“වර්ජනයට හේතුව ක්‍රීඩකයින්ට මරණ තර්ජන එල්ල වීමයි!” – නවසීලන්තයෙන් පිළිතුරු

නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය 2021

1582

පාකිස්තාන තරග සංචාරය වර්ජනය කරමින් සීමිත පන්දුවාර තරගාවලි ද්විත්වය අතහැර දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට නවසීලන්ත ක්‍රිකට් ආයතනය සහ එරට රජය වෙත විවිධ පාර්ශවයන්ගෙන් දෝෂාරෝපණ එල්ල වෙමින් පවතින  මොහොතක එම චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය ඊයේ (19) දිනයේ දී කටයුතු කර තිබුණේ තම ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු සුළුවෙන් තැකිය නොහැකි බව සඳහන් කරමිනි.

තරගාවලිය සඳහා පාකිස්තානය බලා පිටත්ව යාමට සතියක පමණ කාලයක පෙර සිටම විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තම ක්‍රීඩකයින්ට මරණ තර්ජන පවා එල්ල වූ නමුත්, ඒ අවස්ථාවේ දී එම කරුණු කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට අවශ්‍ය නොවූයේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන තාක්ෂණික විශේෂඥ කණ්ඩායම විසින් එම මත පළ කිරීම හුදෙක් උපහාසයට පමණක් සිදු කළ ඒවා බවට අනුමාන කිරීම නිසාවෙන් බව සඳහන් වේ.

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිළධාරී Heath Mills මහතා මෙහි දී අවධාරණය කර සිටියේ ඔවුන් ගත් එම තීරණය ඉතාමත් සාධාරණ එකක් බවත්, කිසිම සිදුවීමක් අතිශයෝක්තියෙන් උලුප්පා දක්වමින් හදිසි තීන්දුවලට එළැඹීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු නොකළ බවයි.

“මම හිතන්නේ නැහැ අපි කොයිම වෙලාවකවත් හදිසි තීරණවලට ගිහින් නැති කළබලයක් මවා පෑවා කියලා. අපි සෑහීමකට පත්වෙනවා පාකිස්තාන පාර්ශවයෙන් අපිට ලබා දුන්න පූර්ණ ආරක්ෂාව ගැන. අපි නවාතැන් ගත්ත හෝටලය, ක්‍රීඩාංගණය සහ ඒ ගමන් මාර්ගයේ දී අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමේ ආරක්ෂාකාරී වටපිටාවක් ඔවුන් සකසා දුන්නා. නමුත් තවදුරටත් අපිට සංචාරය ඉදිරියට ක්‍රියාත්මක කරන එක ගැන එතරම් සුභදායී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්කමක් ඒ වෙනකොට තිබුණේ නැහැ.”

“ක්‍රීඩකයින්ගේ, ඔවුන්ගේ පවුලේ උදවියගේ මානසික මට්ටම එතරම් හොඳ තත්වයක නෙමෙයි ඒ වෙනකොටත් තිබුණේ. නමුත් දැන් ඔවුන්ට කලින්ට වඩා ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනවා. ඒ වගේම අපිටත් හොඳ වැටහීමක් තියෙනවා පාකිස්තාන ක්‍රීඩාලෝලීන්ට වගේම පරිපාලනයටත් මේක ඉතාමත් අභියෝගාත්මක වගේම තරමක් මතභේදයට තුඩුදෙන තීරණයක්.

නමුත් මේ වෙලාවේ දී නවසීලන්ත ක්‍රිකට් ආයතනය පැත්තෙන් බැලුවාම ඔවුන් අරගෙන තියෙන්නේ වඩාත් සුදුසුම තීරණය කියන කාරණාව පිළිගත යුතුයි.”

“ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ඉතාමත් ශක්තිමත් යාන්ත්‍රණයක් නවසීලන්තය සතුව තියෙනවා. ඒ නිසාම තරග සංචාරයකට කලින් වගේම, සංචාරයක් අතරතුරදීත් ක්‍රීඩකයින් ඇතුළු සහයක කාර්‍යමණ්ඩල  නිළධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තරයෙන් අවධානයට යොමු කරන්නත්, ඇඟයීමකට ලක් කරන්නත් ඔවුන් ක්‍රියා කරනවා. ඉතින් සිකුරාදා දවසේ දී එතෙක් පැවති අපේ ස්ථාවරය තරමක් වෙනස් කරන්න සිද්ධ වුනේ ආරක්ෂාව  ගැන ඇති වූ යම්කිසි ගැටලුකාරී තත්වයන්  කිහිපයක් නිසා කියලා මතක් කර දිය යුතුයි.”

ඕස්ට්‍රේලියාව, කැනඩාව, බ්‍රිතාන්‍ය ඇමරිකා එක්සත් ජනපද සහ නවසීලන්ත බුද්ධි අංශයන්ගෙන් ලැබුණු තොරතුරු මත පදනම්ව නවසීලන්ත රජය සහ එරට ක්‍රිකට් ආයතනය මෙවැනි තීරණයකට එළැඹීමට හේතුපාදක වූ බව ද මෙහි දී වැඩිදුරටත් සඳහන් වේ.

නමුත් පාකිස්තාන බළධාරීන් පෙන්වා දී සිටින්නේ බ්‍රිතාන්‍ය රජය විසින් පාකිස්තානයට පැමිණෙන සංචාරකයින්හට මේ සම්බන්ධයෙන් කිසිදු පූර්ව දැනුම්දීමක් හෝ සිදු නොකෙට මෙලස කටයුතු කිරීම විහිළු සහගත ක්‍රියාවක් ලෙසයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<