හිටපු දකුණු අප්‍රිකානු නායකයා ක්‍රිකට් පිටියෙන් සමුගනී

465
Faf du Plessis announces Test retirement

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක Faf du Plessis ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව අද (17) දැනුම් දී තිබුණි.

සිය Instagram ගිණුමේ සටහනක් තබමින් Faf du Plessis සිය සමුගැනීම ප්‍රකාශ කර තිබූ අතර ඔහුගේ අරමුණ පැහැදිලි බවත්, නව පරිච්ඡේදයකට පිවිසීමට කාලය එළඹී ඇති බව ඔහු එහි සඳහන් කර තිබුණි.

“ගෙවුණු වසර අපි හැමෝම ගින්නකින් දැවුණු වසරක්, අවිනිශ්චිත කාලයක් වුවත් එයින් මට පැහැදිලි බවක් ගෙන ආවා. සෑම ක්‍රිකට් ආකෘතියකින්ම මගේ රට නියෝජනය කරන්න ලැබීම ගෞරවයක්, නමුත් මට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට කාලය ඇවිල්ලා.

මීට වසර 15කට පෙර කවුරු හරි මට කිව්වා නම් ඔබ ටෙස්ට් තරග 69ක් දකුණු අප්‍රිකාව නියෝජනය කරලා එහි නායකයා වෙනවා කියලා මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මට ලැබුණු ආශීර්වාදය පිරුණු ටෙස්ට් ක්‍රිකට් දිවියට මම කෘතඥතාව පල කරනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

 

View this post on Instagram

 

A post shared by Faf du plessis (@fafdup)

එමෙන්ම සිය ක්‍රීඩා දිවියේ ඉදිරිය පිළිබඳව සඳහන් කරමින් 36 හැවිරිදි Faf du Plessis ප්‍රකාශ කර සිටියේ ඔහුගේ වැඩි අවධානයක් පන්දුවාර 20 තරගවලට යොමු වී ඇති නමුත් එක්දින තරග ක්‍රීඩා කිරීමට ද ඔහු බලාපොරොත්තු වන බවයි.

“මීළඟ අවුරුදු දෙක පන්දුවාර 20 ලෝක කුසලාන පැවැත්වෙන වසරවල්. ඒ නිසා මගේ අවධානය ඒ ක්‍රිකට් ආකෘතියට මාරු වී තියෙන්නේ. මට හැකි උපරිමයෙන් ලොව පුරා ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. එවිට මට වීමට අවශ්‍ය හොඳම ක්‍රීඩකයා වෙන්න පුළුවන්.

මට මේ තරග ආකෘතියෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට විශාල දෙයක් කරන්න පුළුවන් කියලා මම තදින් විශ්වාස කරනවා. මම කෙටි කාලීනව පන්දුවාර 20 තරග රටාවට අවධානය දෙන්න සූදානම්” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

du Plessisගේ සමුගැනීම පිළිබඳව අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී Graeme Smith ප්‍රකාශ කර සිටියේ du Plessis වසර ගණනාවක් මුළුල්ලේ දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක්ව සිටි බවත්, ඔහුගේ සමුගැනීම නිසාවෙන් කණ්ඩායමේ විශාල හිඩැසක් ඇති වන බවයි.

“ඔහු කණ්ඩායම කෙරෙහි සෑම විටම දක්වන කැපවීම ගැන සැකයක් නැහැ. ඒ වගේම ඔහුගේ සැලසුම් පිළිබඳව සෑම විටම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟින් විනිවිදභාවයෙන් කටයුතු කිරීම අගය කරන අතර ඔහුගේ තීරණයට ගරු කරනවා

ඒ වගේම වසර ගණනාවක් දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් සිදු කළ කැපවීම වෙනුවෙන් මම du Plessis හට මගේ ස්තූතිය පුද කර සිටිනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

2012 වසරේ Faf du Plessis ටෙස්ට් තරග 69ක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 4163ක් රැස් කිරීමට සමත් වූ අතර 2016 වසරේ සිට ටෙස්ට් තරග 36ක් දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ද ඔහුට හිමි විය.

Faf du Plessis සහභාගි වූ අවසාන ටෙස්ට් තරගාවලිය වූ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගාවලියේ දී එක් ඉනිමක දී ලකුණු 199ක් රැස් කිරීමට ද ඔහු සමත් වූ අතර ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලිය කොරෝනා වසංගතය නිසාවෙන් අවලංගු වීම නිසාවෙන් ඔහු ටෙස්ට් පිටියෙන් සමුගැනීමට ගැනීමට තීරණය කර තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<