හිටපු පාකිස්තාන ක්‍රීඩකයෙකුගෙන් IPL හා PSL පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

2947
Ex-Pakistan cricketer gives verdict on IPL vs PSL debate

මෑත කාලීනව අනෙකුත් තරග ආකෘතීන් හා සංසන්දනය කිරීමේ දී විස්සයි විස්ස ක්‍රිකට් තරග කෙරෙහි වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිව තිබෙන්නේ කෙටි කාලසීමාවක් තුළ උපරිම රසාස්වාදයක් ක්‍රීඩාලෝලීන් හට අත්විඳීමේ අවස්ථාව සලසා දෙන, ඉතාමත් උද්වේගකර තරග ආකෘතියක් ලෙස ජනතාව අතරට ගමන් කිරීමත් සමඟිනි.

මේ නිසාවෙන්ම ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන පෙළේ බොහෝ රටවල් ඔවුන්ටම ආවේණික වූ විස්සයි විස්ස ලීග් තරගාවලි හඳුන්වා දී තිබෙන්නේ වෙනස් වන අවශ්‍යතාවන් තේරුම් ගනිමින් ඊට ගැළපෙන විසඳුම් ලබා දීමේ අරමුණෙනි.

ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීගය (IPL) සහ පාකිස්තාන සුපර් ලීගය (PSL) වැනි දැඩි ප්‍රේක්ෂක ප්‍රසාදයක් හිමි කර ගත් වාණිජමය වටිනාකමින් ඉහළ තරගාවලි නියෝජනය කිරීම සඳහා ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් ද දක්වන්නේ දැඩි උනන්දුවකි.

PSL සහ IPL තරගාවලි දෙක සසඳා බැලීමේ දී වඩාත් ඉදිරියෙන් සිටින්නේ කුමන ලීග් තරගාවලිය ද යන කාරණය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් මේ වන විට විවිධ මත පළකර ඇත. මෙම කතිකාවත සඳහා එකතු වෙමින් සිය ස්ථාවරය පැහැදිලි කර සිටි හිටපු පාකිස්තාන පා දඟපන්දු යවන ක්‍රීඩක Danish Kaneria සඳහන් කර තිබුණේ මෙවැන්නක්.

“IPL තරගාවලිය කියන්නේ සම්පූර්ණයෙන්ම වෘත්තීය මට්ටමෙන් ක්‍රියාත්මක වන ලොව ප්‍රමුඛතම T20 ලීග් තරගාවලියක්. හැම IPL තරගවාරයක දී ම නවක මුහුණු රැසක් ජාත්‍යන්තර තරග බිමට හඳුන්වා දෙන්න ඔවුන් සමත් වෙනවා වගේම එතැනින් නවතින්නේ නැතුව තවදුරටත් ජාතික කණ්ඩායම දක්වා රැගෙන ඒමට අවශ්‍ය අඩිතාලම BCCI (Board of Control for Cricket in India) සකස් කරලා දෙනවා.”

“PSL තරගාවලිය ගැන කතා කළොත් සිද්ධ වෙන්නේ මේකෙ අනිත් පැත්ත. PSL වලින් ඇත්තටම පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි ගමනට ලොකු දායකත්වයක් ලැබෙනවා කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒකට වගකියන්න ඕන අදූරදර්ශි පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකලාපයන්. ඔවුන්ට මේ ගැන හරි සැලසුමක් නැති එක ගැන පැහැදිලිවම පේනවා. මොකද කවුරු හරි තරුණ ක්‍රීඩකයෙක් දක්ෂතා අතරට ආවොත් එතැනින් එහාට ඔහුව රැකබලා ගත යුතු ආකාරය ගැන හරියාකර වැඩපිළිවෙළක් ඔවුන් සතුව නැහැ.”

Kaneria මෙම අදහස් පළකර තිබුණේ පාකිස්තාන ක්‍රීඩා නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර දී වීම ද විශේෂත්වයක්. IPL තරගාවලියේ 15 වැනි අදියර මේ දිනවල ඉන්දියාවේ දී ක්‍රියාත්මක වෙමින් පවතින අතර මෙවර තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා වැඩි ඉඩකඩක් පවතින්නේ කුමන කණ්ඩායම් දෙකට දැයි ඇසූ පැනයට පිළිතුරු ලබා දුන්නේ මේ අයුරින්.

“T20 තරග ආකෘතියේ දී එහෙම එක කණ්ඩායමකට වැඩි වාසි තියෙනවා කියලා කියන්න අමාරුයි. නමුත් කණ්ඩායම් සංයුතින් සලකලා බැලුවම Chennai Super Kings සහ Mumbai Indians කණ්ඩායම් දෙක ඉදිරියෙන් සිටිනවා. මේ අදියර ක්‍රීඩා කරන්න අළුත් කණ්ඩායම් දෙකකුත් එකතු වෙලා ඉන්නවා. ඔවුන්වත් කිසිසේත්ම අවතක්සේරු නොකළ යුතුයි.”

“IPL කියන්නේ ඕනෑම ක්‍රීඩකයෙකු ඉතාමත් කැමැත්තෙන් ක්‍රීඩා කරන්න ආස කරන තරගාවලියක්. අපි දැක්කා සමහර දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් ජාත්‍යන්තර තරගාවලි පවා මඟහරිමින් IPL තරගාවලියට සහභාගී වෙන්න ඉන්දියාවට පැමිණෙනවා.”

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<