අමරණීය මතක සමඟින් දිවි ඉනිම නිමා කළ ප්‍රථම ටෙස්ට් නායකයා

354

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ පළමු නායකයා වූ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වූ බැව් ThePapare.com සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. මිය යන විට 68 වැනි වියේ පසු වූ ඒ මහතාට ගෞරව පිණිස මේ සටහන තබමු.

1953 මාර්තු 1 වැනිදා රඹුක්කන දී උපත ලබන බන්දුල වර්ණපුර, ඉගනුම ලබන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන්. බන්දුලගේ ක්‍රිකට් ගමන ආරම්භ වෙන්නේ විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරමින්. ඒ 1969 වසරයි. එම වසරේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම නියෝජනය කරන බන්දුල, ඒ හා සමඟ ම වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ කණ්ඩායම ද නියෝජනය කරනවා.

ආරම්භක පිතිකරුවෙක් ලෙසත්, ආරම්භක වේගපන්දු යවන්නා ලෙසත් කටයුතු කරන වර්ණපුරගේ දක්ෂතා ඉතා ඉක්මනින් ම නාලන්දා පළමු පෙළ කණ්ඩායමේ අසුනක් වෙන් කර ගැනීමට තරම් සුදුසුකමක් වුනා.

නොකඩවා දැක්වූ දක්ෂතා නිසා වර්ණපුර 1971 වසරේ නාලන්දා වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ කණ්ඩායමේ නායකත්වයට ද පත් කරනවා. එම වසරේ දී ම වර්ණපුර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් කණ්ඩායම සමඟ එක් වෙමින් ඉන්දියා සහ ඔස්ට්‍රේලියා තරග සංචාරවලට ද එක් වෙනවා.

නායකත්වයෙන් පසු වසරේ දී ද පාසල් ක්‍රිකට් පිටියේ රැඳී සිටීමට වරම් ලබන වර්ණපුර 1972 ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ දී ලකුණු 118ක් ලබා ගනිමින් එතෙක් පිතිකරුවෙක් ලැබූ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවේ හිමිකාරිත්වය ලබා ගන්නවා.

පාසල් කාලයෙන් පසුව බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් කණ්ඩායම හා එක් වන බන්දුල එකල පැවති සරවනමුත්තු කුසලානයේ කැපී පෙනෙන චරිතයක් වුනා. වසර කිහිපයක් BRC කණ්ඩායමට ද ක්‍රීඩා කරන බන්දුල වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය හා එක් වෙන්නේ Ceylon Tobacco කණ්ඩායම සමඟින්.

වර්ණපුර ශ්‍රී ලංකා ක්‍රිකට් හිනි පෙළට පියවර තබන්නේ ද්විත්ව ශතකයක් වාර්තා කරමින් වීම කැපී පෙනෙන සිදුවීමක්. ඒ 1972 දී මෙරට ට පැමිණි මැලේසියා කණ්ඩායමට එරෙහිව. එම කණ්ඩායමට එරෙහිව ලකුණු 294ක් ලබා ගන්නවා.

මේ දක්ෂතාත්, සරවනමුත්තු කුසලාන ක්‍රිකට් තරගාවලියේත්, වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ පෑ දක්ෂතා හේතුවෙන් වර්ණපුරට ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් ශ්‍රී ලංකා මංගල ක්‍රිකට් කණ්ඩායම හා එක් වීමට ද වරම් ලැබෙනවා. ඒ 1975 පැවති පළමුවැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්.

එම තරගාවලියේ දී බන්දුල වර්ණපුර තරග 3ක ඉනිම් 3ක දී ලකුණු 41ක් ලබා ගන්නවා. පන්දු යවන්නෙක් ලෙසින් පන්දුවාර 17ක් යවමින් ලකුණු 82කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වෙනවා.

1977 වසරේ දී Tony Greigගේ නායකත්වයෙන් මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායම සමඟ වූ තරගාවලියේ වීරයා වෙමින් දක්ෂතා දැක්වීමට වර්ණපුර සමත් වෙනවා. අනතුරුව 1979 පැවති දෙවැනි එක්දින ලෝක කුසලානයට ද එක් වීමට වර්ණපුර සමත් වෙනවා. එම තරගාවලියේ දී වර්ණපුරගේ දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ තරග දෙකක දී ලබා ගත් ලකුණු 38ක් ලෙසයි. එම තරගාවලියේ ඔහුට පන්දු යවන්නෙක් ලෙසින් කටයුතු කිරීමේ දී ලබා ගත හැකි වෙන්නේ කඩුල්ලක් පමණයි.

නමුත් එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව තම පළමු එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වෙනවා. එම කණ්ඩායම මෙහෙයවීමේ ගෞරවය හිමි වෙන්නේ වර්ණපුරට.

1982 දී ශ්‍රි ලංකාවට ටෙස්ට් වරම් ලැබෙන විට එක්දින නායක අනුර තෙන්නකෝන්ගේ විශ්‍රාම යෑම හේතුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වෙන්නේ බන්දුල වර්ණපුරට. එම තරගයේ සිට ටෙස්ට් තරග 4ක දී ශ්‍රී ලංකා නායකත්වයේ කටයුතු කරන වර්ණපුර ශ්‍රී ලංකා ක්‍රිකට් බිම හැර යන විට ඉනිම් 8ක දී ලකුණු 96ක් ලබා සිටියා.

1982 මතභේදාත්මක දකුණු අප්‍රිකා තරග සංචාරය හේතුවෙන් වර්ණපුරගේ ක්‍රිකට් ජීවිතයට කළු පැල්ලමක් එල්ල වෙනවා. එම සංචාරය සඳහා මෙරට ක්‍රිකට් ක්‍රීඩකයෝ 14 දෙනෙක් සහභාගි වන අතර ඒ හේතුවෙන් වර්ණපුර ඇතුළු සංචාරයට එක් වූ කණ්ඩායමට වසර 25ක ක්‍රිකට් තහනමක් පැන වෙනවා.

වර්ණපුරගේ ක්‍රිකට් ක්‍රීඩා දිවිය එතැනින් නතර වූව ද නැවත ඔහු ක්‍රිකට් හා සම්බන්ධ වෙන්නේ 1991 දී ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සහ ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වෙමින්. ඉන් අනතුරුව ක්‍රිකට් තරග තීරකයෙක් ලෙසින් ද ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය හා කටයුතු කරනවා.

එමෙන් ම ශ්‍රී ලංකා ක්‍රිකට් හා එකතු වූ බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිපාලන නිලධාරියෙක් ලෙසත් සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ පරිපාලන නිලධාරියෙක් ද කටයුතු කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට මහඟු දායකත්වයක් දැක්වූවා.

එමෙන් ම වර්ණපුර මහතා පෞද්ගලික ජීවිතයේ කදිම රසඥතාවෙන් යුත් පුද්ගලයෙක් ලෙසින් ද මිතුරු සමාගම් ඇසුරු කළා.

වර්ණපුර මහතාගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී මතක සටහන් අතරට තම පුතුන් දෙදෙනා ද දායක වුනා. ඒ නාලන්දා ක්‍රිකට් ඉතිහාසයේ තාත්තලා – පුතාලා නායකත්වය දරමින් තබා තිබෙන වාර්තාවට එක් වෙමින්. වර්ණපුර මහතාගේ වැඩිමල් පුත් මධුර වර්ණපුර 2004 වසරේ දී ද දෙටු පුත් මාධව වර්ණපුර 2008 වසරේ දී ද නාලන්දා කණ්ඩායමේ නායකත්වයට පත් වෙනවා.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෙක් ලෙසින් ද කටයුතු කරමින් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් අතර නොමැකෙන මතකයක් ඉතිරි කරමින් අපෙන් සමුගත් බන්දුල වර්ණපුර මහතාට ThePapare.com හි සාතිශය සංවේගය ප්‍රකාශ කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<