හිටපු ඉන්දීය ප්‍රධාන පුහුණුකරුවාගෙන් BCCIයට දොස්මුර!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

625

2017 වසරේ දී තමන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාර ගැනීමත් සමඟම වසර 11ක කාලයක් අඛණ්ඩව IPL තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස ලබා දුන් දායකත්වයට තිත තැබීමට සිදු වූ හේතුව සම්බන්ධයෙන් හිටපු ඉන්දීය නායක Ravi Shastri මහතා Star Sports නාලිකාවේ ඔස්සේ පසුගිය දා විකාශය වූ සාකච්ඡාවක් අතරතුර දී පැහැදිලි කොට සිටියේය.

තමන් හට ඉන්දීය කණ්ඩායම පුහුණු කිරීමේ භාර ධූර කර්තව්‍යය හිමි වීමත් සමඟම විස්තර විචාරකයෙකු ලෙස ආ ගමන් මඟ තාවකාලිකව නවත්වා දැමීමට සිදු වූයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පනවා ඇති යල්පැන ගිය නීති රාමු නිසාවෙන් බව එහි දී Ravi Shastri මහතා අවධාරණය කොට තිබුණි.

කෙසේ නමුත් එතෙක් ජාතික කණ්ඩායම සමඟ තිබූ වගකීම් සියල්ල පසුගිය වර්ෂයේ දී අවසන් වීමත් සමඟම මෙවර 2022 IPL තරග වාරය සඳහා වන විස්තර විචාරක මඬුල්ලේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව Ravi Shastri මහතාට අවස්ථාව උදා වී තිබේ. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙවැනි අර්ථ විරහිත නීති රීති වෙනස් කිරීම සඳහා BCCIය ඔවුන්ගේ අවධානය යොමු කළ යුතු බවයි.

මම IPL තරග වාර 11කට අඛණ්ඩව ප්‍රවීණ විස්තර විචාරකයෙකු ලෙස මට පැවරුණු රාජකාරිය මම අකුරටම ඉටු කළා. නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජාතික කණ්ඩායමේ නිලධාරීන් පිළිබඳව ඇති නීති මාලාවේ සඳහන් වෙලා තියෙන කිසිම තේරුමක් නැති වගන්ති කිහිපයක් නිසා මට ඒ අවස්ථාව අහිමි වෙලා ගියා. මම මීට කලිනුත් මේ ගැන කියලා තියෙනවා. ඔය මෝඩ ව්‍යවස්ථාවන් ඔක්කෝම අල්ලලා කුණු කූඩේට විසි කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ.”

තවද මෙවර අදියර සඳහා නම් කොට ඇති විස්තර විචාරක සමූහය සඳහා මෑතක දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් සුපිරි ඉන්දීය වමත් පිතිකරු Suresh Rainaද ඇතුළත් වීම වඩාත් කැපී පෙනේ.

Rainගේ එක්වීම සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටි Shastri මහතා සඳහන් කොට සිටියේ විස්තර ක්‍රීඩකයෙකු ලෙස Raina සතු ක්‍රිකට් දැනුම සහ අත්දැකීම විස්තර විචාරකයෙකුගේ මුහුණුවරින් සියලු දෙනා සමඟ බෙදා හදා ගැනීමට මෙය අනගි අවස්ථාවක් වනු ඇති බවයි.

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<