අගාධයට යමින් තිබූ මෙරට කෙටිදුර ධාවන ක්ෂේත්‍රයට නව ජීවයක් එක්කළ හිටපු මලල ක්‍රීඩක ශෙහාන් අඹේපිටියට පසු, වසර ගණනාවක් පුරාවට මෙරට මෙන්ම දකුණු ආසියානු කෙටිදුර පිටිය ද සිය ආධිපත්‍යට නතුකර ගැනීමට සමත් වූ ඔහු නමින් හිමාෂ ඒෂාන්‍ ය.

1995 කළුතර දී උපත ලැබූ හිමාෂ දොඩංගොඩ මිරිස්වත්ත ජාතික පාසලෙන් මලල ක්‍රීඩා දිවිය ආරම්භ කරන ලදි. එහි දී දැක්වූ දස්කම් නිසාවෙන් කළුතර විද්‍යාලයට යෑමට වරම් ලද හිමාෂ දිනෙන් දින සිය දස්කම් වැඩි දියුණු කරගනිමින් දේශීය මෙන්ම ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දස්කම් දැක්වීමට සමත් විය.

මෙවර Photo Story ලිපිය වෙන්වන්නේ දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ද වෙමින් හිමාෂ මෙතෙක් ආ ගමනේ දී කැමරා කාචයේ සටහන් වූ සේයා රූ කිහිපයක් වෙනුවෙනි.

  1. කනිෂ්ඨ පිටියේ සිටම ඉහළ දස්කම්

Himasha Eshanපාසල් ක්‍රීඩා පිටියේ සිටම කෙටිදුර ධාවනයේ ඉහළ දස්කම් දැක්වූ හිමාෂ 2013 කනිෂ්ඨ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 ලෝකඩ පදක්කමත්, මීටර් 200 සහ 100X4 රන් පදක්කමත් දිනා ගැනීමට සමත් වූ අතර 2014 ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ මීටර් 100 රිදී පදක්කමත් දිනා ගැනීමට ද සමත් විය.

2. ජාතික මලල ක්‍රීඩා පිටියේ ආධිපත්‍ය

ජාතික කනිෂ්ඨ ක්‍රීඩා පිටියේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ හිමාෂ 2014 වසරේ සිට වසර ගණනාවක්ම ජාතික කෙටිදුර පිටියේ මීටර් 100 ශූරතාව රැක ගනිමින් ජාතික කෙටිදුර පිටියේ ආධිපත්‍ය පැතිර වීමට සමත් විය.

3.  යුද හමුදා පිටියේ දස්කම් 

Himasha Eshanශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා සංචිතය සමඟ එක්වූ හිමාෂ යුද හමුදා මලල ක්‍රීඩා පිටියේ ද ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර මෙරට නියෝජනය කරමින් Military World Games තරගාවලිය නියෝජනය කිරීමට ද ඔහු වරම් දිනා ගන්නා ලදි.

4. ජාත්‍යන්තර කෙටිදුර පිටියේ ඉහළ දස්කම්

Himasha Eshanඉතා ඉක්මනින්ම ජාත්‍යන්තර කෙටිදුර ධාවන පිටියේ දස්කම් දැක්වීමට සමත් වූ හිමාෂ Singapore Open Championship, Asian Grand Prix Thailand, Vietnam open athletic championship වැනි ජාත්‍යන්තර පිටියේ තරග රැසක ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

5. සහය දිවීමේ ජාතික වාර්තාව බි හෙලීම

Himasha Eshan2015 වසරේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100X4 සහය දිවීමේ තරගය නියෝජනය කළ හිමාෂ ඇතුළු කණ්ඩායම එම තරගය තත්පර 39.38 කාලයකින් අවසන් කරමින් ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් විය.

6. දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා

Himasha Eshan

2016 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ හිමාෂ එහි මීටර් 100 ඉසව්ව තත්පර 10.28ක කාලයකින් අවසන් කරමින් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වීමට සමත් විය.

7. පොදුරාජ්‍ය මණ්ඩලීය පිටියේ මුල්ම වරට අවසන් වටයට

කේවල ඉසව්වන්ගේ මෙන්ම සහය දිවීමේ ද ඉහළ දස්කම් දැක්වූ හිමාෂ සිය අනෙකුත් ක්‍රීඩකයන් සමඟ එක්වෙමින් 2015 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මුල්ම වතාවට මීටර් 100X4 අවසන් වටයට තේරීමට සමත් වූ අතර එහි දී තත්පර 39.08 කාලයකින් ඉසව්ව අවසන් කරමින් ජාතික වාර්තාව නැවත වරක් බිඳ හෙලීමට ද ඔවුන් සමත් විය.

8. දකුණු ආසියානු වාර්තාව බිඳ හෙලීම

Himasha Eshan

2019 වසරේ පැවති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිත තේරීමේ තරග සඳහා සහභාගි වූ හිමාෂ මීටර් 100 ඉසව්ව තත්පර 10.22ක කාලයකින් අවසන් කරමින් ජාතික මෙන්ම දකුණු ආසියානු වාර්තාව ද බිඳ හෙළීමට සමත් විය.

9. ජාතික පිටියේ ආධිපත්‍ය රැකගැනීම

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තේරීම් සඳහා පැවති 97 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේදී මීටර් 100 ඉසව්ව සඳහා ඉදිරිපත් වූ හිමාෂ එම ඉසව්ව තත්පර 10.49 කින් අවසන් කරමින් ජයගැනීමට සමත්විය.

10. දකුණු ආසියාවේ කිරුළ අහිමි වීම

Himasha Eshan

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ හිමාෂ එහි මීටර් 100 ඉසව්ව තත්පර 10.50ක කාලයකින් අවසන් කිරීමට සමත්වූවත් මාලදිවයින් ක්‍රීඩකයාට දෙවැනි වෙමින් තරගය අවසන් කිරීමට ඔහුට සිදු විය.

අවසන් කාලසීමාවේ දී හිමාෂ තරමක පසුබෑමකට ලක්වූවත් ඔහු තවමත් මෙරට කෙටිදුර ධාවනයේ වෙනසක් සිදු කිරීමට හැකියාව ඇති ඉතාමත් ධෛර්යමත් ක්‍රීඩකයෙකි. ඔහුගේ ක්‍රීඩා ගමනේ ඉදිරිය සුබවාදී වී නැවතත් ඔහුගේ රිද්මයට පැමිණීමට හිමාෂට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com සුබපතන්නෙමු.

තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<