උතුරත් දකුණත් යා කෙරෙන ලෝක රග්බි අලුත්ම වැඩපිළිවෙල

82
Six Nations

ලෝක රග්බි කණ්ඩායම් වර්ගීකරණයන්හී පළමු කාණ්ඩය නියෝජනය කරන ප්‍රමුඛතම රටවල් දහය එක්ව නව ආකෘතියක තරගාවලි කිහිපයක් දියත් කිරීමට සූදානමක් පවතින විදෙස් ක්‍රීඩා මාධ්‍ය ජාල කිහිපයක්ම ඊයේ (22) දිනයේ දී වාර්තා කර තිබුණි. 

>> නව නායකත්වයක්, වෙනස්ම ගමනක්!

යුරෝපයේ ප්‍රබලතම කණ්ඩායම් හයකින් සැදුම්ලත් Six Nations තරගාවලියේ සංවිධායකවරුන් මෙන්ම දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ආජන්ටිනාව යන රටවල් එක්ව නිර්මාණය කර ගත් Sanzaar එකමුතුවේ ඉහළ නිලධාරීන් සියලු දෙනා එක්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කොට ඇති බව සඳහන් වේ.

දැනට ක්‍රියාත්මක වන උතුරු සහ දකුණු අර්ධ ගෝලයන්හී රටවල් ලෙස බෙදා වෙන්කොට තරග කරන ආකෘතිය වෙනුවට මෙම වැඩසටහන වඩාත් ඵලදායි වනු ඇතැයි රග්බි විචාරකයින් රැසක් මත පළකර සිටිති. Covid-19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ අඩපණ වූ රග්බි ක්‍රීඩාව යළි පණගැන්වීම සඳහා මෙය බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

දෙපාර්ශවයේම එකඟතාවන් සම්බන්ධයෙන් පොදු ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මේ අවස්ථාවේ දී තම සාමාජික රටවලට හිමි විය යුතු තනි වරප්‍රසාදයන් උදෙසා කටයුතු කිරීම වෙනුවට අන්තර්ජාතික සහ ක්‍රීඩා සමාජ රග්බි තරග සියල්ල සාමුහික වශයෙන් දියත් කිරීමෙන් අත්පත් කර ගත හැකි වාසි පිළිබඳ සලකා බලන්නේ නම් එය වඩාත් සුදුසු බවයි.

ක්‍රීඩකයින්ගේ සුබසාධනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී මෙවැනි තරගාවලි සංවිධානය කිරීම වඩාත් යෝග්‍ය වන අතර තරගකාරීත්වයෙන් ඉහළ වන නිසාවෙන් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ අවධානය නිතැතින්ම මේ දෙසට යොමු කරගැනීමට හැකි වනු ඇතැයි ද බලාපොරොත්තු වේ.

>> හිටපු රග්බි පුහුණුකරු ජෝර්ජ් සිම්ප්කින් අභාවප්‍රාප්ත වෙයි

තවද ක්‍රීඩා සමාජ මට්ටමේ තරගාවලි සඳහා සහභාගී වීමේ දී බොහෝ වෘත්තීමය ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටලුවක් ලෙස අන්තර්ජාතික තරග සඳහා සහභාගී වීමට ඇති කාලසීමාව සීමා සහිත වීම හැඳින්විය හැක. මෙමඟින් එම ගැටලුව සඳහා ද යම්තාක් දුරකට සාර්ථක විසඳුමක් ලැබෙන නිසාවෙන් ක්‍රියාවට නැංවීමේ දී ඒ පිළිබඳව ද සලකා බැලෙනු ඇත.

2017 වසරේ සැන් ෆ්‍රැන්සිස්කෝහී පැවති සමුළුවක දී මේ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් වූ අතර ප්‍රධාන පෙළේ රටවල් සියල්ල එකතු කොට ගනිමින් Nations ශූරතාවලියක් හඳුන්වා දීම පිළිබඳව එහි දී වඩාත් කතා බහට ලක් විය. 

කෙසේ නමුත් 2019 වසරේ දී එම සැලසුම් බලාත්මක කිරීමට ගෙන ගිය උත්සහය ව්‍යාර්ථව යාමත් සමඟම සාම්ප්‍රදායික තරග රටවාටම අනුගත වීමට ක්‍රීඩකයින්ට සිදු විය.

BBC ක්‍රීඩා පිටුවත් සමඟ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ලෝක රග්බි සම්මේලනයේ සභාපති බිල් බියුමොන්ට් ප්‍රකාශ කොට තිබුණේ ඔහුගේ නව ධූර කාලසීමාව තුල දී මේ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතු පැහැදිලි තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි. ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේ මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නම් සාමාජික රටවල සහයෝගය තමන් වෙත ලැබීම අනිවාර්‍යෙන්ම සිදු විය යුතු බවයි.

>> රග්බි ක්‍රීඩකයන්ගේ බර කිලෝ 20කින් අඩු විය හැකි බවට මතයක්

“මෙම යෝජිත නව තරග මාදිලිය යථාර්ථයක් කරගැනීමේ දී අපි අවධානය යොමු කර යුතු කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා. ක්‍රීඩකයින්ගේ සුබසාධනය, කාන්තා රග්බි ක්‍රීඩාවේ ඉදිරි ගමන, ලෝක කුසලාන තරගාවලියේ වටිනාකම්වලට හානියක් නොවන අයුරින් අනුග්‍රාහක භවතුන්ගේ ආකර්ෂණය දිනා ගැනීම ඒ අතරින් කැපී පෙනෙනවා.” යනුවෙන් බියුමොන්ට් මහතා අදහස් දක්වා සිටියේය.

Codi-19 වසංගතය නිසාවෙන් අතහැර දැමූ ප්‍රධාන පෙළේ රග්බි තරගාවලි යලි ක්‍රියාත්මක කිරීමට මේ වන විට ඇතැම් රටවල් කටයුතු කරමින් පවතින අතර නවසීලන්තය තම ප්‍රධානතම දේශීය ක්‍රීඩා සමාජ තරගාවලිය ජුනි මස 13 සිට ආරම්භ කිරීමට සූදානමින් පසුවේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<