16ට අඩු IPL ප්‍රේක්ෂකයින්​ට සාජා දොරටු වැ​සේ

ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලිය 2021

436

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර අද (19) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වුනා.

තරගාවලිය ප්‍රේක්ෂකයින්ටත් නැරඹීමට අවස්ථාව ලබා දී තිබීම විශේෂත්වයක්. තරගාවලි​ය ඩුබායි, අබුඩාබි හා සාජා හිදී තරග පැවැත්වෙන අතර COVID-19 වසංගත ව්‍යාප්තිය නිසා ප්‍රේක්ෂකයින්ටත් නීතිරීති රාශියක් පනවා තිබෙනවා.

එම නීතිරීතිවලට අනුව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරග නරඹන ප්‍රේක්ෂකයින්ට තරග නැරඹීමට තරගයට පැය 48කට පෙර PCR පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය වන්නේ නැහැ.

නමුත් ඔවුන් COVID එන්නතක මාත්‍රා දෙකම ලබා ගත් බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතු වෙනවා. ප්‍රේක්ෂකයින් සමාජ දුරස්ථාභාවය තබා ගත යුතු අතර මුඛ ආවරණ ද භාවිතා කළ යුතුයි. වයස අවුරුදු 12න් පහළ දරුවන්ට එන්නත් ලබා ගත් බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතු වන්නේ නැහැ.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

තවද IPL සංවිධායකයින් ප්‍රේක්ෂකයින්ට දන්වා ඇත්තේ සිය ජංගම දුරකථන ඔස්සේ තරග නැරඹීම සඳහා ටිකට්පත් ලබා ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් සාජා ක්‍රීඩාංගණයේ නීතිරීති තරමක් වෙනස් වීම විශේෂත්වයක්. සාජා ක්‍රීඩාංගණයට පිවිසීමට අවසර ලැබෙන්නේ වයස අවුරුදු 16ට වැඩි ප්‍රේක්ෂකයින්ට පමණයි.

එම ක්‍රීඩාංගණයට පිවිසෙන ප්‍රේක්ෂකයින් ද එන්නත්කරණය පිළිබඳව සාක්ෂි පෙන්විය යුතු අතර පැය 48කට පෙර ලබා ගත් PCR වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුයි. අබුඩාබි හිදී ද එම නීතිරීතිම ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් අබුඩාබි හි තරග නැරඹීමට වයස අවුරුදු 12-15 අතර ප්‍රේක්ෂකයින්ටත් අවස්ථාව හිමි වෙනවා.

වයස අවුරුදු 12ට අඩු දරුවන් වයස අවුරුදු 21ට වැඩි වැඩිහිටියන් සමඟ පැමිණිය යුතු අතර සියලු ක්‍රීඩාංගණවල දොරටුවල දී ප්‍රේක්ෂකයින්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කරනු ඇත.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<