එංගලන්තයත් පාකිස්තාන සංචාරය අවලංගු කරයි

536

පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ තරගාවලිය පිළිබඳව විශේෂ නිවේදනයක් එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් අද (20) නිකුත් කර තිබෙනවා.

එහි දී ඔවුන් පවසා ඇත්තේ මෙම වසරේ පැවැත්වීමට නියමිත, ලෝක කුසලාන තරගාවලිය සඳහා පෙර සූදානමක් ලෙස එංගලන්ත කණ්ඩායම සහභාගී වීමට සැලසුම් කර තිබූ පාකිස්තාන තරගාවලිය අවලංගු කිරීමට ඔවුන් තීරණය කර ඇති බවයි.

මෙම තීරණය පාකිස්තාන ක්‍රිකට් ආයතනයට ප්‍රබල බලපෑමක් එල්ල කරන අතර පසුගිය සතියේ දී නවසීලන්ත කණ්ඩායම ද සිය තරගාවලිය අවලංගු කිරීමට තීරණය කිරීම බොහෝ දෙනා කතාබහට ලක්ව තිබුණා. එවන් වටපිටාවක් තුල එම සිදුවීමේ උණුසුම පහව යාමටත් පෙර එංගලන්ත ක්‍රිකට් ආයතනය ද ඔවුන්ගේ සංචාරය අවලංගු කිරීම කැපීපෙනෙන කරුණක්.

එංගලන්ත පාකිස්තාන විස්සයි විස්ස තරගාවලිය සඳහා තරග දෙකක් ඇතුළත්ව තිබූ අතර එම තරග ඔක්තෝබර් 13 සහ 14 පැවැත්වීමට නියමිතව තිබුණා.

මේ සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සිදුකළ නිල ප්‍රකාශයේ සිංහල පරිවර්තනයක් පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනය

2022 වසරේ එංගලන්ත කණ්ඩායමේ අනාගත සංචාර වැඩසටහනේ කොටසක් ලෙස පාකිස්තානයේ සංචාරය කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් ආයතනයට දිගුකාලීන සැළසුමක් ඇත.

ඒ අනුව මේ වසර මුල දී සිදු ක​ළ සාකච්ඡා අනුව එළඹෙන ඔක්තෝම්බර් මාසයේ දී පකිස්තානය සමඟින් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට අදාලව අතිරේක පුහුණු තරග දෙකක් ක්‍රීඩා කිරීමට අපි එකඟ වූ අතර එයට පිරිමි කණ්ඩායම සහභාගී වන තරගාවලියක් මෙන්ම කාන්තා කණ්ඩායම සහභාගී වන කෙටි කාන්තා තරගාවලියක් ද සැලසුම් කර තිබිණි.

පාකිස්තානයේ පැවැත්වෙන මෙම අතිරේක තරග කීපය සහ එංගලන්ත කාන්තා හා පිරිමි තරගාවලි පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් ආයතනය මෙම සති අන්තයේ රැස්වූ අතර එහි දී සිදු ක​ළ සාකච්ඡාවලට අනුව ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලි දෙක අවලංගු කිරීමට එහි දී තීරණය කළ බව මෙයින් තහවුරු කර සිටිමු.

අපගේ ක්‍රීඩකයින්ගේ සහ සහායක සේවකයින්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම එංගලන්ත ක්‍රිකට් ආයතනය ලෙස අපගේ ඉහළම ප්‍රමුඛතාවය වන අතර මෙම කාලය තුළ එය වඩාත් තීරණාත්මක වන බව අපගේ හැඟීමයි. තරගාවලිය පැවැත්වෙන කලාපය වෙත සංචාරය කිරීම පිළිබඳව මෙහි දී අප වැඩි සැලකිල්ලක් දැක්වූ අතර එහි දී පවතින සීමා සහ නීති රීති ක්‍රීඩකයන්ට අමතර පීඩනයක් එල්ල කරන බව අපගේ විශ්වාසයයි.

මෙම කොරෝනා වයිරසය නිසා ක්‍රීඩකයන් සහ සෙසු නිලධාරීන් ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල දීර්ඝ කාලීනව ක්‍රීඩා කරන අතර එවන් වටපිටාවක් තුල කණ්ඩායමට තවදුරටත් පීඩනය එක් කිරීමට හැකියාවක් නොමැති බව අපට පෙනීගිය කරුණකි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන අපේ සංචිතය සඳහා යම් සංකීර්ණතාවයක් එකතු වී තිබෙනවා. 2021 වසර තුල දී අපගේ ප්‍රමුඛතාවය වන්නේ විස්සයි විස්ස තරගාවලිය හොඳින් ක්‍රීඩා කිරීමයි. එවන් වටපිටාවක් තුල මෙම කොන්දේසි යටතේ පාකිස්තානය තුල සංචාරය කිරීම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසු සූදානමක් නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත සිය රටට ගෙන ඒම සඳහා ඉතාමත් කැපවීමෙන් වෙහෙස නොබලා කටයුතු කරන පාකිස්තාන ක්‍රිකට් ආයතනයට මෙම තීරණය සැලකිය යුතු බලපෑමක් සහ බලාපොරොත්තු සුන්වීමක් විය හැකි බව අපට වැටහෙන කරුණකි.

පසුගිය ගිම්හාන කාලය තුළ දී ඔවුන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ සහයෝගය පාකිස්තානය සහ එංගලන්තය අතර ඇති මිත්‍රත්වය විදහා දැක්වීමක් ලෙස අපි සලකන්නෙමු. අපගේ මෙම තීරණය පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට ඇති කරන බලපෑම පිළිබඳව අපි අවංකව කණගාටු වන අතර 2022 වසරේ දී අපගේ ප්‍රධාන සංචාරක සැලසුම් සඳහා පාකිස්තානය සමඟින් අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කරන බව අවධාරණය කරමු.

එංගලන්ත ක්‍රිකට් ආයතනය

මේ සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<