CR & FC ක්‍රීඩකයින් යුධ හමුදාවෙන් වාඩුව ගනී

348
Dialog Rugby League 2017/18 2nd leg week 1 Army SC v CR & FC Match Report

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින් අද (29) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී CR & FC කණ්ඩායම හා යුධ හමුදා ක්‍රීඩා සමාජය තරග වැදුණු අතර ලකුණු  24-17ක් ලෙස CR & FC කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

දෙවැනි අර්ධය ජයග්‍රහණය කර කුසලානය දිනා ගන්නේ කවුරුන් ද?

ඉතා උද්වේගකර තරග කිහිපයකින් අනතුරුව 2017/18 ‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර…

පළමු වටයේ දී  CR & FC කණ්ඩායම පරාජය කළ පෙරළිකාර යුධ හමුදා පිල තුසිත සේනානායක විසින් මෙහෙයවූ අතර පරාජයේ වාඩුව ගැනීමේ අරමුණින් CR & FC පිල කවිඳු පෙරේරා විසින් මෙහෙයවනු ලැබිණි.

ආරම්භයේ සිටම යුධ හමුදාව ආක්‍රමණශීලි ක්‍රීඩා පිළිවෙතක් අනුගමනය කරමින් CR & FC පිලට ප්‍රබල අභියෝගයක් එල්ල කළ නමුත්, 7වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගත් තරින්ද රත්වත්ත CR & FC වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් විය (CR & FC 03-00 යුධ).

8 වන මිනිත්තුවේ දී යුධ හමුදා පා පහරින් තරගය නැවත ආරම්භ කළ අතර සිය පාදයෙන් ගිලිහුණු පන්දුව පසුපස හඹා ගිය යුධ හමුදාව උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. විනෝත් කුමාර් එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර ගයාන් සාලින්ද එහි ප්‍රවර්තනය සාර්ථකව ප්‍රවර්තනය කරන ලදි (CR & FC 03-07 යුධ).

අනතුරුව CR & FC උත්සාහක දිනුමක් කරා යාමට උත්සහ කළත්, උත්සාහක දිනුම් සීමාව ආසන්නයේ දී කළ අතපසුවීම් නිසා ඔවුන්ට ලකුණු ලබා ගැනීමට  නොහැකිවූ අතර 17 වැනි මිනිත්තුවේ දී තරින්ද රත්වත්ත ගෝල දිනුමක් සඳහා උත්සහ කළ නමුත් එය ද සාර්ථක වූයේ නැත.

අනතුරුව ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ යුධ හමුදා කණ්ඩායම CR & FC පසුපසට ඇද දමමින් CR අර්ධය ආක්‍රමණය කළ නමුත්, 28 වන මිනිත්තුවේ දී ගයාන් සාලින්ද සාර්ථක කර ගත් දඬුවම් පහරකින් පමණක් සෑහීමට පත්වීමට ඔවුන්ට සිදු විය (CR & FC 03-10 යුධ).

අනතුරුව සිය අලස ක්‍රීඩා විලාසයෙන් මිදී CR & FC කණ්ඩායම ප්‍රබල ලෙස තරගයට පිවිසුණ අතර උත්සාහක දිනුම් සීමාව මත දී ම පන්දුව ‘Knock-on’ අවස්ථාවකට ලක් කර ගැනීමට තරම් ඔවුන් අවාසනාවන්ත විය. 34වැනි මිනිත්තුවේ දී ‘Scrumhalf ’ස්ථානයේ ක්‍රීඩා කරන ප්‍රබල යුධ හමුදා ක්‍රීඩක මොහොමඩ් රිස්වි හට රතු කාඩ්පතක් ලබා දී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළ අතර එහි වාසිය ලබාගත් CR & FC ක්‍රීඩක ඔමල්ක ගුණරත්න 28 වන මිනිත්තුවේ දී  CR කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය තරින්ද රත්වත්ත විසින් සාර්ථක කර ගන්නා ලද අතර පළමු අර්ධය අවසානයේ කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා සිටිය හ (CR & FC 10-10 යුධ).

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 10 – 10 CR & FC

පළමු අර්ධය අවසානයේ උද්යෝගයත් සමඟම CR&FC කණ්ඩායම දෙවන අර්ධයත් ආරම්භ කළ අතර 49 වන මිනිත්තුවේ දී CR කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සුපුන් වර්ණකුලසුරිය සමත් විය. තරින්ද රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් අතර යුධ හමුදා කණ්ඩායමට ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදුවීම ඔවුන්ට ප්‍රබල අවාසියක් විය (CR & FC 17-10 යුධ).

සිය ග්‍රහණය ඇත නොහල CR කණ්ඩායම දිගින් දිගටම යුධ හමුදා අර්ධය ආක්‍රමණය කළ අතර 61 වන මිනිත්තුවේ දී යුධ හමුදා පසුපෙළ අතරින් රිංගා ගිය CR & FC කණ්ඩායමේ නායක කවිඳු පෙරේරා CR කණ්ඩායම වෙනුවෙන් තෙවන උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් විය. තරින්ද රත්වත්ත ඉතා පහසුවෙන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි (CR & FC 24 -10 යුධ).

සහිරා, ධර්මරාජ විද්‍යාලවලට නව රග්බි නායකයින්

ලබන වසරේ දී පැවැත්වීමට නියමිත පාසල් ලීග් රග්බි තරගාවලිය ඉලක්ක කර ගනිමින් මහනුවර ධර්මරාජ විද්‍යාලයත්, මරදාන…

සිය ‘Scrum-half’ ක්‍රීඩකයාට රතු කාඩ්පතක් හිමි වීම නිසා ඔහුගේ අඩුව පිරවීමට ක්‍රීඩකයින් සිය ස්ථාවර ස්ථානවලින් බැහැරව වෙනත් ස්ථානවල ක්‍රීඩා කිරීමට සිදු වීම යුධ හමුදා කණ්ඩායමට ප්‍රබල අවාසියක් විය. තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ දී තරගය තවත් තියුණු වූ අතර 77 වන මිනිත්තුවේ දී යුධ හමුදා ක්‍රීඩක සමීර බුලත්සිංහල යුධ හමුදාව වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කරමින් තරගය දෙපිලටම විවෘත කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ගයාන් සාලින්ද විසින් සාර්ථක කර ගන්නා ලදි (CR & FC 24-17 යුධ).

අවසාන මිනිත්තු කිහිපයේ යුධ හමුදා කණ්ඩායම ප්‍රබල උත්සාහයක නිරත වුවද ලකුණු රැස්කර ගැනීමට නොහැකි වීම නිසා තරගයේ ජය ලකුණු 24-17ක් ලෙස CR & FC කණ්ඩායම හිමිකර ගන්නා ලදි.

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය  17 (2T,2C,1P) – 24 (3T,3C,1P) CR & FC

ThePapare.com තරගයේ වීරයා:  චලන චාමිකර (CR & FC)

ලකුණු ලබා ගැනීම:

  • CR & FC: තරින්ද රත්වත්ත (3C, 1P), ඔමල්ක ගුණරත්න (1T), කවිඳු පෙරේරා (1T), සුපුන් වර්ණකුලසුරිය (1T)
  • යුධ හමුදා ක්‍රීඩා සමාජය: ගයාන් සාලින්ද (2C,1P), විනෝත් කුමාර් (1T), සමීර බුලත්සිංහල (1T)

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<