මංගල ජාත්‍යන්තර ශූරතාවය දිනා ගන්නට මාන බලන බෙල්ජියම

Euro 2020

303

FIFA ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන බෙල්ජියම ඔවුන්ගේ පළමු ජාත්‍යන්තර කුසලානය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් 2020 යුරෝපා පාපන්දු ශූරතාවලියට ප්‍රවේශ වේ.  

යුරෝපා පාපන්දු ශූරතාවලි ඉතිහාසය 

බෙල්ජියම යුරෝපා පාපන්දු ශූරතාවලියක දී දැක්වූ ඉහළ ම දක්‍ෂතාවය 1980 වසරේ දී සටහන් වූ වූයේ ඔවුන් එහි දී තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමත් සමඟයි. ඒ අනුව තරගාවලිය තුළ ඉහළ දස්කම් දක්වමින් ඔවුන් එහි දී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුනත්, තියුණු තරගයකින් අනතුරුව ගෝල 2-1ක් වශයෙන් ඔවුන් බටහිර ජර්මනි කණ්ඩායම හමුවේ එය පරාජයට පත්වන්නට විය. 

ඡායාරූපය: Getty Images
ඡායාරූපය: Getty Images

එමෙන්ම 1972 වසරේ තම රට තුළ පැවති යුරෝපා පාපන්දු ශූරතාවලියේ දී ඔවුන් 3 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ අතර අවසන් වරට පැවති 2016 වසරේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී වේල්සය හමුවේ ගෝල 3-1ක නොසිතූ පරාජයකට මුහුණ දීමත් සමඟ ඔවුන්ට තරගාවලියෙන් ඉවත්ව යාමට සිදු විය. 

මේ දක්වා ගමන්මග

2016 යුරෝපා පාපන්දු ශූරතාවලියේ දී බෙල්ජියම අපේක්‍ෂිත දක්‍ෂතා මට්ටම කරා ළඟා වීමට අපොහොසත් වීමත් සමඟ ඒ වනවිට ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Marc Wilmots සිය ධූරයෙන් ඉවත් කොට ස්පාඤ්ඤ ජාතික Roberto Martinez එම ධූරය සඳහා පත්කිරීමට කටයුතු කෙරිණ. ඒ අනුව Martinez මේ වන විට බෙල්ජියම් පාපන්දු කණ්ඩායම පාපන්දු ලොව ප්‍රබලතම කණ්ඩායමක් දක්වා ඉදිරියට රැගෙන ඒමට සමත්ව ඇත. 

2016 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් ඔවුන් එහි 3 වන ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ තරගාවලියේ 3 වන ස්ථානය තේරීම සඳහා පැවති තරගයේ දී එංගලන්තය ගෝල 20ක් ලෙස පරාජයට පත්කරමිනි. මෙය බෙල්ජියම් පාපන්දු කණ්ඩායමක් ලෝක කුසලාන ඉතිහාසය තුළ දැක්වූ ඉහළ ම දක්‍ෂතාවය ලෙස ද වාර්තා පොත් අතරට එක් වන්නට විය.

ඡායාරූපය: www.dawn.com
ඡායාරූපය: www.dawn.com

යුරෝපා පාපන්දු ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ‘I’ කාණ්ඩයෙන් තරග වැදුණු ඔවුන් එහි දී සහභාගී වූ තරග 10ම ජයග්‍රහණය කරමින් සම්පූර්ණ වාර්තාවක් සහිතව සිය සුදුසුකම තහවුරු කරගන්නට සමත් විය.

ඉතාලියට අමතරව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සියලුම තරග ජයග්‍රහණය කළ අනෙක් එකම කණ්ඩායම බෙල්ජියමයි. එමෙන්ම එම තරගාවලිය තුළ ඉහළ ම දක්‍ෂතා දැක්වූ කණ්ඩායම ලෙස ද බෙල්ජියම හඳුනා ගත හැක්කේ ඔවුන් එහි දී කණ්ඩායමක් වාර්තා කර ගත් සමස්ත ඉහළ ම ගෝල සංඛ්‍යාව වන ගෝල 40ට සහ ප්‍රතිවාදීන් හට සම අවම සමස්ත ගෝල සංඛ්‍යාවක් ලබා දුන් ගෝල 3ට හිමිකම් කීමත් සමඟ යි. 

තවදුරටත් එම වටයේ ඔවුන් සැන් මැරීනෝ සහ සයිප්‍රස් කණ්ඩායම්වලට එරෙහිව පිළිවෙළින් ලබා ගත් ගෝල 9-0ක සහ 6-1ක දැවැන්ත ජයග්‍රහණ ද එහි දී කැපී පෙනෙන්නට විය. 

ඒ අනුව බෙල්ජියම අඛණ්ඩව තරග 9ක් අපරාජිතව මෙවර යුරෝපා ශූරතාවලිය වෙත පිවිසෙන නමුත් ඔවුන් පසුගිය දා සහභාගී වූ ජාත්‍යන්තර සුහද තරගවල දී ඔවුන්ගේ සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණෙන්නට සමත් වූයේ නැත. ඒ ග්‍රීසිය සමඟ පැවති තරගය ගෝල 1-1ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් වීමත්, අනතුරුව ක්‍රොඒෂියාව සමඟ පැවති තරගයෙන් ඔවුන් ගෝල 1-0ක ජයක් පමණක් ලබාගැනීම හේතුවෙනි. 

පුහුණුකරු සහ ක්‍රීඩා ශෛලිය

බෙල්ජියම වර්තමානයේ අත්කරගෙන තිබෙන සාර්ථකත්වයේ ගෞරවයෙන් වැඩි කොටසක් ඔවුන්ගේ පුහුණුකරු Martinezට හිමි විය යුතු බව පැවසීමේ වරදක් නොමැත. බෙල්ජියමේ ප්‍රධාන පුහුණුකරු ලෙස 2016 වසරේ දී පත්වීමට පෙර Martinez එංගලන්තයේ Swansea City, Wigan Athletic සහ Everton පාපන්දු සමාජවල පුහුණුකාරීත්වය දරා තිබූ අතර සිය පුහුණුකාර දිවියේ ආරම්භයේ සිට මේ දක්වා ම ඔහු අනුගමනය කර ඇත්තේ පන්දුව තම කණ්ඩායම සතුව වැඩි වේලාවක් තබා ගනිමින් ක්‍රීඩා කරන ක්‍රීඩා ශෛලියකි.

ඡායාරූපය: www.vbetnews.com 
ඡායාරූපය: www.vbetnews.com

ඔහු බෙල්ජියමේ ප්‍රබල ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා සහ හැකියාවන් වලින් උපරිමය ලබා ගැනීමට සමත්ව ඇති අතර අනෙක් පසින් තරගවල දී සිය උපායශීලීත්වය මනා ලෙස යොදා ගනිමින් තරගය ඉදිරියට යන ආකාරය විශ්ලේෂණය කොට ඊට අනුකූලව කණ්ඩායමේ ක්‍රීඩා රටාව ඉක්මණින් වෙනස් කිරීමට ද විශේෂ හැකියාවක් ඔහු පෙන්නුම් කරයි. 

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ බෙල්ජියම මේ දක්වා තරග 53කට සහභාගී වී ඇති අතර ඉන් තරග 43ක ම ජයග්‍රහණය ඔවුන් තහවුරු කරගනිද්දී පරාජයට පත්ව ඇත්තේ තරග 4ක් පමණි. 

ඒ අනුව Martinezගේ ක්‍රීඩා ශෛලිය සහ උපාය මාර්ග ඔවුන්ට විශාල සාර්ථකත්වයක් ළඟාකර ඇති අතර බෙල්ජියම මේ වනවිට අඛණ්ඩව වසර දෙකකටත් අධික කාලයක් FIFA ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ද තහවුරු කරගැනීමට සමත්ව සිටී. 

එළඹෙන යුරෝපා පාපන්දු ශූරතාවලියේ දී Martinez ඔහු සිය සුපුරුදු 3-4-3 ක්‍රමවේදය භාවිතා කරනු ඇතැයි අපේක්‍ෂිත අතර ඔවුන් මුහුණ දෙන තරග වලට අනුව එය 3-4-2-1 ක්‍රමවේදයක් දක්වා මාරු කිරීමේ හැකියාව ද පවතී. 

ප්‍රබලතාවයන් සහ දුර්වලතාවයන්

බෙල්ජියම මෙවර යුරෝපා පාපන්දු ශූරතාවලිය වෙත ප්‍රවේශ වන්නේ වත්මන් පාපන්දු ලොව සිටින දරුණුත ම ඉදිරිපෙළක් සහිතව ය. ඒ අනුව Romelu Lukaku, Eden Hazard, Dries Mertens සහ Kevin De Bruyne වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ඔවුන්ගේ ප්‍රහාරාත්මක බලඇණිය සමඟ කරට කර තරග කළ හැකි වෙනත් කණ්ඩායම් ඇත්නම් ඒ ඉතා ස්වල්පයකි. 

Hazard හැරුණුකොට අනෙක් සියලුම ක්‍රීඩකයින් ඔවුන්ගේ පාපන්දු සමාජ සමඟ පසුගිය තරග වාරයේ දී කැපී පෙනෙන දක්‍ෂතා ප්‍රදර්ශනය කිරීමත් සමඟ ඔවුන් එළඹෙන තරගාවලිය සඳහා මනා සූදානමකින් සිටින බව ද හඳුනා ගත හැක.

ඡායාරූපය: Getty Images
ඡායාරූපය: Getty Images

කෙසේ නමුත් ප්‍රබල ක්‍රීඩක Hazard පසුගිය කාලය පුරාවට ආබාධවලට මුහුණ දීම හා ඒ හේතුවෙන් සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීම සහ De Bruyne පසුගිය දා ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔවුන්ට කණ්ඩායමට සිය උපරිම දායකත්වය ලබා දීමට හැකි වේ දැයි යන ප්‍රශ්නාර්ථය ද මේ වන විට මතුව තිබේ. 

Thibaut Courtois වැනි ඉතා දක්ෂ ගෝල රකින ක්‍රීඩකයෙකු සිටීම බෙල්ජියම් කණ්ඩායමට විශාල වාසියක් වුවත් සමස්තයක් ලෙස ඔවුන්ගේ පසුපෙළ එතරම් ශක්තිමත් නොවේ. එහි ක්‍රීඩා කරන Jan Vertonghen සහ Toby Alderweireld මේ වන විට ඔවුන්ගේ වෘත්තීය ක්‍රීඩා දිවියේ අවසාන කාලය කරා ළඟා වෙමින් සිටින අතර අනෙක් පසින් centre-back ක්‍රීඩක Jason Denayer ද බෙල්ජියම වෙනුවෙන් මේ දක්වා එතරම් කැපී පෙනෙන දක්‍ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත්ව නොමැත. 

තවදුරටත් බෙල්ජියමේ පළමු පෙළ කණ්ඩායම දක්‍ෂතාවලින් පිරිපුන් ඉතා ශක්තිමත් එකක් වුවත් හදිසියේ එම ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුවහොත් හෝ එසේත් නැත්නම් තරගයක් අතරතුර ආදේශන සිදුකිරීමේ දී එම දක්‍ෂතා වලට සමාන වෙනත් ක්‍රීඩකයින් ඔවුන්ගේ සංචිතය තුළින් සොයාගැනීමේ ගැටලුවකට ද ඔවුන් මුහුණ දී සිටී. 

ප්‍රංශය සහ පෘතුගාලය වැනි තරගාවලිය තුළ අනෙක් ප්‍රබල කණ්ඩායම් සලකා බැලීමේ දී ඔවුන්ගේ සමස්ත සංචිතය ම එක හා සමාන දක්‍ෂතා වලින් සමන්විත වුවත් බෙල්ජියම් සංචිතයේ පළමු පෙළ ක්‍රීඩකයින් සහ අනෙක් ක්‍රීඩකයින් අතර දක්‍ෂතා අතින් විශාල පරතරයක් දැක ගත හැකි අතර එය ඔවුන්ට තරගාවලියේ ඉදිරියට යාමේ දී අභියෝගයක් වනු නොඅනුමාන ය. 

කෙසේ නමුත් යුරෝපා පාපන්දු ශූරතාවලියට B කාණ්ඩයෙන් එක්වන ඔවුන් එහි සිටින අනෙක් කණ්ඩායම් වන ඩෙන්මාර්කය, රුසියාව සහ ෆින්ලන්තය අභිබවමින් තරගාවලියේ ඉදිරියට යනු ඇතැයි අපේක්‍ෂා කළ හැක. 

වැදගත් ම සහ නැඟී එන ක්‍රීඩකයින්

De Bruyne මේ වන විට ඔහුගේ අඛණ්ඩ දක්‍ෂතා හරහා නායක Hazard කණ්ඩායමේ ප්‍රධාන ම ක්‍රීඩකයා ලෙස අභිබවා ඇති බව හඳුනාගත හැකි අතර ඒ අනුව ඔහු එළඹෙන තරගාවලියට ප්‍රවිෂ්ට වන්නේ එංගලන්තයේ Manchester City කණ්ඩායම සමඟ පසුගිය තරග වාරයේ දී Premier League සහ League Cup කුසලාන සහ තවදුරටත් UEFA ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අනුශූරතාවය ද ජයග්‍රහණය කරමින් එහිදී තරග වාරය පුරාවට ම විශිෂ්ට දක්‍ෂතා දැක්වීමෙන් අනතුරුව යි. 

මේ වන විට පාපන්දු ක්‍රීඩාව තුළ සිටින විශිෂ්ටතම මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස සිය නාමය ස්ථාපිත කරගෙන සිටින ඔහු සිය අඛණ්ඩ දක්‍ෂතා හමුවේ 2020-21 PFA ක්‍රීඩකයින්ගේ ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර ඒ අනුව Martinezගේ සැලසුම් වල ප්‍රධාන ම ක්‍රීඩකයා ඔහු වනු ඇති බවට සැකයක් නොමැත.

UEFA ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයේ දී ඔහු ආබාධයකට මුහුණ දුන්නත් යුරෝපා ශූරතාවලියට ක්‍රීඩා කිරීමට ඔහු සුවය ලබනු ඇති බව අපේක්‍ෂිත වේ. 

ඡායාරූපය: www.teahub.io 
ඡායාරූපය: www.teahub.io

අනෙක් පසින් ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩක Lukaku මේ වන විට සිය පාපන්දු දිවියේ ඉහළ ම දක්‍ෂතා අතරට ළඟා වීමට සමත්ව ඇත්තේ පසුගිය තරග වාරයේ දී ඉතාලියේ Inter Milan කණ්ඩායම Serie A ලීග් කිරුළ වෙත රැගෙන යමින් එහි දී ගෝල 24ක් සහ තවත් පන්දු පිරිනැමීම් 24ක් ද තම නම ඉදිරියේ සටහන් කරගනිමිනි.

ඒ අනුව ඔහු එම ලීග් තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර ඔහුගේ ගෝල වාර්තා කිරීමේ හැකියාව බෙල්ජියමට තරගාවලිය පුරාවට අතිශය වැදගත් වනු ඇති බව නොඅනුමාන ය. 

තවදුරටත් නායක Hazard මේ වන විට සිය උපරිම දක්‍ෂතා අතර නොසිටියත් ඔහු ද එළඹෙන තරගාවලියේ දී ඉහළ දක්‍ෂතා දක්වනු ඇතැයි බෙල්ජියම බලාපොරොත්තු වනු ඇත. 

තවද පසුගිය තරග වාරය තුළ යුරෝපයේ ප්‍රධාන පෙළේ පාපන්දු ලීග් තරගාවලි 5 තුළ ක්‍රීඩකයෙකු ලබා ගත් වැඩිම සාර්ථක ‘dribble’ සංඛ්‍යාව වන 110 වාර්තා කරගනු ලැබූ ක්‍රීඩකයා වන 19 වැනි වියේ පසුවන Rennes ක්‍රීඩක Jeremy Doku බෙල්ජියම වෙනුවෙන් ඉදිරි තරගාවලියේ දී විශේෂ අවධානයක් දිනා ගනු ඇති ක්‍රීඩකයා ලෙස පෙන්වා දිය හැකිය. 

සංචිතය

ගෝල රකින්නන් – Thibaut Courtois (Real Madrid), Simon Mignolet (Club Brugge), Mats Selz (RC Strasbourg Alsace)

පසුපෙළ ක්‍රීඩකයින් – Toby Alderweireld (Tottenham), Dedryck Boyata (Hertha Berlin), Jason Denayer (Lyon), Thomas Vermaelen (Vissel Kobe), Jan Vertonghen (Benfica)

මැදපෙළ ක්‍රීඩකයින් – Timothy Castagne (Leicester), Nacer Chadli (Istanbul Başakşehir), Yannick Carrasco (Atlético Madrid), Kevin De Bruyne (Manchester City), Leander Dendoncker (Wolves) Thorgan Hazard (Dortmund), Thomas Meunier (Borussia Dortmund), Dennis Praet (Leicester), Youri Tielemans (Leicester), Hans Vanaken (Club Brugge), Axel Witsel (Borussia Dortmund)

ඉදිරිපෙළ ක්‍රීඩකයින් – Michy Batshuayi (Crystal Palace), Christian Benteke (Crystal Palace), Jérémy Doku (Rennes), Eden Hazard (Real Madrid), Romelu Lukaku (Inter Milan), Dries Mertens (Napoli), Leandro Trossard (Brighton)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<