මෝටර් රථ ශූරයා තවත් සමාජ සත්කාරයක

546
Dilantha Malagamuwa

හෙළ දෙරණ මත බිහි වූ හුදෙක් වීරයන් අතර ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූවෝ අනන්ත අප්‍රමාණ ය. 96 දී ක්‍රිකට් ලොව කැලඹූ හැටිත්, 2000 දී සුසී ලොව කැලඹූ හැටිත් අපට මතකය. ඉතිහාසය එවැන්නවුන් වෙනුවෙන් සදා සාක්ෂි දරනවාට කිසිදු සැකයක් නැත. නමුත් ධාවන පථය නම් ආසියානුවන්ට තරමක වෙනස්ම අත්දැකීමකි.

වසර දෙකකට පසු අනුෂා බොක්සිං වළල්ල හොල්ලයි

ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරගාවලිය පසුගිය ඉරිදා අවසන් වුනේ කොළඹ MAS රාජකීය බොක්සිං..

මයිකල් ශූ මාර්කර් ලා ලොරෙන්සෝ ලා අපේ පුංචි ලක්දිපයට නම් දවල් හීනමය. නමුත් අපට නුහුරු ලැම්බෝගිනියක නැගී අරුමෝසම් ධාවන පථය උඩු යටිකුරු කරමින් සිංහ කොඩිය සුරතට රැගෙන උජාරුවෙන් ජාත්‍යන්තරය තරණය කරනා ඩිලන්ත මාලගමුව මේ වන විට ශ්‍රී ලංකිකයින්ගේ හදවත් සොරා ගෙන අවසන්ය.

පසුගිය දා ඔහු ලෝක ශූරතා ලැම්බෝගිනි තරගාවලියේ තෙවන ස්ථානයේත්, ලෝක ශ්‍රේණිගත කිරීමේ 5 වන ස්ථානයේත් තම ඉඩ වෙන් කරවා ගත්තේ, ශ්‍රී ලාංකිකයෙකු මෙතෙක් වාර්තා කර ඇති ඉහළම මෝටර් රථ කුසලතාවයට හිමිකම් කියමිනි.

පසුගිය දා නිමා වූ “ලැම්බෝගිනි සුපර් ‍ට්‍රෝෆියෝ 2017 ජාත්‍යන්තර ශූරතා අවසන් තරගාවලිය” නොවැම්බර් 16 වැනි දා සිට 19 වැනි දා දක්වා ඉතාලියේ ඉමෝලා ධාවන පථයේ දී පැවැත්විය. යුරෝපා, ඇමරිකා සහ ආසියානු කලාපයේ ප්‍රබල ක්‍රීඩකයින් මෙහි දී තරග කළ අතර 16 වැනි දා පැවති පළමු ලෝක කුසලාන තරගාවලියේ දී AM ශ්‍රේණියෙන් තරග වැදුණු ඩිලන්ත, 16 වැනි ස්ථානයෙන් තරගය ආරම්භ කරමින් සිව්වැනි ස්ථානය දක්වා පැමිණි නමුත් අවාසනාවන්ත ලෙස තෙවැනි ස්ථානයේ ගමන් ගත් මෝටර් රථයේ ඔහුගේ මෝටර් රථය ගැටීම හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට ඔහුට සිදු විය.

දෙවැනි ලෝක කුසලාන තරගාවලිය 19 වැනි දා ආරම්භ වූ අතර එහි දී ඔහු දෙවැනි ස්ථානය දක්වා පැමිණියේ අනෙකුත් ප්‍රබල ක්‍රීඩකයින්ට ද අභියෝගයක් වෙමිනි.

කෙසේ නමුත් අවසාන වටයට පෙර වටයේ දී ඔහුගේ පසුපසින් පැමිණි වාහන දෙකක් අනතුරට පත්වීම හේතුවෙන් එම මොහොතේ දී ම තරගය නතර කිරීමට තරග අධ්‍යක්ෂවරුන් තීරණය කරන ලදි.

කෙසේ නමුත් අනතුරට පෙර වටයේ දී තරගකරුවන් ධාවනය කරමින් සිටි ස්ථාන ඔවුන්ට ලබා දීමට බලධාරීන් තීරණය කළේය. ඒ වන විට දෙවැනි ස්ථානය හිමි කරගෙන සිටි ඩිලන්තට ඒ අනුව තෙවැනි ස්ථානය හිමි විය. කෙසේ නමුත් අනතුරු සිදු නොවූවා නම් ඔහුට බොහෝ විට ප්‍රථම ස්ථානයට හිමි කියන්නට ඉඩ තිබුණි.

තරගාවලියෙන් පසුව සිය අත්දැකීම් සහ තමාගේ අනාගත කටයුතු සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (13) පස්වරුවේ කොළඹ “Movenpick” හෝටලයේ දී පැවැත්විය. මේ සඳහා ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද සහභාගී වීම විශේෂත්වයක් විය.

මෙහි දී අදහස් දැක්වූ ඩිලන්ත මාලගමුව මහතා සඳහන් කළේ තමාගේ සියලු ජයග්‍රහණ අප රටේ නිහතමානී ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දිනා දුන් ඒවා බවයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව දුප්පත් රටක් නොවන බවත්, අපට ද ලෝකය සමඟ උරෙනුර ගැටීමේ හැකියාව ඇති බවත්ය.

“මිළඟ වසරේ ලෝක ශූරතාවය දිනා ගැනීම මගේ අරමුණයි.” යනුවෙන් ද සඳහන් කළ ඒ මහතා තම “DILANGO RACING” සන්නාම නාමය සහිත ප්‍රදර්ශනාගාරයක් කිරුලපන දී විවෘත වන බවත්, එයින් ලැබෙන ආදායමින් 10%ක් “ලිට්ල් හාර්ට්ස්” ව්‍යාපෘතියට බැර කරන බවත් ප්‍රකාශ කළේය.

මෙහි දී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, ඩිලන්ත ආ ගමන කටුක දුෂ්කර ගමනක් බවත් එය අනාගත ක්‍රීඩකයන්ට හොඳ පූර්වාදර්ශයක් වන  බවයි. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ රටේ ව්‍යාපාරික ප්‍රජාවගේ අවධානය ඩිලන්තට හිමි විය යුතු බවයි. එක් තරගයකට යන වියදම ආසන්න වශයෙන් රු. ලක්ෂ 100ක් පමණ වන බැවින් තව තවත් අනුග්‍රාහකයන්ගේ අනුග්‍රාහකත්වය ඔහුට ලැබිය යුතු බවත් ඔහු පැවසීය. මීට අමතරව ක්‍රීඩා ඇමතිතුමන් ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියට ඩිලන්ත ලබා දෙන දායකත්වය අගය කළ අතර තව තවත් රට වෙනුවෙන් කීර්තිය ගෙන ඒමට හැකි සියලු උපකාර තම අමාත්‍යාංශය වෙනුවෙන් ලබා දෙන බව ද පවසා සිටියේය.

තම සන්නාමය සහිත නව ප්‍රදර්ශනාගාරය නිල වශයෙන් විවෘත කිරීම වෙනුවෙන් තිළිණයක් ද ක්‍රීඩා ඇමතිතුමා වෙත පිළිගැන්වීම මෙහි දී සිදු විය.

ThePapare.com අපි ද ඩිලන්ත මාලගමුවගේ සියලු සිහින ඒ ආකාරයෙන්ම ඉටු වී අප රට ජාත්‍යන්තරයේ බබළවන්නට තව තවත් ශක්තිය ධෛර්‍ය්‍ය ලැබෙවායි ප්‍රාර්ථනා කරමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<