Ronaldo ඉතිහාසගත වෙයි; ජර්මනියෙන් ප්‍රංශයට ගෝලයක්

Euro 2020

146
Hungary v Portugal & France v Germany

වසරේ උත්කර්ෂවත් පාපන්දු තරගාවලියක් වන “Euro 2020” පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් (F කාණ්ඩයේ) මෙරට වේලාවෙන් අද (16) උදෑසන සහ ඊයේ (15) රාත්‍රියේ දී නිමාව දුටුවා. 

එහි දී හංගේරියාව පරාජය කරමින් පෘතුගාලයත්, ජර්මනිය පරාජය කරමින් ප්‍රංශයත් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා. මේ ඔවුන් Euro 2020 තරගාවලියේ ලබා ගත් පළමු ජයග්‍රහණයයි.

Hungary v Portugal

හංගේරියාවේ සත්කාරකත්වය ඇතිව Budapest හි Puskás Aréna පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වුන මෙම තරගයෙන් ගෝල 3-0ක ජයග්‍රහණයක් ලබා ගන්නට Cristiano Ronaldo ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායමට හැකියාව ලැබුණා. 

මෙම තරගය Ronaldo හට ඉතාමත් සුවිශේෂි තරගයක් වූයේ Euro තරගාවලි ඉතිහාසයේ වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩකයින් අතර පෙරමුණ දිනා ගන්නට ඔහුට හැකි වීම නිසායි. 

තරගය ආරම්භයේ පටන්ම Hungary ගෝල රකින්නා වන Péter Gulácsi විසින් ඉතාමත් දක්ෂ ලෙස පෘතුගාලයේ ආසන්නතම ගෝල වාර්තා කිරීම් කිහිපයක් සාර්ථකව වළක්වන්නට සමත් වුනා.

Ronaldoගේ වාර්තාගත ගෝලය තරගයේ 45 වැනි මිනිත්තුවේ දී වාර්තා වීම ඉඩ තිබුනත්, Ronaldo විසින් එල්ල කළ පහරක් සමඟ පන්දුව ගෝලයේ ඉහළ කෙළවරින් ඉවතට විසිව ගියේ ගෝලයක් වාර්තා කරන්නට තිබූ හොඳම අවස්ථාවක් ද අපතේ යවමින්. ඒත් සමඟම ප්‍රථම අර්ධය නිමාව දුටුවේ 0-0ක් ලෙසයි.

කණ්ඩායම් ද්විත්වයම කිසිදු වෙනසක් නොමැතිව දෙවැනි අර්ධයට පිවිසි අතර ආරම්භයේ දීම ලද පැතිපහරක් සාර්ථකව වළක්වන්නට Gulacsi සමත් වුනේ පෘතුගාල ගෝල පිපාසය තවත් වැඩි කරමින්.

තරගයේ ප්‍රථම ගෝලයේ පහස විඳින්නට පෘතුගාලය සමත් වුනේ 84 වැනි මිනිත්තුවේ දීයි. Rafa Silva විසින් ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝලයේ වම් පස කෙළවරින් දැල තුළට එල්ල කරන්නට Raphaël Guerreiro සමත් වුනේ මෙතෙක් වේලා දක්ෂ ගෝල රැකීමක නිරත වූ Gulacsiගේ උත්සාහය අපතේ යවමින්.

ඉන් මිනිත්තු දෙකකට පමණ පසුව පෘතුගාලයට දඬුවම් පහරක් ලැබුණු අතර 87 වැනි මිනිත්තුවේ දී හංගේරියා ගෝල රකින Gulacsi මුලා කරමින් සාර්ථකව දඬුවම් පහර ගෝලයක් බවට පත් කරන්නට Ronaldo සමත් වුනේ Euro තරගාවලි ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස Ronaldo ඉතිහාසගත වෙමින්.

Cristiano Ronaldo RecordsRonaldo විසින් එලෙස බිඳ දැමුවේ පාපන්දු ලෝකයේ පැරණි වාර්තාවක් වන අතර මින් පෙර Euro තරගාවලි ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස සැලකුණේ ප්‍රංශ ජාතික පාපන්දු ක්‍රීඩකයෙකු වන Michel François Platini ගෝල 9ක් වාර්තා කරමින් තබා තිබූ වාර්තාවයි.

එම ගෝලයෙන් පසුව තරගය සඳහා අතිරේක මිනිත්තු 5ක් ද එක් කෙරුණු අතර Ronaldo විසින් දිනයේ ඔහු වාර්තා කළ දෙවැනි ගෝලය වාර්තා කරන්නට සමත් වුනේ 90+2 වැනි මිනිත්තුවේ දී. 

සාර්ථක පන්දු හුවමාරු කිරීම් කිහිපයක් සමඟින් ගෝලය අසලට පන්දුව රැගෙන ආ Ronaldo සාර්ථකව එය ගෝලය තුලට යොමු කළේ Gulacsiට එම ගෝලය නවතා ගන්නට කිසිදු අවස්ථාවක් ඉතුරු නොකරමින්.

එම ගෝලයත් සමඟින් හංගේරියාව ගෝල 00-03ක් පරාජය කරමින් සාර්ථකව තරගය නිමා කරන්නට වත්මන් ශූරයින් වන පෘතුගාලයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: පෘතුගාලය 03 – 01 හංගේරියාව 

ගෝල ලාභීන්:

  • පෘතුගාලය: Raphaël Guerreiro 84’, Cristiano Ronaldo

France v Germany

ජර්මනියේ සත්කාරකත්වයෙන් Munich හි Allianz Arena පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට ප්‍රංශයට හැකි වුනා.

තරගයේ පළමු මිනිත්තු 10 තුල ජර්මනිය තරගයේ ආධිපත්‍ය තමන් වෙත නතුකර ගනිමින් ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණු අතර ජර්මානු ගෝල රකින ක්‍රීඩක Manuel Neuer විසින් ප්‍රංශයේ ගෝල වාර්තා කිරීම් කිහිපයක් සාර්ථකව වළක්වන්නට සමත් වුනා.

කෙසේ නමුත් තරගයේ 20 වැනි මිනිත්තුවේ දී Lucas Hernandez විසින් රැගෙන ආ පන්දුවක් ගෝල රාමුව ආසන්නයට පැමිණ සිටි Kylian Mbappé වෙත යොමු කළත්, Mbappé නවත්වන්නට ඔහුට ඉදිරියෙන් ගෝල රාමුව අසලට දිව ආ ජර්මානු ආරක්ෂක ක්‍රීඩක Mats Hummelsගේ පාදයේ පන්දුව වැදි දැල් ගත වූයේ ප්‍රංශ ලකුණු පුවරුවට ගෝලයක් එක් කරමින්. 

Mats Hummels Own Goalතරගයේ ප්‍රථම අර්ධය 1-0ක් ලෙස නිමා වූ අතර දෙවැනි අර්ධයට ද කිසිදු වෙනස්කමක් නොකරමින් කණ්ඩායම් දෙකම පිටියට අවතීර්ණ වුනා. කෙසේ නමුත් තරගය අවසන් වන තෙක්ම තවත් කිසිදු ගෝලයක් කණ්ඩායම් දෙකම විසින් වාර්තා නොකර අතර තරගය නිමා වුනේ 1-0ක් ලෙස ප්‍රංශය ජයග්‍රාහකයින් කරමිනුයි.

තරගය අතරතුර කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගන්නට අවස්ථා කිහිපයක් නිර්මාණය වුනත් දෙපිලේම ගෝල රකින්නන් විසින් සාර්ථකව වළක්වන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: ජර්මනිය 00 – 01 ප්‍රංශය

ගෝල ලාභීන්:

  • ප්‍රංශය: Mats Hummels 20’ (OG)

තරගාවලියේ 6 වැනි දිනයේ තරග 3ක් අද පැවැත්වීමට නියමිතයි. Finland v Russia (Krestovsky Stadium, Saint Petersburg), Turkey v Wales (Olympic Stadium, Baku), Italy v Switzerland (Stadio Olimpico, Rome) මෙම තරගවල තරග වාර්තා ඇතුළු සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<