Yorkshire හිටපු නායකයා කළමනාකාරිත්වයේ රෙදි ගලවයි!

1053

එංගලන්ත ක්‍රිකට් වංශකථා පොතේ සාර්ථකම ක්‍රීඩා සමාජ කිහිපය අතරින් Yorkshire කණ්ඩායමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

එංගලන්ත පළමු පෙළ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව 33 වතාවක් තම නම ඉදිරියේ සටහන් කරගෙන ඇති Yorkshire කණ්ඩායම Joe Root, Jonny Bairstow, Ryan Sidebottom සහ Tim Bresnan වැනි කීර්තිමත් ක්‍රීඩකයින් රැසක් ජාතික තලයට දායක කළ සුප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයකි.

කෙසේ නමුත් ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන Yorkshire ක්‍රීඩා සමාජයේ ගමන් මඟට දැවැන්ත කළු පැල්ලමක් එකතු කරන සිදුවීමක් පසුගිය දින කිහිපය තුල ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ සමේ පැහැය පදනම් කර ගනිමින් කණ්ඩායම  තුල සිදු වුනු වර්ගවාදී සහ බෙදුම්වාදී  අපයෝජනයන් සාමන්‍යකරණය වී ඇති බවට උදාහරණ සහිතවම පෙන්වා දෙමිනි.

Yorkshire කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙකු වන Azeem Rafiq එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් නායකත්වය දැරූ ළාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වී තිබෙන්නේ ඔහුගේ දක්ෂතා දේශීය තරග බිමෙන් ඔබ්බට ද විහිදුවාලමිනි.

එංගලන්ත වයස අවුරුදු 15න් සහ 19න් පහළ කණ්ඩායම් දෙකම නායකත්වය ලබා දී ඇති Rafiqගේ විශේෂත්වය වන්නේ පාකිස්තාන සම්භවයකට උරුමකම් කීව ද එම කාරණාව තමන් නියෝජනය කරන එංගලන්ත කණ්ඩායමට උපරිමය ලබා දීමේ දී හේතු සාධකයක් බවට පත් කර නොගැනීමයි.

නමුත් පසුගිය දා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවති විභාගයක දී ඉතාමත් සංවේදී වූ Azeem Rafiq හැඬූ කඳුලින් පවසා සිටියේ කොතරම් ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කීවත් Yorkshire කණ්ඩායම නියෝජනය කළ කාලසීමාව තුල දී මුහුණ පෑමට සිදු වූ ජාතිවාදී අපයෝජනයන් සහ හිරිහැර කිරීම් ඉතාමත් කටුක සහ අප්‍රසන්න අත්දැකීම් ගොන්නක් වූ බවයි.

තම කණ්ඩායමේ සඟයින් කිසිදු පැකිළීමකින් තොරව එළිපිටම ජාතිවාදී ප්‍රකාශයන් සිදු කරනා විට කළමනාකාරිත්වය ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ආකාරය ඉතාමත් පිළිකුල්සහගත බව Rafiq අවධාරණය කර සිටියේය.

පාර්ලිමේන්තුවට අයත් පොදු සභික තේරීම් කාරක සභාව ඉදිරියේ Rafiq  තම අත්දැකීම් බෙදා ගත්තේ මේ අයුරිනි.

“මුල් කාලයේ දී මම ඇතුළුව ආසියානු සම්භවයක් තිබුණ ක්‍රීඩකයෝ ගොඩක් දෙනෙක් මේ අයගේ ගොදුරු බවට පත්වුනා. ඔවුන් කියපු සමහර දේවල් නිසා අපි ගොඩක් දෙනෙක් මානසිකව වැටුණා. ඒ කියපු හැමදෙයක්ම ගණනකට නොගෙන පිළිගන්න මට්ටමට කළමනාකාරිත්වයත් ඇස් කන් පියාගෙන ඉන්න ගත්ත නිසා අපි හැමෝම තව තවත් අපහසුතාවට පත් වුනා.”

මෙම උද්ගතව ඇති තත්වය නිසාවෙන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය Yorkshire ක්‍රීඩා සමාජය තුල ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබූ සියලුම අන්තර්ජාතික තරග තාවකාලිකව අවලංගු කර දැමීමට කටයුතුකොට ඇති නමුත් පසුගිය මාසයේ දී Yorkshire කළමනාකාරිත්වය දැඩි ස්ථාවරයක පසුවෙමින් අවධාරණය කර සිටියේ Rafiqගේ මෙම චෝදනාව පදනම් කරගනිමින් තම ක්‍රීඩා සමාජයේ කිසිදු සේවකයෙකුට, ක්‍රීඩකයෙකුට හෝ විධායක නිලධාරියෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් තවමත් පැන නැඟී නොමැති බවයි.

2017 වර්ෂයේ දී පූර්ව තරගවාර සංචාරයක් අතරතුර දී තම කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සෙසු ක්‍රීඩකයින් ඉදිරියේ තමන් අපහසුතාවට පත් කළ අයුරු ප්‍රකාශ කර සිටියේ මේ අයුරිනි.

“Gary Balance මාත් එක්ක කථා කර කර හිටපු අනික් ක්‍රීඩකයා ගාවට ඇවිත් කිව්වා ‘ ඇයි ඔයා මෙයත් එක්ක කථා කරන්නේ? මොහු වැඩකට නැති නිකමෙක්. මෙයා ශෙයික් කෙනෙක් කියලා හිතුව ද ඔච්චර පස්සෙන් යන්නේ. මෙයාට තෙල් නිධියක් නැහැ.’ කියලා. මට ඒ සිදුවීම මතක් කරද්දී අදටත් ලොකු ලැජ්ජාවක් සහ කනගාටුවක් දැනෙනවා. මම ඔවුන්ට කරපු වරද මොකක්ද?”

මෙම චෝදනාව එල්ල වූ හිටපු එංගලන්ත ක්‍රීඩක Gary Ballance සති දෙකකට පෙරාතුව මෙසේ සිදු වූවා යැයි කියන සිද්ධිය  සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ සමීප මිතුරන් අතරේ විහිළුවට මෙන් සිදු කර ගන්නා වචන හුවමාරුවකට එහා ගිය අර්ථයකින් තමන් කිසිවක් නොපැවසූ බවත් එය එසේ සිදු කළේ නම් එවැන්නක් සාධාරණීකරණය කිරීම නුසුදුසු බවත්ය.

“හොඳම යාළුවන් අතරේ පොඩි පොඩි බහින් බස් වීම්, විහිළුවට කරන අපහාසාත්මක ප්‍රකාශ තියෙන්න පුළුවන්. නමුත් ඒක පමණ ඉක්මවා ගිහින් අනෙක් කෙනා අපහසුතාවට ලක්වෙන මට්ටමට යනවා මම ඒක කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.”

Rafiq විසින් ගොනු කරන ලද චෝදනා 43ක් සම්බන්ධයෙන් 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී යෝක්ෂයර් ක්‍රීඩා සමාජය විසින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කෙරුණු අතර, ඒවායින් චෝදනා හතක් තෝරාගනිමින් පසුගිය අඟහරුවාදා (16) දිනයේ දී නඩු විභාගය පැවැත්වීමට කටයුතුකොට තිබුණි.

මෙම ක්‍රියාදාමය සිදු වන අතරතුර දී ඉතාමත් සංවේදී වූ Rafiq ප්‍රකාශ සටහන් කරගන්නා අවස්ථා කිහිපයක දී ම හැඬු කඳුලින් තමන්ට මුහුණු පෑමට සිදු වූ අමිහිරි අත්දැකීම් විස්තර කර සිටියේ ක්‍රීඩාව තුල සැඟව තිබෙන ඇතැම් ඍණාත්මක කරුණු කාරණා සම්බන්ධයෙන් සමාජ අවධානය යොමු කිරීමට කාලය පැමිණ ඇති බවට රතු එළියක් දල්වාලමිනි.

“එක අවස්ථාවක දී වෙරි මත නිසා මම ක්‍රීඩා සමාජය ඇතුලෙදී ඇඳගෙන වැටුණා. ඔවුන් එකතු වෙලා මට වයින් පෙව්වා. හරියටම කිව්වොත් බලහත්කාරයෙන් මට වයින් පෙව්වා! ඒ අදාළ ක්‍රීඩකයා Yorkshire සහ Hampshire කණ්ඩායම් දෙකම නියෝජනය කළ කෙනෙක්. මම 2012 වගේ කාලය වෙනකන් මත්පැන් පානය කළ කෙනෙක් නෙමෙයි. නමුත් ඊට පස්සේ මේ අයත් එක්ක පෑහෙන්න අවශ්‍ය නිසා ඒ දේටත් යොමු වෙන්න අකමැත්තෙන් වුනත් සිදු වුනා.”

“මම 100% පරිපූර්ණ කෙනෙක් නෙමෙයි. නමුත් මගේ සිහින වලට යද්දී ඒවා ළඟා කරගන්න මට ගොඩක් මම ආස දේවල් කැප කරගන්න වගේම ආස නැති දේවල් මගේ ජීවිතයට ළං කරගන්න සිදු වුනා. සමහර දේවල් ගැන හැරිලා බලද්දී මම මගේ කනගාටුව ප්‍රකාශ කරන්න කැමති නමුත් හැමදෙයටම ජාතිවාදය ඉස්මතු කරගෙන මගේ ආත්ම ගෞරවය කෙළසා දැමීම කියන කාරණයේ දී මම කීයටවත් සමාව භාජනය කළ යුතු නැහැ.”

“අවසානයට මට කියන්න තියෙන්නේ ක්‍රිකට් විතරක් නෙමෙයි ගොඩක් ක්‍රීඩා ඇතුළේ මේ ප්‍රශ්නය සෑහෙන්න උඩුදුවලා තියෙන්නේ.  වින්දිතයාට සවන් දෙනවා වෙනුවට ගොඩක් තැන්වල කරන්නේ ඔහුගේ හෝ ඇයගේ හඬ යටපත් කරලා තමන්ගේ මතය සාධාරණීකරණය කරන එක.  ජාතිවාදය කියන කාරණාවේ දී ‘ඔව් නමුත්’ කියලා පැතිකඩ දෙකක් නැහැ. වරද වරදම තමයි.”

Yorkshire ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිළධාරිවරයා මේ මාසයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට කටයුතුකොට තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<