එංගලන්තය ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවලට තිත තබයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

392

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (01) සාජා පිටියේ දී නිමා වූ තරගයෙන් ලකුණු 26ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලියේ ඉහළට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු සිඳ ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා. මේ ලකුණු ප්‍රමාණයෙන් ලකුණු 116ක් ම වාර්තා කළේ අවසන් පන්දුවාර 10 දී වූ අතර Jos Buttler තම ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල තම මංගල ශතකය වාර්තා කිරීමට ද සමත් වීම කැපී පෙනුණා. එමෙන් ම Buttler සහ Eoin Morgan එක්ව සිව්වැනි කඩුල්ලට වාර්තා කළ ශතක සබඳතාව ද එම ඉනිමේ කැපී පෙනුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 137ක් පමණයි.

තමන් නායකත්වය දුන් අවසන් තරග 4 ජයග්‍රහණය කරමින් සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ Group 1 කාණ්ඩයෙන් අපරාජිතව තම කණ්ඩායම මෙහෙය වූ එංගලන්ත නායක Eoin Morganට එරෙහිව කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුනා. ඒ අනුව ඔහුගේ තීරණය වූයේ පළමුවෙන් පන්දු යැවීමයි.

සුපිරි 12 වටයේ Group 1 කාණ්ඩයේ සිව්වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව අද තරගයේ දී ද පෙර දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කළ කණ්ඩායම කෙරෙහි ම විශ්වාසය තබා තිබුණා. එංගලන්තය ද අද තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ තම සුපුරුදු කණ්ඩායම ම තරගයට කැඳවා තිබුණා.

  • ශ්‍රී ලංකා කණ්ඩායම: කුසල් පෙරේරා (කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර
  • එංගලන්ත කණ්ඩායම; Jason Roy, Jos Buttler (කඩුලු රකින්නා), Dawid Malan, Jonny Bairstow, Eoin Morgan (නායක) , Liam Livingstone, Moeen Ali, Chris Woakes, Chris Jordan, Adil Rashid, Tymal Mills

ශ්‍රී ලංකාවට එරෙහිව Jason Roy සහ Jos Buttler එංගලන්ත ඉනිම ආරම්භ කළා. ඔවුන් දෙදෙනා එක්ව පළමු පන්දුවාරය යැවූ දුෂ්මන්ත චමීර ප්‍රබල ප්‍රහාරයකට ලක් කළා. ඔවුන් එම පන්දුවාරයට ලකුණු 12ක් ලබා ගත්තා.

නමුත් දෙවැනි පන්දු වාරය යැවූ වනිඳු හසරංග තරගය පාලනය කළේ තම පන්දුවාරය ලකුණු 3කට සීමා කරමින් Jason Royගේ (09) ද කඩුල්ල ලබා ගනිමින්.

අනතුරුව විස්සයි විස්ස පිටියේ අංක එකට ශ්‍රේණිගතව සිටින Dawid Malan පිටියට පිවිසියා. ඔහු සහ Buttler එක්ව ලකුණු පුවරුව ඉහළට ගෙන එද්දී, සිව්වැනි පන්දුවාරයේ දී කඩුල්ල පිටුපස සිටි කුසල් පෙරේරාට Malan දවා ගැනීමට තිබූ අවස්ථාවක් මඟ හැරුණා.

නමුත් ඊළඟ පන්දුව කෙළින් ම කඩුල්ලේ වද්දමින් ඔහුව දවා ගැනීමට චමිර සමත් වුනා. ඒවෙද්දී එංගලන්ත ඉනිම සටහන් වූයේ කඩුලු 2ක් දැවි ලකුණු 34ක් ලෙසයි. Malan ලබා ගත්තේ පන්දු 8කට ලකුණු 6ක් පමණයි.

එංගලන්තයේ තෙවැනි කඩුල්ල ලෙසින් Jonny Bairstow (0) තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම ක්‍රීඩාගාරයට හරවා යැවීමට වනිඳු සමත් වුනා. ඒ විනිසුරු තීරණයක් අභියෝගයට ලක් කිරීමේ අවස්ථාවක් ලබා ගනිමින්.

එම දැවී යෑමෙන් අනතුරුව එංගලන්තයේ පළමු Power play අවස්ථාව නිමා වන අතර ඒ වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3ක් දැවි ලකුණු 36ක් ලෙසින්. එංගලන්ත ඉනිමේ පන්දුවාර 10 අවසන් වූයේ ද ලකුණු 47ක් ලෙසින් පවතිද්දී. ඒ වෙද්දී Buttlerට එක් ව සිටියේ නායක Eoin Morgan.

තම කණ්ඩායම වැටී ඇති තත්ත්වයෙන් මුදවා ගැනීමට දැවැන්ත මෙහෙයුමක නිරත වූ Buttler සහ Morgan සිව්වැනි කඩුල්ලේ අර්ධ ශතක සබඳතාව 55 වැනි පන්දුවේ දී වාර්තා කළා. ඔවුන් තම මෙහෙයුම නිමා කළේ වනිඳුගේ පන්දුවකට Morganගේ දැවී යෑමත් සමඟයි.

Morgan පන්දු 36කට හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත් අතර Buttler සමඟ සිව්වැනි කඩුල්ලට ලකුණු 112ක සබඳතාවක් එක් කළා. ඒ පන්දු 78ක් පමණක් වැය කරමින්.

Buttler අද තරගයේ දී තම විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ 2000 ලකුණු සීමාව පසු කිරීමට සමත් වුනා. ඔහු දැවී යන විට පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා සිටියා.

ඉනිම අවසන් වන විට අනෙක් අන්තයේ රැඳී සිටි Moeen Ali නොදැවී ලකුණක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී අද තරගයේ දී කඩුලු 3ක් ලබා ගත් වනිඳු හසරංග තම විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ 50 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් වුනා. ඊට අමතරව ලබා ගත් කඩුල්ල හිමි වූයේ චමීරට. කඩුල්ලක් ලබා නොගත්තත් තම පන්දුවාර 4 ලකුණු 13කින් සීමා කර ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුනා.

ලකුණු 164ක හඹා යන ඉලක්කයක් වෙනුවෙන් වෙනදා මෙන් ම ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා. ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව පන්දු 3ක ලකුණකට සීමා වුනා. පැතුම් දුවද්දී දැවී ගියේ එක් ලකුණකට.

අනතුරුව දෙවැනි කඩුල්ල ලෙසින් පන්දු 16කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත් චරිත් අසලංක දැවී ගියා. වේගවත් ඉනිමකට වඩා ස්ථාවර ඉනිමක්  අවශ්‍යව තිබිය දී චරිත් ඉතා ඉක්මනින් දැවී යෑම ශ්‍රී ලංකාවට බලවත් පාඩුවක් වුනා. ඒ සමඟම කුසල්ගේ ඉනිම ද ලකුණු 7කට සීමා වීමෙන් ශ්‍රී ලංකා ඉනිම තවත් දැඩි අර්බුදයකට ලක් වුනා.

ඒ අර්බුදය තවත් දැඩි වීමට තිබූ අවස්ථාවක් Chris Woakes විසින් මඟ හැරියා. ඒ එතෙක් කඩුලු 2ක් ලබා සිටි Adil Rashidගේ පන්දුවකට භානුක රාජපක්ෂ ලබා දුන් උඩ පන්දුවක් අත හරිමින්. නමුත් ඊට පසුව යැවුණ පන්දුවාරයේ දී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 13කට දවා ගනිමින් ඔවුන් ඒ අවස්ථාව සැමරුවා.

මේ කඩුලු වැටීම් හමුවේ වූවද ශ්‍රී ලංකාව පළමු පන්දුවාර 10 අවසන් කළේ ලකුණු 66ක් ලබා ගනිමින්.

නමුත් ඊළඟ පන්දුවාරයේ දී භානුක රාජපක්ෂ දවා ගත් එංගලන්ත ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු තව දුරටත් දුරස් කළා. භානුක පන්දු 18කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර දෙක බැගින් එල්ල කරමින් ලකුණු 26ක් ලබා සිටියා.

අවසන් පන්දුවාර 5 එළඹෙද්දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 51ක් අවශ්‍යව තිබුණා. ඒ වෙද්දී පිටියේ රැඳී සිටියේ නායක දසුන් ශානක සහ වනිඳු හසරංගයි. ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30ක දී ලකුණු 53ක් රැස් කළා.

එම සබඳතාව බිඳ වැටුණේ වනිඳුගේ දැවී යෑමත් සමඟයි. වනිඳු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා. ඒ සමඟම දසුන් ශානක ද ඉක්මන් වීමකින් දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙමින් ලකුණු 26කට දැවී ගියා.

අනතුරුව චාමික කරුණාරත්න (0), දුෂ්මන්ත චමීර (4) සහ මහීෂ් තීක්ෂණ (2) අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගිය අතර ඉනිම අවසන් වන විට ලහිරු කුමාර නොදැවී ලකුණක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 පන්දු 13ක් තුළ ලකුණු 8කට දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වුනා. එංගලන්තය වෙනුවෙන් Moeen Ali ,Adil Rashid සහ Chris Jordan කඩුලු 2 බැගින් දවා ගත්තා.

  • එංගලන්තය; කඩුලු 4ක් දැවී 163 (20) Jos Buttler නොදැවී 101, Eoin Morgan 40, වනිඳු හසරංග 3/21
  • ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 137 (19) කඩුලු චරිත් අසලංක 21, භානුක රාජපක්ෂ 26, දසුන් ශානක 26, වනිඳු හසරංග 34, , Moeen Ali 2/15, Adil Rashid 2/19, Chris Jordan 2/24

තරගයේ වීරයා; Jos Buttler (එංගලන්තය)

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය මේ මස 4 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වීමට නියමිත අතර මෙම තරගය මෙන් ම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<