තුන්වන විනිසුරුගේ වැරදී තීරණයක් නිසා එංගලන්තය කනස්සල්ලෙන්

1920

එංගලන්ත – ඉන්දීය දෙවන ටෙස්ට් තරගය අද (13) චෙන්නායි හිදී ආරම්භ වුනා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ Ajinkya Rahaneගේ දැවී යාමක් නොදැවුනු අවස්ථාවක් ලෙස තුන්වැනි විනිසුරු විසින් තීරණය කිරීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණා.

ඉන්දීය පිතිකරු Ajinkya Rahaneගේ ආසන්න දැවී යාමක් පිටියේ විනිසුරු විසින් නොදැවුනු අවස්ථාවක් ලෙස සංඥා කිරීමෙන් අනතුරුව එංගලන්ත නායකයා DRS අවස්ථාවක් ලබා ගනිමින් එය තුන්වැනි විනිසුරු වෙත යොමු කළා. 

ඉන් අනතුරුව එම අවස්ථාවේ දී රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කළ Anil Chaudhary විසින් අදාල පන්දුව සහ Ajinkya Rahane පන්දුවට පහර දුන් අවස්ථාව පුනරූපනවලින් පරීක්ෂා කළා. එහි දී Anil Chaudhary විසින් පන්දුව පිත්ත පසුකරන අවස්ථාව පමණක් සලකා බලා Ajinkya Rahane නොදැවුනු ක්‍රීඩකයෙක් ලෙස තීරණය කළා. නමුත් පසු පුනරූපනවල දී පන්දුව පිතිකරුවාගේ අත් ආවරණයේ ස්පර්ශ වන ආකාරය දැක ගැනීමට ලැබුණා. 

තරගයේ 75 වැනි පන්දුවාරයේ දී සිදු වූ මෙම සිදුවීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා. 

එහි දී එංගලන්ත ක්‍රීඩකයන් ඔවුන් ඉල්ලා සිටියේ උඩ පන්දු දැවී යාමක් බවත්, එය පිත්තේ නොව අත් ආවරණයේ වැදී ආ උඩ පන්දුවක් බවත් පවසා තිබුණා. කෙසේ වෙතත් රූපවාහිනී විනිසුරුවරයා වූ Anil Chaudhary පන්දුව පිත්තෙහි නොවදින බවට තීරණය කර තිබුණා. 

ඉන් අනතුරුව ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට අදාළ පුනරූපන ද පරීක්ෂා කළ අතර එහි දී ද Rahane නොදැවුනු ක්‍රීඩකයෙක් බවට නම් කෙරුණා. මේ සම්බන්ධයෙන් එංගලන්ත කණ්ඩායම තරමක කනස්සල්ලට පත්ව තිබූ බව දක්නට ලැබුණා. 

“අපි හිතුවේ ඔහු ඒක දිගටම පුනරූපනය කරලා බලාවි කියලා. අපිට තේරුණා ඒක පිත්තේ වදින්නේ නැහැ කියලා. අත් ආවරණයේ වැදුණ උඩ පන්දුවක් තමයි අපි ඉල්ලුවේ. ඒ පන්දුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙන්නේ නැහැ. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. ඒක ඕනෙම කෙනෙක්ට වෙන්න පුළුවන් අත්වැරැදීමක්. ඒ වගේ දේවල් සිදුවෙනවා” එංගලන්ත දඟපන්දු යවන ක්‍රීඩක Jack Leach තරගයෙන් අනතුරුව පවසා සිටියා. 

“අපිට ඒ ගැන කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ මගේ ඉවසීම නැති වුනා. ඒත් ඊළඟ පන්දුවාරයේ දී කඩුල්ලක් ලබාගන්න පුළුවන් වුනා. ඒකෙන් අපේ කනස්සල්ල නැති වුනා. මගේ කඩුලු සංඛ්‍යාව 3ක් වෙන්න තිබුණා.” 

කෙසේ වෙතත් යම් අවස්ථාවක දී කණ්ඩායමක් විසින් DRS අවස්ථාවක් යොදාගන්නා විට ඔවුන් එය ඉල්ලා සිටින්නේ කුමන ආකාරයේ දැවී යාමක් දැයි පිටියේ විනිසුරු විසින් තුන්වැනි විනිසුරු වෙත දැන්විය යුතුයි. 

මෙම සිදුවීමේ දී පිටියේ විනිසුරු විසින් ඒ බව තුන්වැනි විනිසුරු වෙත දැන්වූවේ දැයි පැහැදිලි නැත. නැතහොත් පුනරූපන ලබාදෙන ආයතනය විසින් නිවැරදි පුනරූපනය ලබා දුන්නා දැයි සැකයක් ද පවතිනවා.

තවත් ක්‍රිකට් පුවත්: 

තරගයේ සජීවී විකාශය අතරතුර අදාළ පන්දුව නැවත පුනරූපන මඟින් පෙන්වූ අතර එහි දී පන්දුව අත් ආවරණයේ ස්පර්ශ වන ආකාරය දක්නට ලැබුණා. 

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට අහිමි වූ review අවස්ථාව නැවත ලබා දී තිබුණා. ඒ එංගලන්ත කළමනාකාරිත්වය විසින් තරග තීරකවරයා වෙත කළ ඉල්ලීමකට අනුවයි. 

මෙවන් අවස්ථා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විශේෂ නීතියක් ද පවතිනවා.

“යම් අවස්ථාවක දී තුන්වැනි විනිසුරු විසින් වැරදීමකින් නිවැරදි තීරණය ලබා නොදුන් විට තරග තීරකවරයාගේ අනුදැනුම මත එම review අවස්ථාව නැවත ලබා දිය හැකි. තරග තීරකවරයාට ඒ බව සෘජුව තීරණය කළ නොහැකි අවස්ථාවල දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සහය ලබාගත හැක. මෙවන් සිදුවීම් තාක්ෂණික දෝෂ නිසා සිදු වූ සිදුවීම් නොවිය යුතුය.” 

ඉන්දීය එංගලන්ත ටෙස්ට් තරගාවලිය තුල තාක්ෂණික දෝෂ කීපයක් වාර්තා වුනා. අද තරගය අතරතුර ඉන්දීය ආරම්භක පිතිකරු Rohit Sharma කඩුල්ල පිටුපස සිට දවා ගැනීමක් සඳහා එංගලන්ත කණ්ඩායම උත්සාහ කළා. එහි දී රූපවාහිනී විනිසුරු හට අවශ්‍ය දර්ශන අවශ්‍ය ආකාරයෙන් ලබා දීමට Star Broadcasting සමාගම සමත්වූයේ නැහැ. 

මේ අතර ඉන්දීය නායක Virat Kohli වෙත යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් අනතුරුව ද පිටියේ විනිසුරුවන් දැවී යාම ලබා දීමට පෙර තුන්වැනි විනිසුරුගෙන් විමසීම ද බොහෝ දෙනාගේ අවධානයට යොමු වුනා. 

Anil Chaudhary ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ Elite Panel විනිසුරුවරයෙකු නොවන නමුත් පළමු ටෙස්ට් තරගයේ දී පිටියේ විනිසුරුවරයා ලෙස කටයුතු කළා. 

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පවත්වන තරගාවලි සඳහා එම රටේම විනිසුරුවන් යොදාගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අවසර ලබා දී තිබෙනවා. 

එම නිසා සිදුවිය හැකි දෝෂ වළක්වා ගැනීමේ අරමුණින් වැඩිපුර DRS අවස්ථාවක් ලබා ගැනීමටත් අවසර ලබා දී තිබෙනවා. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

ESPNCricinfo ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<