යළිත් Euro දිනන්න වත්මන් ශූර පෘතුගාලයට හැකි වෙයි ද?

168

වත්මන් යුරෝපා පාපන්දු ශූරයින් වන ප්‍රබල පෘතුගාලය මෙවර ද තරගාවලියට පිවිසෙන්නේ එය ජයග්‍රහණය කිරීමට ඉහළ හැකියාවක් ඇති කණ්ඩායම් අතරින් එකක් ලෙසයි. 

යුරෝපා පාපන්දු ශූරතාවලි ඉතිහාසය 

Euro පාපන්දු ශූරතාවලි ඉතිහාසය තුළ පෘතුගාලය මේ දක්වා සටහන් කරගෙන ඇති ඉහළ ම දක්‍ෂතාවය පසුගිය 2016 වසරේ පැවති තරගාවලියේ දී වාර්තා වන්නට වූයේ ඔවුන් එහි ශූරතාවය දිනා ගැනීමත් සමඟයි. 

ඒ අනුව එහි අවසන් මහා තරගයේ දී Eder විසින් අතිරේක කාලයේ දී වාර්තා කරගත් විශිෂ්ට ගෝලය හරහා ගෝල 1-0ක් ලෙස ප්‍රබල ප්‍රංශ කණ්ඩායම පරාජයට පත්කරමින් ඔවුන් එම ජයග්‍රහණය වාර්තා කරගන්නට විය. 

www.thestar.com

තවදුරටත් 2004 වසරේ පෘතුගාලයේ දී ම පැවති Euro තරගාවලියේ ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට ඔවුන් සමත් වුවත් එහි දී ග්‍රීසිය හමුවේ ගෝල 0-1ක පරාජයක් අත්විඳීමත් සමඟ ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය. එමෙන්ම 1984, 2000 සහ 2012 වසරවල පැවති තරගාවලිවල අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබා ගන්නට ද ඔවුන් සමත් වී ඇත. 

මේ දක්වා ගමන්ගම

2016 වසරේ දී Euro ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව පෘතුගාලය කැපී පෙනෙන දස්කම් දක්වමින් මේ වන විට ලෝක පාපන්දුවේ ප්‍රබලත ම කණ්ඩායමක් ලෙස ඉදිරියට පැමිණෙන්නට සමත්ව ඇත. 

2018 පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත්ව යාමට සිදුවීමත් සමඟ එම ඉහළ දක්‍ෂතා එහිදී ප්‍රදර්ශනය කරන්නට ඔවුන් අසමත් වුනත් අනතුරුව පැවති 2018-19 අභිනව UEFA ජාතීන්ගේ ලීග් තරගාවලියේ ශූරතාවය තමන් සතුකර ගන්නට ඔවුන් සමත් වූයේ අවසන් මහා තරගයේ දී නෙදර්ලන්තය ගෝල 1-0ක් ලෙස පරාජයට පත්කරමිනි. 

www.en.as.com

පෘතුගාලයේ මෙම සාර්ථකත්වය පසුපස 2014 වසරේ සිට කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරමින් කටයුතු කරනු ලැබුවේ Fernando Santos ය. 

කෙසේ නමුත් Euro සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණෙන්නට අපොහොසත් වූ ඔවුන් එළඹෙන තරගාවලිය සඳහා සිය සුදුසුකම තහවුරු කරගනු ලැබුවේ ‘B’ කාණ්ඩයෙන් යුක්රේනයට දෙවැනි වෙමිනි. 

ඒ අනුව එහි දී පැවති තරග 8න් ඔවුන් ජයග්‍රහණය කරන්නට සමත් වූයේ තරග 5ක් පමණක් වන අතර අනෙක් පසින් තවත් එක් තරගයක් ඔවුන් පරාජයට පත්වන්නට විය. එම පරාජය යුක්රේනයට එරෙහිව වාර්තා වන්නට වූයේ ගෝල 1-2ක් ලෙසයි. කෙසේ නමුත් එම තරගාවලිය තුළ ලිතුවේනියාවට එරෙහිව පැවති තරග දෙක ගෝල 5-1 සහ 6-0 බැගින් ජයග්‍රහණය කරමින් පෘතුගාලය කැපී පෙනෙන දක්‍ෂතා දක්වනු ලැබීය.  

පසුගිය දා අවසන් වූ ජාත්‍යන්තර සුහද තරගවල දී පළමුව ස්පාඤ්ඤය සමඟ පැවති තරගය ගෝල විරහිතව ජය-පරාජයෙන් තොරව අවසන් වන්නට වුවත් අනතුරුව ඊශ්‍රායලය සමඟ පැවති තරගය ගෝල 4-0ක් ලෙස ඔවුන් පහසුවෙන් ජයග්‍රහණය කරන්නට සමත් විය. 

පුහුණුකරු සහ ක්‍රීඩා ශෛලිය

පෘතුගාලය මේ දක්වා අත්පත් කරගෙන තිබෙන සාර්ථකත්වයට ඉවහල් ව ඇති ප්‍රධාන සාධකයක් ලෙස ඔවුන්ගේ පුහුණුකරු Santos පෙන්වා දිය හැකිය. පුහුණුකරුවෙකු ලෙස දශක 3කටත් වඩා වැඩි අත්දැකීම්වලින් සමන්විතව සිටින ඔහු එහි දී මේ වන විට වසර 11ටත් වැඩි කාලයක් ජාතික පාපන්දු කණ්ඩායම්වල පුහුණුකාරීත්වය දරා ඇත. 

මේ ඔහු පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමට පුහුණුකාරීත්වය ලබා දෙන 7 වැනි වසර වන අතර දීර්ඝ කාලයක් පුරාවට එහි ක්‍රීඩකයින් සමඟ කටයුතු කිරීමට ඔහුට ලැබී ඇති අවස්ථාව ඉදිරි තරගාවලියේ දී ඔවුන්ට තීරණාත්මක සාධකයක් වනු ඇති බව නොඅනුමාන ය.  

www.marca.com

සමස්තයක් ලෙස බොහෝ අවස්ථාවන් වලදී ඔහු යොදාගනු ලබන්නේ 4-2-3-1 පද්ධතියකි. ඒ හරහා කණ්ඩායමට සෑම තරගයක දී ම ඉතා නම්‍යශීලී ක්‍රීඩා රටාවක් අනුගමනය කිරීමට මඟපෑදෙන අතර තවදුරටත් ස්ථාවර පසුපෙළක් සහ ආක්‍රමණශීලී ඉදිරිපෙළක් අතර මනා සංකලනයක් ද පවත්වා ගැනීමේ අවස්ථාව සැලසේ. 

සමහර අවස්ථාවන් වලදී ඔහු අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික ක්‍රීඩා විලාශය කෙරෙහි මෙන්ම පෘතුගාලය සතුව ඇති ඉතා ශක්තිමත් ඉදිරිපෙළින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඔහු දක්වන මැළිකම කෙරෙහි ද Santosට විවේචන එල්ල වන්නට වුණත් අවශ්‍ය අවස්ථාවන් වලදී කණ්ඩායම ඉහළ දක්ෂතා අතරට රැගෙන එමින් ජයග්‍රහණ කරා රැගෙන යන්නට තමන් සතුව සුවිශේෂී හැකියාවක් ඇති බව ඔහු මේ වන විට අවස්ථාවන් රැසක දීම තහවුරු කරන්නට සමත්ව ඇත. 

ඔහු මේ දක්වා පෘතුගාලය සමඟ පුහුණුකාරීත්වය දරා ඇති තරග 86 තුළ ජයග්‍රහණ 53ක් වාර්තා කරගනිද්දී ඔවුන් පරාජයට පත්ව ඇත්තේ තරග 13ක් පමණි. ඒ අනුව 2016 Euro සහ 2018-19 ජාතීන්ගේ ලීග් ශූරතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එළඹෙන Euro තරගාවලියේ දී ද කණ්ඩායම තවත් ශූරතාවයක් කරා රැගෙන යාමට ඔහු බලාපොරොත්තුවෙන් පසුවනු ඇති බවට කිසිඳු සැකයක් නොමැත. 

ප්‍රබලතාවයන් සහ දුර්වලතාවයන්

වත්මන් පාපන්දු ක්‍රීඩාව තුළ සිටින ප්‍රබලත ම ක්‍රීඩකයෙකු වන ඔවුන්ගේ නායක Cristiano Ronaldo කණ්ඩායම තුළ සිටීම පෘතුගාලයට තරගාවලිය පුරාවට විශාල වාසියක් වනු ඇත. කෙසේ නමුත් ඔවුන්ට තරග ජයග්‍රහණය කිරීම සඳහා ඔහු මත ම යැපීමට සිදු නොවේ. 

ඒ ඔවුන්ගේ කණ්ඩායමේ සෑම ස්ථානයක් ම ඉතා දක්ෂ පාපන්දු ක්‍රීඩකයින් ගෙන් සමන්විත වී තිබීම හේතුවෙනි. ඒ අනුව කිසිඳු විවාදයකින් තොරව පෘතුගාලය මෙවර Euro තරගාවලියට එක්වන ප්‍රබලත ම සංචිත අතරින් එකක් ලෙස පෙන්වා දිය හැකිය. තවදුරටත් ඔවුන් ඉහළ සංචිත ගැඹුරකින් ද සවිමත්ව සිටීම Santos හට තරගාවලිය තුළ දී අතිශය වැදගත් වනු ඇත. 

සමස්තයක් ලෙස ඔවුන්ගේ ඉදිරිපෙළ Ronaldo, Bernardo Silva, Joao Felix, Diogo Jota සහ Andre Silva හා අනෙක් පසින් මැදපෙළ Bruno Fernandes, Danilo Pereira, William Carvalho, Ruben Neves සහ Renato Sanches වැනි ප්‍රමිතියෙන් ඉහළ ක්‍රීඩකයින්ගෙන් සමන්විතව තිබීම ඔවුන්ට මනා පිටිවහලක් වනු නිසැක ය. 

AP

පෘතුගාලයේ පසුපෙළ Ruben Dias, Raphael Guerreiro සහ Joao Cancelo වැනි දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එකක් වුනත් කණ්ඩායමේ අනෙක් පැතිකඩවලට සාපේක්‍ෂව සමස්තයක් ලෙස එය ප්‍රමිතියෙන් තරමක් අඩු බවක් හඳුනා ගත හැක.

Dias සමඟ centre-back සබඳතාවය සම්පූර්ණ කිරීමට සිටින අනෙක් ක්‍රීඩකයා වන Pepe මේ වන විට 38 වන වියේ පසුවීමත් සමඟ ඔහුට සිය උපරිම දක්‍ෂතා අතරට ළඟා වීමේ හැකියාවක් නොමැත. එමෙන්ම ඔවුන්ගේ ප්‍රධානත ම ගෝල රකින්නන් වන Rui Patricio සහ Anthony Lopes ද මේ වන විට සිය උපරිම දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත්ව සිටී. 

තවදුරටත් පෘතුගාලය මෙවර Euro තරගාවලියට එක්වන්නේ අනෙක් ප්‍රබල කණ්ඩායම් ද්විත්වයක් වන ප්‍රංශය සහ ජර්මනියෙන් සැදුම්ලත් ‘F’ කාණ්ඩයෙනි. ඒ අනුව තරගාවලිය ආරම්භයේ සිට ම අඛණ්ඩ දක්‍ෂතා දැක්වීම ඔවුන්ට එහිදී තීරණාත්මක වනු ඇත. 

තවත් කියවන්න;

වැදගත් සහ නැඟීඑන ක්‍රීඩකයින්

පසුගිය තරග වාරයේ දී ඉතාලියේ Juventus කණ්ඩායම සමඟ Serie A තරගාවලියේ ගෝල 29ක් රැස්කරමින් කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ සුපිරි ක්‍රීඩක Ronaldo ඉදිරි තරගාවලියේ දී ඔවුන්ගේ වැදගත් ම ක්‍රීඩකයා වනු ඇති බවට කිසිඳු සැකයක් නොමැත. ඒ අනුව ඔහුගේ ගෝල වාර්තා කරගැනීමේ හැකියාව මෙන්ම සමස්ත ක්‍රීඩා විලාශය ද එහි දී කණ්ඩායමට අතිශය තීරණාත්මක වේ. 

Reuters

Manchester United සමඟ පසුගිය තරග වාරයේ සියලුම තරගාවලිවල දී ගෝල 24ක් සහ පන්දු පිරිනැමීම් 16ක් සටහන් කරගත් Bruno Fernandes මැදපෙළ ඔවුන්ගේ වැදගත් ම ක්‍රීඩකයා වෙද්දී ඔවුන්ගේ පසුපෙළ ප්‍රබලත ම ක්‍රීඩකයා වන්නේ Manchester City සමඟ එක්වෙමින් පසුගිය තරග වාරයේ ප්‍රිමියර් ලීගයේ දක්‍ෂත ම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබූ Dias ය. 

තරුණ ක්‍රීඩකයින් දෙදෙනක් වන Felix සහ Sanches දෙදෙනා ම ඔවුන්ගේ සිය පාපන්දු සමාජ සමඟින් ලීග් කිරුළු ජයග්‍රහණය කරමින් කැපී පෙනෙන දක්‍ෂතා ප්‍රදර්ශනය කරන්නට සමත් වූ අතර ඒ අනුව ඉදිරි තරගාවලියේ දී නැඟී එන ක්‍රීඩකයින් ලෙස ඔවුන් දෙදෙනාගේ දායකත්වය ද පෘතුගාලයට අතිශය තීරණාත්මක වනු ඇති බව නොඅනුමාන ය. 

සංචිතය

ගෝල රකින්නන්: Anthony Lopes (Lyon), Rui Patriício (Wolves), Rui Silva (Granada)

පසුපෙළ ක්‍රීඩකයින්: Joao Cancelo (Man City), Nelson Semedo (Wolves), Jose Fonte (Lille), Pepe (Porto), Reben Dias (Man City), Nuno Mendes (Sporting CP), Raphael Guerreiro (Bprussia Dortmund)

මැදපෙළ ක්‍රීඩකයින්: Danilo Pereira (PSG), Joao Palhinha (Sporting CP), Ruben Neves (Wolves), Bruno Fernandes (Man Utd), Joao Moutinho (Wolves), Renato Sanches (Lille), Sergio Oliveira (Porto), William Carvalho (Real Betis)

ඉදිරිපෙළ ක්‍රීඩකයින්: Pedro Goncalves (Sporting CP), Andre Silva (Eintracht Frankfurt), Bernardo Silva (Man City), Cristiano Ronaldo (Juventus), Diogo Jota (Liverpool), Goncalo Guedes (Valencia), Joao Felix (Atletico Madrid), Rafa Silva (Benfica)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<