තෙවැනි දිනයේ ජයග්‍රහණය එංගලන්තයට, ඔස්ට්‍රියාවට සහ නෙදර්ලන්තයට

Euro 2020

127
England vs Croatia, Austria vs North Macedonia, Netherlands vs Ukraine

යුරෝපා පාපන්දු ශූරයන් සොයා යන “Euro 2020” තරගාවලියේ මූලික වටයේ තවත් තරග කිහිපයක් ඊයේ (13) පැවැත්වුනා.

එහි දී පිළිවෙළින් Croatia, North Macedonia සහ යුක්‍රේන කණ්ඩායම් පරදවමින් ජයග්‍රහණ වාර්තා කිරීමට එංගලන්ත, Austria සහ නෙදර්ලන්ත ක්‍රීඩකයන් සමත් වුනා.

England – Croatia

D කාණ්ඩයේ තරගයක් ලෙස එංගලන්තයේ ලන්ඩන් නුවර Wembley ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ගෝල 1-0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත ක්‍රීඩකයන් සමත් වුනා.

දෙපිලටම සමබර වූ තරගයේ පළමු අර්ධය තුළ ගෝල ලබා ගැනීමට ලද අවස්ථාවන් දෙපිලේම ක්‍රීඩකයන්ට මගහැරීම නිසාවෙන් සහ ප්‍රතිවාදී පසුපෙළ ක්‍රීඩකයන්ගේ දස්කම් නිසාවෙන් එම අර්ධය ගෝල රහිතව අවසන් කිරීමට කණ්ඩායම් ද්විත්වයටම සිදු වුනා.

තරගයේ පළමු ගෝලය වාර්තා කළේ එංගලන්ත ක්‍රීඩක Raheem Sterling විසිනුයි. තරගයේ 57 වැනි මිනිත්තුවේ දී Kalvin Phillips දඬුවම් රාමුවට යොමු කළ පන්දුවකට එල්ල කළ වේගවත් පහරක් Croatia ගෝල රකින්නාගේ අතෙහි වැදී ගෝලයට යොමුවීමෙන් එම ගෝලය ලබා ගැනීමට Sterlingට හැකි වුනා.

තරගය පුරාවටම සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්වීමට ලෝක අනුශූරයන් වන Croatia ක්‍රීඩකයන් සමත් වූ නමුත් ගෝල ලබා ගැනීමට ලැබූ අවස්ථා කිසිවක් සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 01 – 00 Croatia

ගෝල රැස් කළ ක්රීඩකයෝ

  • එංගලන්තය – Raheem Sterling 57

Austria – North Macedonia

රුමේනියාවේ Arena Națională ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ North Macedonia කණ්ඩායම ගෝල  3-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගැනීමට ඔස්ට්‍රියා කණ්ඩායම සමත් වුනා.

තරගයේ 18 වැනි මිනිත්තුවේ දී Marcel Sabitzer ලබා දුන් පන්දුවක් ගෝලයට යොමු කරමින් තරගයේ පළමු ගෝලය රැස් කිරීමට Austria ක්‍රීඩක Stefan Lainer සමත් වුනේ සිය කණ්ඩායමට අවශ්‍ය වූ ආරම්භය ගෙන දෙමින්.

නමුත් එම ගෝලයට පිළිතුරු ලෙස තරගයේ 28 වැනි මිනිත්තුවේදී ගෝලයක් රැසකරමින් ලකුණු තත්වය සම කිරීමට North Macedonia ක්‍රීඩක Goran Pandevට හැකි වුනා. ඒ Austria ගෝල රකින්නා රැකගැනීමට උත්සහ කළ පන්දුවක් ඔහුගෙන් ගිලිහීමත් සමඟ පන්දුව ලබා ගනිමින් ගෝලයට එල්ල කරමින්.

තරගයේ 64 වැනි මිනිත්තුවේ දී Austria ක්‍රීඩක Michael Gregoritsch ප්‍රතිවාදී දඬුවම් සීමාව තුළ සිට හිසින් එල්ල කළ පහරක් අතිදක්ෂ ලෙස වළකාලීමට North Macedonia ගෝල රකින ක්‍රීඩක Stole Dimitrievski සමත් වුනා.

නමුත් තරගයේ 78 වැනි මිනිත්තුවේ දී David Alaba දඬුවම් රාමුවෙන් පිටත සිට දඬුවම් රාමුවට යොමු කළ පන්දුවක් සාර්ථකව ගෝලය වෙත එල්ල කිරීමට Austria ක්‍රීඩක Michael Gregoritsch සමත් වුනේ සිය කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන එමින්.

North Macedonia බලාපොරොත්තු සියල්ල සුන් කරමින් තරගයේ 90 වැනි මිනිත්තුවේ දී තෙවැනි ගෝලය රැස් කිරීමට Austria ක්‍රීඩක Marko Arnautovic සමත්වුනේ Konrad Laimer ලබා දුන් පන්දුවක් ප්‍රතිවාදී පසුපෙළ ක්‍රීඩකයන් සහ ගෝල රකින්නා පසුකරමින් ගෝලයට එල්ල කරමින්.

අවසන් ලකුණු තත්වය: Austria 03 – 01 North Macedonia

ගෝල රැස් කළ ක්රීඩකයෝ

  • Austria – Stefan Lainer 18’, Michael Gregoritsch 78’, Marko Arnautovic 90’
  • North Macedonia – Goran Pandev 28’

Netherlands – Ukraine

C කාණ්ඩයේ තරගයක් ලෙස නෙදර්ලන්තයේ Johan Cruyff Arena හී පැවති මෙම තරගය ඉතා තියුණු සටනකින් පසු ජය ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයන් සමත් වුනා.

තරගයේ පළමු අර්ධයේ ගෝල රැස්කිරීමට ලද අවස්ථාවන් සාර්ථක කරගැනීමට දෙපිළෙහිම ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසා ගෝල රහිතව එම අර්ධය අවසන් කිරීමට සිදු වුනා. පන්දු පාලනය අතින් එම අර්ධයේ වැඩි ගෞරව හිමි වුනේ නෙදර්ලන්තයටයි.

තරගයේ 52 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය රැස් කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක Georginio Wijnaldum සමත් වුනා. යුක්‍රේන ගෝල රකින්නාගේ අතෙහි වැදී නැවත පැමිණි පන්දුව ලබා ගත් Georginio Wijnaldum එය ගෝලය වෙත එල්ල කළේ ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට සිතීමටවත් කාලයක් ඉතුරු නොකරමින්.

එම ගෝලයේ උණුසුම පහව යාමටත් පෙර තරගයේ 61 වැනි මිනිත්තුවේ දී ප්‍රතිවාදී පසුපෙළ ක්‍රීඩකයෙකුගේ වැදී පැමිණි පන්දුවක් දඬුවම් රාමුව තුළ සිට ගෝලයට එල්ල කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක Wout Weghorst සමත් වුනේ තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ලබා දෙමින්.

තරගයේ 75 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවෙන් පිටත සිට ගෝලයට අලංකාර පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමට නැවත තරගයේ දොරගුළු විවිර කරදීමට යුක්‍රේන ක්‍රීඩක Andriy Yarmolenko සමත් වුනා.

එම ගෝලය ලබාගෙන මිනිත්තු කිහිපයක් තුළ නිදහස් පහරක් මගින් ලද පන්දුවක් අලංකාර ලෙස ගෝලයට යොමු කරමින් තරගයේ ගෝල තත්වය සම කිරීමට යුක්‍රේන ක්‍රීඩක Roman Yaremchuk සමත් වුනා. ඒ තරගයේ 79 වැනි මිනිත්තුවේ දීයි.

නමුත් යුක්‍රේන ප්‍රේක්ෂකයන්ගේ සතුට සුළු වේලාවකට සීමා කරමින් තරගයේ 85 වැනි මිනිත්තුවේ දී Nathan Ake දඬුවම් රාමුවට යොමු කළ පන්දුවක් දක්ෂ ලෙස ගෝලයට යොමු කරමින් තරගයේ ජයග්‍රාහී ගෝලය රැස්කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක Denzel Dumfries සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: නෙදර්ලන්තය 03 – 02 යුක්‍රේනය

ගෝල රැස් කළ ක්රීඩකයෝ

  • නෙදර්ලන්තය – Georginio Wijnaldum 52’, Wout Weghorst 61’, Denzel Dumfries 85’
  • යුක්‍රේනය – Andriy Yarmolenko 75’, Roman Yaremchuk 79’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්රීඩා පිටුවට <<