එංගලන්ත පිතිකරුවෙකුට අත්හිටවූ දඬුවමක් සමඟින් දඩයක්!

583

එංගලන්ත පිතිකරු Jason Roy හට මාස 12කට අත්හිටවූ තරග දෙකක තහනමක් සමඟින් පවුම් 2,500ක දඩයක් ගෙවීමට එරට ක්‍රිකට් ආයතනය විසින් නියම කර තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය විසින් මෙවැනි දඬුවමක් පැනවීමට මුල් වූ සිදු වීම කුමක් ද යන්න අනාවරණය කර නොමැති නමුත්, “එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ 3.3 වගන්තිය උල්ලංඝනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අගතියක් විය හැකි හෝ ක්‍රිකට් ක්‍රීඩාව, එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය සහ තමා අපකීර්තියට පත් කළ හැකි ආකාරයෙන් හැසිරීමේ චෝදනාව ඔහු විසින් පිළිගෙන තිබෙනවා”, යැයි ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබුණි.

“පවතින සියලුම සාක්ෂි අධීක්ෂණය කළ සම්පූර්ණ විනය විභාගයකින් පසුව, විනය මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා රෝයි හට: (i) ඔහු තේරීමට සුදුසුකම් එළඹෙන ඉදිරි එංගලන්ත තරග දෙක යහපත් කල් ක්‍රියාව මත මාස 12කට අත්හිටවූ ලෙස තහනම් කරන්නට සහ (ii) 2022 මාර්තු 31 වැනිදා වන විට පවුම් 2,500ක දඩයක් ගෙවන්නට නියම කර සිටිනවා”, යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා.

Roy අවසන් වරට ක්‍රීඩා කළේ ඉකුත් ජනවාරි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලිය සඳහායි.

ඉන්පසුව ඔහු පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ Quetta Gladiators නියෝජනය කරමින් තරග කළා. කෙසේ නමුත් පසුගිය කාලය පුරාවට ජෛව ආරක්ෂිත වටපිටා (Bio Bubbles) තුල කාලය ගත කරමින් කටයුතු කිරීම සැලකිල්ලට ගනිමින් IPL හි Gujarat Titans කණ්ඩායමෙන් ඔහු ඉවත් වුනේ සිය පවුලේ උදවිය සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය බව සඳහන් කරමිනුයි.

Cricbuzz ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<