Skriniar සහ Schick ස්ලෝවැකියාව සහ චෙක් ජයග්‍රාහකයින් කරවයි

Euro 2020

167

“Euro 2020” තරගාවලියේ මූලික වටය යටතේ ඊයේ (14) පැවති තරගවලින් ස්පාඤ්ඤය සහ ස්වීඩනය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර අනෙක් තරගවලින් ස්කොට්ලන්තය සහ පෝලන්තය පරදා ජයග්‍රහණ ලබා ගන්නට Slovakia සහ චෙක් ජනරජ කණ්ඩායම්වලට හැකි වුනා.

Scotland – Czech Rep

D කාණ්ඩයේ තරගයක් ලෙස ස්කොට්ලන්තයේ Hampden Park ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය Patrik Schickගේ දස්කම් නිසාවෙන් ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට චෙක් ක්‍රීඩකයන්ට හැකි වුනා.

තරගයේ 42 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව පිටත සිට චෙක් ක්‍රීඩක Vladimir Coufal විසින් යොමු කළ පන්දුවක් ඉතා අලංකාර ලෙස හිසින් ගෝලයට යොමු කරමින් සිය කණ්ඩායම පළමු අර්ධයේ පෙරමුණට ගෙන ඒමට Patrik Schickට හැකි වුනා.

52 වැනි මිනිත්තුවේ දී ස්කොට්ලන්ත ගෝල රකින්නා ගෝල රාමුවට ඉදිරියෙන් සිටි අවස්ථාවක දී නැවත ක්‍රියාත්මක වූ Patrik Schick පිටියේ මධ්‍ය රේඛාව ආසන්නයේ සිට දිගු පන්දු පහරක් ගෝලය තුළට එල්ල කිරීමට සමත් වුනේ නරඹන්නන් පවා විමතියට පත් කරමින්.

තරගය පුරාවට දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් පන්දු පාලනයෙන් ද ඉදිරියෙන් සිටීමට සත්කාරක ස්කොට්ලන්ත ක්‍රීඩකයන් සමත් වූ නමුත් සම්පූර්ණ කාලය අවසන් වනතුරුත් ගෝලයක් ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ස්කොට්ලන්තය 00 – 02 චෙක් ජනරජය 

ගෝල රැස් කළ ක්රීඩකයෝ

  • චෙක් ජනරජය – Patrik Schick 42’ & 52’

Poland – Slovakia 

E කාණ්ඩයේ තරගයක් ලෙස අයර්ලන්තයේ Aviva ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය තියුණු සටනකින් පසු ගෝල 2-1ක් ලෙස ජය ගැනීමට Slovakia ක්‍රීඩකයන් සමත් වුනා.

පළමු අර්ධය ආරම්භයේ සිටම තරමක ආධිපත්‍යක් පැතිරවීමට පෝලන්ත ක්‍රීඩකයන් සමත්වූවත් 18 වැනි මිනිත්තුවේ දී Slovakia ක්‍රීඩක Robert Mak විසින් එල්ල කරන ලද පන්දුවක් ගෝල රාමුවේ වැදී නැවත පැමිණ පෝලන්ත ගෝල රකින ක්‍රීඩක Wojciech Szczesnyගේ ඇගේ වැදීමෙන් අවසනාවන්ත ලෙස ගෝලයට යොමු වුනේ Slovakiaට තරගයේ පළමු ගෝලය ලබා දෙමින්.

එම අර්ධයේ දී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට පෝලන්ත ක්‍රීඩකයන්ට අවස්ථාවක් නොලැබුණු නිසාවෙන් පළමු අර්ධයේ දී ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට Slovakia ක්‍රීඩකයන්ට හැකි වුනා.

පළමු අර්ධයේ සිදු වූ පසුබෑමෙන් පසු ශක්තිමත්ව දෙවැනි අර්ධයට පිවිසි පෝලන්තය වෙනුවෙන්, 47 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ ලද පන්දුවක් දකුණු ගෝල රාමුව අසලින් ගෝලයට එල්ල කරමින් ගෝල තත්වය සම කිරීමට පෝලන්ත ක්‍රීඩක Karol Linetty සමත් වුනා.

සිය කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ Slovakia ක්‍රීඩක Milan Skriniar 69 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ සිට ගෝලය වෙත වේගවත් පහරක් සාර්ථකව එල්ල කරමින් තරගයේ ජයග්‍රාහි ගෝලය රැස් කළා.

අවසන් ලකුණු තත්වය: පෝලන්තය 01 – 02 Slovakia

ගෝල රැස් කළ ක්රීඩකයෝ

  • පෝලන්තය – Karol Linetty 47’
  • Slovakia – Wojciech Szczesny 18’ (OG), Milan Skriniar 69’

Spain – Sweden

E කාණ්ඩයේ තරගයක් ලෙස ස්පාඤ්ඤයේ San Mamés ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී ගෝල රැස්කිරීමට දෙපිලේම ක්‍රීඩකයන් අසමත් වීම නිසා තරගය ගෝල රහිතව අවසන් වුනා.

ආරම්භයේ සිටම තරගයේ පාලනය සියතට ගනිමින් ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ස්පාඤ්ඤය සමත් වූ නමුත් ගෝල ලබා ගැනීමට ඉතා ආසන්න අවස්ථා කිහිපයක් ස්පාඤ්ඤ ඉදිරි පෙළ ක්‍රීඩකයන් අපතේ යැවීම නිසා පළමු අර්ධය ගෝල රහිතව අවසන් වුනා.

දෙවැනි අර්ධයේ ද ඉතා සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ස්පාඤ්ඤ ක්‍රීඩකයින් අවස්ථා කිහිපයක දී ම පන්දුව ගෝලය අසලට ගෙන ඒමට සමත් වූ නමුත් දක්ෂ ගෝල රැකීමක නිරත වූ ස්වීඩන් ගෝල රකින ක්‍රීඩක Robin Olsen පසුකර යාමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

එමෙන්ම එම අර්ධය තුළ ස්වීඩන් ක්‍රීඩකයන් හට ද ගෝල ලබා ගැනීමට අවස්ථා කිහිපයක් ලැබූ නමුත් ඒවා ගෝලයක් බවට පරිවර්තනය කරගැනීමට ඔවුන්ට ද අවස්ථාව හිමි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ස්පාඤ්ඤය 00 – 00 ස්වීඩනය 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්රීඩා පිටුවට <<