ගෙදර ඉඳන් තරග නරඹන්න! APP එකෙන් චියර් කරන්න!

81
Empty Japan stadiums

ප්‍රේක්ෂකයින් නොමැතිව හුදකලා ක්‍රීඩාංගණවල තරග වඳින ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම යම්තාක් දුරකට හෝ ඉහළින් ඔසවා තබන්නට මේ වන විට නොයෙකුත් විකල්පයන් සොයා යාමට බොහෝ තරගාවලි සංවිධායකවරුන් පෙලඹ ඇති අතර එම වැඩසටහනට සහය වෙමින් ඊට අපූරු පිළියමක් හඳුන්වා දීමට ජපන් සමාගමක් පසුගිය දිනක සමත් වී ඇති බව ප්‍රංශ පුවත් සේවය ඊයේ (27) දිනයේ දී වාර්තා කොට තිබුණි.

>> ඔලිම්පික් අවලංගු වීමක් ගැන අනතුරු ඇඟවීමක්

සුප්‍රසිද්ධ සන්නාමයක් ලෙස සැලකෙන ජපානයේ යමහා ආයතනයේ සේවය කරන යෙදුම් නිර්මාණකරුවන් කිහිප දෙනෙකු එකතුව මෙම නව සොයා ගැනීම සිදු කර ඇති බව සඳහන් වේ. එනම් නිවෙස්වල සිට තරග නරඹන ක්‍රීඩාලෝලීන් හට මෙම යෙදුම බාගත කිරීමෙන් අනතුරුව කිසිදු අපහසුතාවකින් තොරව නිවසේ සිටම තමන් සහය දක්වන කණ්ඩායම දිරිගැන්වීමට හැකි වන අයුරින් නිර්මාණය කර ඇති බව වාර්තා වේ. 

එහි ඔල්වරසන් හඩ නැඟීම සඳහා එක් බොත්තමක් ද අකමැත්ත පළ කිරීම සඳහා “බූ” ශබ්දය නැඟිය හැකි තවත් බොත්තමක් ද අන්තර්ගත බැවින් ප්‍රේක්ෂකයින් හට අවස්ථානුකූලව ප්‍රතිචාර දැක්විය හැකි අයුරින් සකස් කිරීමට නිර්මාණකරුවන් කටයුතු කොට තිබේ. එම සෑම ප්‍රතිචාරයක්ම ක්‍රීඩාංගණය තුල ස්ථාපනය කර ඇති ශබ්ද විකාශන යන්ත්‍රයන්ගෙන් ඇසෙන්නට සැලැස්වීම මේ අතරින් වඩාත් කැපී පෙනේ.

ඔල්වරසන් සහ අකමැත්ත පළ කිරීමේ ශබ්ද වර්ගයන් කිහිපයක්ම තරගයකට පෙරාතුව මෙම යෙදුමට ඇතුළත් කිරීමේ හැකියාවක් පවතින අතර එම කාර්‍යභාර්‍ය දැනට පැවරී ඇත්තේ තරගාවලි සංවිධායකවරුන් වෙතයි. තවද එක් කණ්ඩායමක් ගෝලයක් හෝ ලකුණක් සම්පූර්ණ කරන අවස්ථාවේ දී ඊට අදාළව ඔල්වරසන් හඬෙහි තීව්‍රතාව වැඩි කිරීම වැනි වෙනස්කම් රැසක් ද මෙම යෙදුම භාවිතයෙන් සිදු කළ හැක.

මෙම ක්‍රමවේදය ප්‍රේක්ෂකයින් හට තරග නැරඹීමට අවසර ලබා දීමෙන් පසුව පවා ප්‍රයෝජනයට ගත හැකි බව ඇතැම් විචාරකයින් අදහස් දක්වා සිටින අතරවාරයේ විශේෂයෙන්ම නරඹන්නන් ඝෝෂා කිරීමේ දී වාතයට මුදා හැරෙන කෙල බිඳිති ප්‍රමාණය අවම කිරීමට ද මෙය වඩාත් ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

>> උතුරත් දකුණත් යා කෙරෙන ලෝක රග්බි අලුත්ම වැඩපිළිවෙල

තමන්ගේ ප්‍රතිචාරය කුමන කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් සිදු කරන්නේ ද යන්න ප්‍රේක්ෂකයින් හට තීරණය කළ හැකි අතර පාපන්දු ක්‍රීඩාවේ සුවිශේෂී අංගයක් ලෙස සැලකෙන නරඹන්නන් විසින් ගායනා කරන එක් එක් ක්‍රීඩා සමාජයන්ට ආවේණික ගීත පාඨයන් ද ඉදිරියේ දී ඇතුළත් කිරීමට පියවර ගන්නා බව යමහා ආයතනය සඳහන් කොට තිබුණි.

මෙම වසර අවසානයේ දී එළිදැක්වීමට සැලසුම්කොට තිබුනත් ප්‍රේක්ෂකයින් නොමැතිව තරග ආරම්භ කිරීම නිසාවෙන් අපේක්ෂිත කාලසීමාවට පෙරාතුව වෙළඳපොළ වෙත මුදා හැරීමට කටයුතු කළ බව යමහා ආයතනයේ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන අංශයේ ප්‍රධානී මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.  

තවද මෙම යෙදුම ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් අවස්ථා කිහිපයක දී ම එහි තාක්ෂණික දෝෂයන් සහ අඩුපාඩු සකස් කිරීමට එම කාර්‍යමණ්ඩලය වඩාත් යුහුසුළුව, කැපවීමන් කටයුතු කොට ඇති අතර ප්‍රේක්ෂකයින් 51,000කට එකවර ආසන පහසුකම් සැපයිය හැකි යූකෝපා ක්‍රීඩා පිටිය කේන්ද්‍රකර ගනිමින් මෙම වැඩසටහන  දියත් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල රැසක් අත්පත්කර ගැනීමට හැකි වූ බව ද ඔවුහු සඳහන් කර සිටිති.

>> 2021 ලෝක කුසලාන සත්කාරකත්වය ඉන්දියාවට අහිමි වෙන ලකුණු

ජුබිලෝ ඉවාටා සහා ෂිමිසූ එස්. පල්ස් යන කණ්ඩායම් දෙකේ ඉහළ කළමනාකාරිත්වය නියෝජනය කරන නිලධාරීන් කිහිප දෙනෙකුට මේ සඳහා සහභාගී වීමේ භාග්‍ය හිමි වී ඇති අතර ශබ්ද විකාශන යන්ත්‍ර 58කින් ක්‍රියාත්මක වන සැණකෙළි අසිරි ගන්නා සජීවි තරග අත්දැකීමක් ඒ අයුරින් හෝ විඳගන්නට ලැබීම ප්‍රේක්ෂකයින් හට මහඟු අවස්ථාවක් වනු ඇතැයි ජුබිලෝ කණ්ඩායම් නිලධාරි හිරෝමි යනගිහාරා මහතා පෙන්වා දී තිබුණි.

මීට අමතරව ඉදිරියේ දී යම් හේතු කාරණාවන් නිසාවෙන් තරග නැරඹීමට නොහැකි වන ක්‍රීඩාලෝලීන් හට ද මෙම යෙදුම භාවිතයෙන් සජීවීව තරගය සමඟ එක්විය හැකි බව විශ්වාස  කෙරේ.

ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා එරට පනවා තිබූ හදිසි නීති තත්වය වහාම බලාත්මක වන පරිදි ඉවත් කිරීමට පසුගිය දා පියවර ගත් නමුත් තවමත් මහා පරිමාණ පුද්ගල ඒකරාශී වීම් සිදු විය හැකි ප්‍රධාන පෙළේ ඉසව් සියල්ලම සීමා සහිතව, දැඩි නීති රාමුවක් යටතේ පමණක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබේ. 

ජපානයේ පළමු පෙළ සහ ප්‍රධානතම බේස්බෝල් තරගාවලි සියල්ලම සංවෘත ක්‍රීඩාංගණයන් තුල පැවැත්වීමට තරග සංවිධායකවරුන් මේ වන විටත් සූදානමින් පසුවන අතර ඒ අනුව කලින් කාල සටහන්ගත කර තිබූවාට වඩා මාස තුනක් පසුපසින් (ජුනි මාසයේ සිට) සියලුම තරග ක්‍රියාත්මක කිරීමට ඔවුන් හට සිදු වනු ඇති බව වාර්තා වේ.

ජපානයේ ජේ ලීග් පාපන්දු තරගාවලියේ නව තරගවාරය ද ආරම්භ වී පළමු සතිය තුල දී ම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වූ අතර ඒ අනුව පෙබරවාරි මස සිට මේ දක්වා සැලසුම්කොට තිබූ තරගවලින් කිහිපයක් හෝ යලි ක්‍රීඩා කිරීමට සංවිධායකවරුන් බලාපොරොත්තුවෙන් පසුවන බව සඳහන් වේ. ජුනි මාසයේ මුල සිට හෝ ජූලි මස ආරම්භයේ දී තරගාවලිය යලි දියත් කිරීමට හැකි වනු ඇතැයි අනුමාන කෙරේ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<