ඉහළ බලාපොරොත්තු සහිතව Euro එන ප්‍රබල එංගලන්තය

188

Gareth Southgateගේ පුහුණුකාරීත්වය යටතේ ඉහළ දක්‍ෂතා අතරට පැමිණ සිටින එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායම මෙවර Euro 2020 පාපන්දු ශූරතාවලියට පිවිසෙන්නේ 1966 වසරෙන් පසු සිය පළමු ජාත්‍යන්තර කුසලානය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. 

යුරෝපා පාපන්දු ශූරතාවලි ඉතිහාසය 

එංගලන්තය යුරෝපා පාපන්දු ශූරතාවලියක් තුළ මේ දක්වා ප්‍රදර්ශනය කර ඇති ඉහළ ම දක්‍ෂතාවය සටහන් වූයේ ඔවුන් තරගාවලිය සඳහා පළමු වරට සුදුසුකම් ලබා ගනු ලැබූ 1960 වසරේ දීය. ඒ අනුව එහි 3 වැනි ස්ථානය තේරීම සඳහා පැවති තරගයේ දී ඔවුන් සෝවියට් සංගමය නියෝජනය කළ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජයට පත්කරමින් තරගාවලියේ 3 වැනි ස්ථානය තහවුරු කරගැනීමට සමත් විය. 

තවදුරටත් 1996 වසරේ දී එංගලන්තය යළිත් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගන්නට සමත් වුවත් එහිදී ජර්මනිය ඔවුන් පරාජයට පත්කරමින් දඬුවම් පහර 5-6ක ජයග්‍රහණයක් සනිටුහන් කරගැනීමත් සමඟ ඔවුන්ට තරගාවලියෙන් ඉවත්ව යන්නට සිදුවිය. 

මේ දක්වා ගමන්මග 

මීට පෙර පැවති Euro 2016 තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ දී අයිස්ලන්තය හමුවේ ගෝල 1-2ක නොසිතූ පරාජයකට මුහුණ දෙමින් තරගාවලියෙන් ඉවත්ව යාමත් සමඟ ඒ වන විට ඔවුන්ගේ පුහුණුකාරීත්වය දැරූ Roy Hodgson සිය ධූරයට සමුදෙනු ලැබීය. අනතුරුව Sam Allardyce ඒ සඳහා පත්කෙරුනත් එරට පාපන්දු සංගමයේ නීතිරීති කඩකිරීමේ සිද්ධියකට අදාළව මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඔහුට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය. 

මේ වන විට කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරන Southgate එම තනතුර සඳහා පත්කෙරුණේ ඉන් අනතුරුව යි. ඔහු යටතේ එංගලන්ත කණ්ඩායම 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබා ගන්නට ද සමත් විය. ඒ එංගලන්තය 1990 වසරෙන් පසුව ලෝක කුසලනයක එතරම් දුරක් ගමන් කළ පළමු අවස්ථාව වීම විශේෂත්වයකි. එහි දී එම තරගය සහ අනතුරුව පැවති 3 වැනි ස්ථානය තේරීමේ තරගය ඔවුන් පරාජයට පත්වන්නට වුවත් තරගාවලිය පුරාවට එංගලන්තය දැක්වූ දක්‍ෂතාවයන් බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක්වන්නට විය. 

Reuters

Euro 2020 සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ දී ද ඉහළ දක්‍ෂතා ප්‍රදර්ශනය කළ ඔවුන් එහි පැවති තරග 8න් 7ක් ම ජයග්‍රහණය කරමින් ‘A’ කාණ්ඩයේ පෙරමුණ ගනු ලැබීය. ඔවුන් එහි දී ලැබූ එකම පරාජය චෙක් ජනරජ කණ්ඩායම හමුවේ ගෝල 1-2ක් ලෙස වාර්තා වූ නමුත් එහි දී එම කණ්ඩායම් දෙක අතර පැවති පළමු තරගයෙන් එංගලන්තය ගෝල 5-0ක දැවැන්ත ජයක් හිමිකර ගන්නට සමත් විය. තවදුරටත් මොන්ටෙනීග්‍රෝ සහ බල්ගේරියා කණ්ඩායම් හමුවේ ඔවුන් පිළිවෙළින් වාර්තා කර ගත් ගෝල 7-0 සහ 6-0 ජයග්‍රහණ එහි දී කැපී පෙනෙන්නට විය. 

එංගලන්තයේ මෙම කැපී පෙනෙන දක්‍ෂතාවයන් මෑතක දී අවසන් වූ ජාත්‍යන්තර සුහද තරගවල දී දැකගන්නට නොලැබුණත් එම තරග දෙකේ දී ද ගෝල 1-0 බැගින් ඔවුන් ඔස්ට්‍රියාව හා ආර්මේනියාව හමුවේ ජයග්‍රහණය සනිටුහන් කරගන්නට සමත් විය.

පුහුණුකරු සහ ක්‍රීඩා ශෛලිය

Euro 1996 තරගාවලියේ ජර්මනිය හමුවේ පැවති අවසන් පූර්ව තරගයේ දී එංගලන්තයට තරගයේ පරාජය අත්කරදුන් අවසන් දඬුවම් පහර මඟහැරුණේ ඔවුන්ගේ වත්මන් පුහුණුකරු Southgateට වන අතර ඒ අනුව එම වරද නිවැරදි කරගනිමින් කණ්ඩායමට මෙම තරගාවලියේ ශූරතාවය හිමිකරදීමට ඔහු සිය උපරිම උත්සාහය දරනු නොඅනුමාන ය. 

Getty Images

සමස්තයක් ලෙස පන්දුව තම කණ්ඩායම සතුව වැඩි වේලාවක් තබා ගනිමින් ක්‍රීඩා කරන ක්‍රීඩා ශෛලියක් අනුගමනය කරන ඔහු බොහෝ විට ඊට උචිත 4-3-3 ක්‍රමවේදයක් යොදාගනු ලබයි. තවදුරටත් ඔහු ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් කරා කණ්ඩායම යොමුකරන අතර එංගලන්තයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහුට ලැබුණු පත්වීම සාධාරණීකරණය කිරීමට තරම් ප්‍රමාණවත් දක්‍ෂතා පාපන්දු සමාජ පුහුණුකරුවෙකු ලෙස ඔහු ඊට පෙර දක්වා තිබුණේ නැතත් එංගලන්ත කණ්ඩායම සමඟ ඔහු මේ දක්වා පෙන්නුම් කර ඇති උපායශීලීත්වය සහ සැලසුම් ඊට හොඳින් ම ප්‍රමාණවත් වේ. 

තවදුරටත් එංගලන්ත පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් තුළ කණ්ඩායම් හැගීම සහ මානසික එකමුතුභාවය වැඩිදියුණු කිරීමේ දී ද Southgate ඉතා සුවිශේෂී නායකත්වයක් පෙන්නුම් කර ඇත. කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් සමඟ සමස්තයක් ලෙස ඉතා සුහදශීලීව කටයුතු කරන ඔහු පුහුණුකරුවෙකු ලෙස දක්වන කලබල නොමැති ස්වභාවය සහ නිහතමානීත්වය බොහෝදෙනාගේ ඇගයීමට ද ලක්ව ඇත. 

එංගලන්තය මේ වනවිට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර ඔහු මේ දක්වා කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරා ඇති තරග 55න් තරග 35ක් ම ඔවුන් ජයග්‍රහණය කරද්දී පරාජයට පත්ව ඇත්තේ තරග 10ක් පමණි.

ප්‍රබලතාවයන් සහ දුර්වලතාවයන්

මෙම එංගලන්ත කණ්ඩායමේ සුවිශේෂී ම පැතිකඩ වන්නේ ඔවුන්ගේ ශක්තිමත් සහ ආක්‍රමණශීලී ඉදිරිපෙළ යි. ඒ අනුව නායක Harry Kane සහ Marcus Rashford වැනි ඉතා දක්‍ෂ ගෝල වාර්තා කරන්නන්ට අමතරව Raheem Sterling, Jadon Sancho සහ Jack Grealish වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගේ නිර්මාණශීලී ක්‍රීඩා විලාශයෙන් ඔවුන් තවදුරටත් සවිමත්ව සිටී. 

Sky Sports

සමස්තයක් ලෙස ගත්කළ මෙවර තරගාවලියට එක්වන එංගලන්ත කණ්ඩායම දක්‍ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයින් ගෙන් සමන්විත කණ්ඩායමක් වීම හරහා Southgate හට සිය ක්‍රීඩකයින් තරගයෙන් තරගයට උචිත පරිදි මාරුකිරීමටත්, අවශ්‍ය අවස්ථාවන් වලදී තීරණාත්මක ක්‍රීඩක ආදේශ සිදුකිරීමටත් අවස්ථාව හිමිව ඇත. කෙසේ නමුත් ප්‍රබල centre-back ක්‍රීඩක Harry Maguire මෙන්ම කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින්නා වනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළ Dean Henderson ආබාධයකට ලක්ව සිටීමත් සමඟ ඔවුන්ගේ පසුපෙළ සැලකිය යුතු මට්ටමකට දුර්වල වී ඇත. තවදුරටත් ප්‍රබල මැදපෙළ අත්දැකීම් බහුල දක්ෂ ක්‍රීඩකයෙකු වන Jordan Henderson මේ වන විට තවමත් ආබාධයකින් සුවය ලබමින් සිටී. 

එමෙන්ම මෙම සංචිතය තුළ එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 50කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇත්තේ Kane, Jordan Henderson, Sterling සහ Kyle Walker යන ක්‍රීඩකයින් සිව්දෙනා පමණි. අනෙක් පසින් මෙම එළඹෙන තරගාවලිය සංචිතයේ ක්‍රීඩකයින් 16 දෙනෙකුගේ පළමු ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලිය යි. ඒ අනුව මෙම තරගාවලියට එක්වන දෙවැනි තරුණත ම සංචිතය එංගලන්තය සතුවන අතර මෙම අත්දැකීම් අඩු තත්වය ද තීරණාත්මක තරග වලදී ඔවුන්ට අවාසි සහගත විය හැක. 

තවදුරටත් වෙනත් ප්‍රබල කණ්ඩායම් හමුවේ එංගලන්තය පසුගිය කාලය පුරාවට එතරම් ඉහළ දක්‍ෂතා දක්වා නොමැති අතර තරගාවලිය තුළ පිළිමළුන් පිටුදැකීමේ තරග වට වලට යාමේ දී එය ද ඔවුන්ට ගැටලුවක් වනු ඇත. 

වැදගත් ම සහ නැඟීඑන ක්‍රීඩකයින්

නායක Kane පසුගිය ප්‍රිමියර් ලීග් තරග වාරය තුළ ගෝල 23ක් සහ පන්දු පිරිනැමීම් 14ක් වාර්තා කරගනු ලැබුවේ තරගාවලිය තුළ එම අංශ දෙකේම ඉහළ ම වාර්තාවන් තම නම ඉදිරියේ සටහන් කරගනිමින්. ඒ අනුව නිසැකව ම ඔහු Southgateගේ සැලසුම්වල ප්‍රධානත ම ක්‍රීඩකයා වනු ඇති අතර ඔහුගේ විශිෂ්ට ගෝල ලබා ගැනීමේ හැකියාව මෙන්ම සමස්ත දායකත්වය ද තරගාවලිය තුළ කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත. 

Reuters

තවදුරටත් Grealish ද පසුගිය තරග වාරය තුළ Aston Villa කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දක්‍ෂතා ප්‍රදර්ශනය කළ අතර ඔහුගේ නිර්මාණශීලීත්වය ද තරගාවලිය පුරාවට තීරණාත්මක වනු නොඅනුමාන ය. මැදපෙළ ක්‍රීඩක Jordan Henderson සිය ආබාධයෙන් ඉක්මණින් සුවය ලබා සිය උපරිම දක්‍ෂතා කරා ළඟාවනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වනු ඇති අතර කණ්ඩායමේ පසුපෙළ ශක්තිමත් කිරීමේ දී John Stonesගේ ක්‍රීඩා විලාශය ද එහි දී අතිශය වැදගත් වනු ඇත. 

පසුගිය ප්‍රිමියර් ලීග් තරග වාරයේ විශිෂ්ටත ම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානය මෙන්ම PFA විශිෂ්ටත ම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබූ 21 හැවිරිදි Manchester City ක්‍රීඩක Phil Foden සහ අනෙක් පසින් Leeds පාපන්දු සමාජයේ මැදපෙළ ක්‍රීඩක Kalvin Phillips එළඹෙන Euro තරගාවලියේ දී ඔවුන්ගේ නැඟීඑන ක්‍රීඩකයින් ලෙස දක්‍ෂතා දක්වනු ඇතැයි අනුමාන කළ හැක. 

සංචිතය

ගෝල රකින්නන් – Aaron Ramsdale (Sheffield United), Sam Johnstone (West Brom), Jordan Pickford (Everton)

පසුපෙළ ක්‍රීඩකයින් – Ben Chilwell (Chelsea), Conor Coady (Wolves), Reece James (Chelsea), Harry Maguire (Manchester United), Tyrone Mings (Aston Villa), Luke Shaw (Manchester United), John Stones (Manchester City), Kieran Trippier (Atletico Madrid), Kyle Walker (Manchester City), Ben White (Brighton)

මැදපෙළ ක්‍රීඩකයින් – Jude Bellingham (Borussia Dortmund), Jordan Henderson (Liverpool), Mason Mount (Chelsea), Kalvin Phillips (Leeds), Declan Rice (West Ham)

ඉදිරිපෙළ ක්‍රීඩකයින් – Dominic Calvert-Lewin (Everton), Phil Foden (Man City), Jack Grealish (Aston Villa), Harry Kane (Tottenham), Marcus Rashford (Manchester United), Bukayo Saka (Arsenal), Jadon Sancho (Borussia Dortmund), Raheem Sterling (Man City)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<