ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තවත් තරගාවලියක්

එංගලන්ත 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

199

ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලි ඉලක්ක කර ගනිමින් යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වැඩි වැඩියෙන් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට, එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සකසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

එක්දින තරග 5ක් ඇතුළත් මෙම තරගාවලියට සහභාගි වීම සඳහා එංගලන්ත යොවුන් කණ්ඩායම නොවැම්බර් 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර තරගාවලිය ජෛව ආරක්ෂිත පරිසරයක පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අවසන් වරට ඔක්තෝබර් මාසයේ දී, යොවුන් ලෝක ශූරයින් වන බංග්ලාදේශය සමඟ තරගාවලියකට ක්‍රීඩා කළ අතර එම තරගාවලිය 5-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

රටේ පැවැති වසංගත තත්ත්වය හමුවේ දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන ලද එම තරගාවලිය සඳහා යොවුන් කණ්ඩායම ක්‍රීඩා කළේ වසර 2කට ආසන්න කාලයකින් පසුව වීම කැපී පෙනුණා.

“අපි අවසන් වරට බංග්ලාදේශයට එරෙහිව පැවති තරගාවලිය 5-0කින් ජය ගැනීමට සමත් වුනා. එම ජයග්‍රහණය අපේ කණ්ඩායම ගැන තක්සේරුවක් ලබා ගැනීමට ගොඩක් ඉවහල් වුනා”, යැයි පවසන ශ්‍රී ලංකා යොවුන් පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන මහතා “කණ්ඩායමේ තියෙන සුළු සුළු අඩුපාඩු සියල්ල අපි එංගලන්ත තරගාවලියේ දී සකස් කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ දක්ෂතා වැඩිදියුණු වීමටත්, කණ්ඩායමක් විදියට ස්ථාවරත්වය ගොඩ නඟාගන්නත් මේ තරගාවලිය වැදගත් වෙනවා”, යැයි වැඩිදුරටත් සඳහන් කළා.

ඔක්තෝබර් 15 වැනිදා සිට 25 වැනිදා දක්වා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැති බංග්ලාදේශ තරගාවලියට පෙර යොවුන් කණ්ඩායමේ දක්ෂතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් පුහුණු වැඩසටහන් රාශියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂතා සපිරි යොවුන් ක්‍රීඩකයින් 75ක් තෝරා ගනිමින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද පුහුණු කඳවුර ඉන් ප්‍රධාන තැනක් ගනු ලැබුවා.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සහ පළාත් ක්‍රිකට් සංගම්වල සහයෝගය ඇතුව නේවාසිකව පවත්වන ලද එම වැඩසටහනේ දී නිපුණතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය, ශාරීරික යෝග්‍යතාවය මෙන්ම තවත් තරග අවස්ථා ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරනු ලැබුවා.

එම වැඩසටහනින් පසු නැවතත් බංග්ලාදේශයට එරෙහි තරගාවලිය ඇතුළු ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග සංචාර කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට නේවාසික පුහුණු කඳවුර දෙකක්ම පැවැත්වීම කැපී පෙනුණා.

අවිෂ්ක ගුණවර්ධන මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන, දඟපන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ, වේගපන්දු පුහුණුකරු ලෙස චමිල ගමගේ සහ පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන යන මහත්වරුන් කටයුතු කරයි.

ඊට අමතරව ප්‍රියන්ත වික්‍රමසිංහ, භෞතචිකිත්සකවරයා ලෙස ද, බුද්ධික හේරත් අභ්‍යාසක ලෙස ද කටයුතු කරයි.

තරග කාලසටහන,

  • නොවැම්බර් 30 – පළමු යොවුන් එක්දින තරගය
  • දෙසැම්බර් 3 – දෙවැනි යොවුන් එක්දින තරගය
  • දෙසම්බර් 5 – තෙවැනි යොවුන් එක්දින තරගය
  • දෙසම්බර් 8 – සිව්වැනි යොවුන් එක්දින තරගය
  • දෙසම්බර් 10 – පස්වැනි යොවුන් එක්දින තරගය

*තරග සියල්ලම කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<