Fakhar Zaman ලෝක කුසලානයෙන් ඉවතට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2420
Fakhar Zaman

අවසන් මොහොතේ විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වූ පාකිස්තාන ක්‍රීඩක Fakhar Zaman නැවතත් ඇති වූ ආබාධයක් නිසා තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

දණහිසේ ඇති වූ ආබාධය සම්පූර්ණයෙන් සුව වීමට පෙර Fakhar Zaman ඕස්ට්‍රේලියාවට පැමිණ තිබූ අතර නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ දී නැවතත් ඔහුගේ ආබාධ තත්වය උත්සන්න වී තිබුණා.

එම නිසාවෙන් පාකිස්තාන කණ්ඩායමට දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන වැදගත් තරගයේ දී සිය අත්දැකීම් බහුල ක්‍රීඩකයාගේ සේවය අහිමි වෙනවා.

මෙම ආබාධය නිසා ඔහුව පළමුවෙන් නම් කළ ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර තිබූ නමුත් අවසන් මොහොතේ දී Usman Qadir සංචිතයෙන් ඉවත් කර Fakhar Zaman සංචිතයට එක් කළා.

නමුත් ඔහුට පාකිස්තානය පරාජයට පත් වූ ඉන්දීය සහ සිම්බාබ්වේ තරග අහිමි වූ අතර නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ දී පන්දු 16ක් තුළ ලකුණු 20ක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු නැවතත් ආබාධයට ලක් ව තිබුණා.

Fakhar Zamanගේ ආදේශකයා ලෙස කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඕස්ට්‍රේලියාවට ගොස් තිබූ Mohammad Haris සංචිතයට එක් කිරීමට තරගාවලි තාක්ෂණික කමිටුවේ අවසරය ද හිමිව තිබෙනවා.

මෙම තත්වය පිළිබඳව අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය Najeebullah Soomro ප්‍රකාශ කළේ,

“ඇත්තටම දණහිසේ ආබාධයක් සම්පූර්ණයෙන් සුව වෙන්න කාලයක් ගත වෙනවා. ඔහු ඇතුළු කණ්ඩායම ඔහුව තරගාවලියට ගෙන ඒමේ අවදානම තේරුම් අරන් තිබ්බේ. ඔබ දැක්කා ඔහු අවසන් තරගයේ දස්කම් දැක්වූ ආකාරය. නමුත් ඔහුගේ ආබාධය වැඩි වෙන දෙයක් එහි දී සිදු වුනා.

ඔහු නැවත පැමිණීමේ අවදානම අපි දැනගෙන හිටියා, ඔහු කණ්ඩායමට ඉතාම වැදගත් ක්‍රීඩකයෙක්. ක්‍රීඩකයා, වෛද්‍ය කණ්ඩායම් සහ කණ්ඩායම් කළමනාකාරිත්වය ඒ ගැන දැනගෙන හිටියා.

අපි ඔහුව ගෙන්වා ගන්න තීරණය කළා. ක්‍රිකට් විතරක් නෙවේ ඕනෑම ක්‍රීඩාවක අපි සමහර වෙලාවල්වල දී අවදානමක් ගන්න ඕන. ඒ අවදානම් ගන්න දේවල් වෙලාවක දි හරි යනවා වගේම වෙලාවක දී වැරදෙනවා.”

Fakhar Zaman තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ බොහෝ විට Asif Ali නැවතත් පාකිස්තාන කණ්ඩායමට ඇතුළත් වීමට වැඩි ඉඩක් ඇති අතර ඔහුට අමතරව Haider Ali සහ Khushdil Shah ද පිතිකරුවන් ලෙස සංචිතයේ සිටිනවා.

පාකිස්තාන කණ්ඩායමට තරගාවලිය ආරම්භයේ සිටම ආබාධවලින් පීඩා විදි අතර ඔහුගේ ප්‍රධාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Afridi ද ආබාධයකින් සුව වීමෙන් පසුව කණ්ඩායමට පැමිණීමෙන් අනතුරුව තරග තුනක් තුළ තවමත් ලබා ඇත්තේ එක් කඩුල්ලක් පමණයි.

“ඔබට යෝග්‍යතාවක් තිබ්බත් තරග ක්‍රීඩා කරද්දී දස්කම් අතරට පැමිණීමට ගුණාංග තිබිය යුතුයි. වෛද්‍ය විද්‍යාවට අනුව ඔහු දැන් සම්පූර්ණයෙන්ම සුවයි. ඔහු තරගයක් ගානේ දස්කම් වැඩි කර ගන්න විදිය ඔබට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔහු ගැන අපට විශ්වාසයි.

අපගේ වෛද්‍ය කණ්ඩායමේ සියලූම දෙනා ඔහු සමඟ දිවා රෑ බලන්නේ නැතුව වෙහෙස වෙලා වැඩ කරනවා. අපිට විශ්වාසයි ඔහු දැන් හොඳම තත්වයට ඇවිත් තියෙන්නේ කියලා,” Shaheen Afridi පිළිබඳව අදහස් දක්වමින් Najeebullah Soomro ප්‍රකාශ කළා.

පාකිස්තාන කණ්ඩායම ඔවුන්ගේ ඉදිරි තරග දෙක ජයග්‍රහණ කළත් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් සිය කාණ්ඩයේ අනෙක් තරග ප්‍රතිඵල බලා සිටීමට සිදු වනවා.

“ඔබට නරකක් දැනෙන නමුත් ඔබට එය වෙනස් කළ නොහැක. ඔයා ඉදිරියට යන්න ඕන කණ්ඩායමේ ක්‍රීඩකයින් එක්ක හොඳ ආත්ම ශක්තියකින්. අපි අනෙක් තරගයන්ට අවධානය දීලා ඒවා දිනාගන්න ඕන, පැරදුණ තරග ගැන දැන් හිතලා වැඩක් නෑ,” යැයි පාකිස්තාන ක්‍රීඩක Naseem Shah ප්‍රකාශ කළා.

Crickinfo ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<