.

ඒ නම් දැරූ ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම දැනටමත් සංචිතයත් සමඟ එක්ව සුපුරුදු පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති පසුබිමකයි.

Navi හි දී ක්‍රියාත්මක වන දින 12ක ශාරීරික යෝග්‍යතා ඉලක්කගත පුහුණුවීමේ කඳවුර සඳහා Rohit Sharma සහ Jasprit Bumrah වැනි ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලයින් කිහිපදෙනෙකුම එක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව හයවැනි IPL ශූරතාව හඹා යන Mumbai Indians හි ජයග්‍රහණය සඳහා නිසැකවම තීරණාත්මක සාධකයක් බවට පත්විය හැකි Jasprit Bumrahගේ පන්දු යැවීමේ සාර්ථකත්වය කෙරෙහි මේ වන විට බොහෝ දෙනෙකු තම අවධානය යොමු කරගෙන සිටියි.

‘පුංචි AB’ යන අන්වර්ථ නාමයෙන් ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය දිනා ගැනීමට සමත් වූ යොවුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩක Dewald Brevis ඉතාමත් උනන්දුවෙන් තම පුහුණුවීම් කටයුතුවල නිරත වන ආකාරය MI සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළකර තිබූ විඩියෝ පට කිහිපයක දී ම දැක ගැනීමේ හැකි. ඔහු Jasprit Bumrahගේ වේගපන්දුවෙන් එල්ල විය හැකි තර්ජනය මැඩ පවත්වා ගන්නා ආකාරය ද එම වීඩියෝ පටවල සටහන්ව තිබුණා.

මෙහි දී තරමක හාස්‍යජනක සිදුවීමක් කැමරා කාචයේ සටහන්ව තිබුණේ Brevis එක් අන්තයක පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවේ දී අනෙක් අන්තයේ රැඳී සිටි Kieron Pollard ඔහුව දිරි ගන්වමින් Bumrahට එරෙහිව පන්දුවට පහර දීමට සූදානම් කිරීමට දැරූ උත්සාහයන් අතරතුර දීයි.

එහි දී Pollardගේ දිරි ගැන්වීම ගැන අදහස් පළකරමින් Bumrah පවසා තිබුණේ, තමන්ට ආධුනිකයෙකු ලෙස කණ්ඩායමට එක්වූ සමයේ අනෙක් අන්තයෙන් තමන් දිරි ගැන්වීම සඳහා මේ අයුරින් කිසිවෙකුත් නොවූ බවයි. නමුත් මෙම සංවාදය කෙරෙහි අවධානය යොමු කරගෙන සිටි MI කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන මහතා ඊට පිළිතුරු බඳිමින් සිනහ මුසුව පවසා සිටියේ මෙවන්නක්.

“මාලි (ලසිත් මාලිංග) ඒ දවස්වල ඔයත් එක්ක හිටියා අනෙක් අන්තයෙන් සහය දෙන්න. මම හිතන්නේ තාම ඒ ගැන අවබෝධ වෙලා නැහැ වගේ.” මෙම ප්‍රකාශය ඇසුණු මොහොතේ දී පුහුණුවීම් කටයුතුවල යෙදී සිටි ක්‍රීඩකයින් සියලු දෙනාම සිනහවකින් එම කියමන සනාථ කර සිටියේ Bumrahට ද නිසි පිළිතුරුක් ලබා දෙමිනි.

තවමත් ජාත්‍යන්තර තරග බිමට පා තැබීමට අපේක්ෂාවෙන් පසුවන යොවුන් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන Dewald Brevis නිමාව දුටු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී පෙරළිකාර දක්ෂතා රැසක් ප්‍රදර්ශනය කරමින් තරගාවලිය අවසන් කළේ එම තරගාවලි ඉතිහාසයේ එදා මෙදාතුර එක් අදියරක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා වීමේ වාර්තාව ද තම නම ඉදිරියේ සටහන් කරගනිමින්.

තම ක්‍රිකට් දිවියේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් IPL තරගාවලිය සමඟ එක්ව සිටින Brewis මෙතෙක් MI කඳවුරේ දී බෙදාහදා ගත් අත්දැකීම් පිළිබඳව අදහස් දක්වා සිටියේ මේ අයුරින්.

“Rohit Sharma වගේ සුපිරි පිතිකරුවෙකු වගේම නායකයෙකු යටතේ ක්‍රීඩා කරන්න ලැබීමම ලොකු භාග්‍යයක්. ඔහු පන්දු යවන්නන්ට පහර දෙන ආකාරයට මම ඉතාමත් ප්‍රිය කරනවා. ඔහු ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ආපු ගමන් මඟ ඉතාමත් විශිෂ්ඨයි. ඊට අමතරව Jofra සහ Bumrah වගේ සුපිරි පන්දු යවන්නන් දෙපළක් එක්ක එක කණ්ඩායමේ තරග කරන්න අවස්ථාවක් ලැබීම කලාතුරකින් සිදුවන්නක්.”

“මම දැකලා තියෙනවා Bumrah කියන්නේ කොයි වගේ තර්ජනාත්මක පන්දු යවන්නෙක් ද කියන එක. Supersport Park ක්‍රීඩාංගණයේ පැවැත්වුනු දිවා-රාත්‍රී ටෙස්ට් තරගය මට සජීවව නරඹන්න අවස්ථාවක් ලැබුණා. එදා මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා Bumrah කියන්නේ මොන වගේ වේගපන්දු යවන්නෙක් ද කියන එක. පුහුණුවීම්වල දී ඔහුගේ පන්දුවලට මුහුණ දෙන්න මම ඉතාමත් ආසාවෙන් ඉන්නවා.”

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<