LPL පිටියේ “පොඩි මාලි” නුවන් තුෂාර

728
Nuwan Thushara

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කතාබහට ලක් වූ චරිත අතර නුවන් තුෂාර ද එක් ක්‍රීඩකයෙක්. ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන නුවන්ගෙන් මාලිංග නැති අඩු-පාඩුව Galle Gladiators කළමනාකාරිත්වය බලාපොරොත්තු වූයේ ඔහුගෙනි. මේ ඔහු ගැන ThePapare.com තබන සටහනක්.

“මට ලැබුණ මේ අවස්ථාව ගැන ගොඩක් සතුටු වෙනවා. මම මට හැකි අයුරින් උපරිමයෙන්ම කළා. මුල් තරග කිහිපය පරාජය වෙන කොට නම් ගොඩක් දුකක් දැනුණා. ඒ වෙලාවේ හිතුණා, මීට වඩා කණ්ඩායම වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා. ෆයිනල් එකක් ගහන්න ආසාවෙන් හිටියේ. අන්තිම අවස්ථාවේ ඒකත් ඉටු වුනා, සතුටුයි” නුවන් තුෂාර ThePapare.com සමග එක්වෙමින් පැවැසුවා. 

නුවන්ගේ කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නන් ලෙසින් එක්ව සිටියේ පාකිස්තානයේ Mohammed Amir සහ Waqas  Maqsood. මොවුන් දෙදෙනාම වමත් වේගපන්දු යවන්නෝ. දකුණතින් මද වේගපන්දු යැවූ නුවන්ට ඔවුන් සමඟ හරි හරියට පන්දු යවන්න ලැබුණ අවස්ථා අල්ප වුනත්, ඔහු තරගාවලිය තුළ තමන්ට ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. ඔහු තරගාවලිය අවසන් කරන්නේ තරග 5කට ක්‍රීඩා කරමින් පන්දුවාර 18ක් යවමින් ලකුණු 151කට කඩුලු 4ක් දවා ගනිමින්. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වන්නේ Kandy Tuskers කණ්ඩායමට එරෙහිව පන්දුවාර 2ක් යවමින් ලකුණු 08කට දවා ගත් කඩුලු 2යි. 

“ඒ තරගය අපිට ගොඩක් වැදගත් වුනා. අවසන් පූර්ව වටයට යන්න නම් අපිට ඒ තරගය දිනන්න ඕන. මම යැවුවේ තරගයේ දෙවැනි පන්දු ඕවරය. ඒකේ දෙවැනි පන්දුවේ දී කුසල් අයියව LBW කරන්න මට පුළුවන් වුනා. යවපු දෙවැනි පන්දු ඕවරයේ දී ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවා දවා ගත්තා. පළමු කඩුලු දෙකම දවා ගත්තේ මම” නුවන් එම තරගය ගැන සිහිපත් කළා. 

Nuwan Thusharaලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වන විට ගාලු කණ්ඩායමේ දක්ෂතා ලැයිස්තුවේ පන්දු යවන්නන් අතරින් පළමු තිදෙනා අතර සිටියේ ධනංජය ලක්ෂාන් (13), ලක්ෂාන් සඳකැන් (12) සහ Mohammed Amir (11). ඊට පසුව ලැයිස්තු ගත වූ පන්දු යවන්නන් අතර නුවන්ගේ නමත් තියෙනවා. 

“මම හිතනවා, මම සාර්ථකයි කියලා. මට පුළුවන් උපමරිමයෙන්ම මම කණ්ඩායමට දායකත්වය දැක්වූවා. ඒ වගේම කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයෝ මට උපරිමයෙන් සහයෝගය දැක්වූවා. විදෙස් ක්‍රීඩකයෝ කිසිවෙක් මාව දැකල තිබුණෙ නැහැ. පුහුණුවීම්වල දී තමයි ඔවුන් මට පළමු වරට හමුවෙන්නේ. ඒත් බොහොම ළඟින් ඔවුන්ව ඇසුරු කරන්න ලැබෙනවා. පුහුණුකරු Moin Khan නිතර උපදෙස් දුන්නා. ඒ වගේම Mohammed Amirගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ෆීල්ඩ් එක සෙට් කරගෙන පන්දු යවන විදිහ, ක්‍රීඩකයන්ගෙන් ක්‍රීඩකයන්ට පන්දු යැවීමේ විදි වෙනස් කරන එක ගැන වගේ දේවල්. Waqas Maqsood ද සෑම අවස්ථාවක ම උදව් කළා. Chadwick Walton හොඳ මිතුරෙක් වුනා.”

නුවන් පළමු වරට පළමු පෙළ ක්‍රිකට් තරග නියෝජනයට පිටියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට එරෙහිව. ඒ 2015 දෙසැම්බර් මාසයේ. එතැන් සිට මේ දක්වා නුවන්ට පළමු පෙළ ක්‍රීඩා කරන්න ලැබිල තිබෙන්නේ තරග 5ක් පමණයි. හරියටම ගත්තොත් අවුරුද්දකට එකක් ගානේ වගේ. නමුත් සියලුම ආකාරයේ විස්සයි විස්ස තරග 28කට ක්‍රීඩා කරන නුවන් මේ දක්වා කඩුලු 43ක් දවාගෙන තිබෙනවා. 

තවත් විශේෂාංග ලිපි:

ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය, තලාව කියන ගමේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ගහමින් සිටි නුවන් පාසල් කාලයේ ක්‍රිකට් සෙල්ලම් කළා නම් ඒ සැහැල්ලු පන්දු ක්‍රිකට් විතරයි. නුවන් පාසල් ගියේ ඉගල, තලාව කනිෂ්ඨ විද්‍යාලයට. බොහොම දුෂ්කර, අඩු පහසුකම් සහිත පාසලක්. අඩුම තරමින් පාසලේ සැහැල්ලු පන්දු ක්‍රිකට්වත් තිබුණෙ නැහැලු.

“අපේ ගමේ තිබුණා, තලාව දේදුණු කියලා ක්‍රීඩා සමාජයක්, මම ක්‍රිකට් ගහන්නේ ඔවුන් සමඟ. අපි  රට පුරා තිබුණ Six Side මැච් ගහන්නත් යනවා. ඔය අතර වේරගොඩ එක්සත් කණ්ඩායම සමඟත් Six Side ගහන්න ගියා. අවුරුදු 18ක් වේරගොඩට ගහනවා. ඇඳුම් පැලඳුම් වගේ අවශ්‍ය දේවල් පවා ගන්න මේ තරගවලට යෑමෙන් හැකි වුනා. ඔය අතර රාගම සුපර් සික්ස් සහ ගම්පහ එක්සත් කියන කණ්ඩායම්වලටත් සෙල්ලම් කළා.”

නුවන්ගේ පියා, අයි. ඩී. සරත් ගාමිණි. වෘත්තියෙන් පෙදරේරුවෙක්. අම්මා අයි. ඩී. රත්නසිලි, ඇය රැකියාවක් කළේ නැහැ. නුවන්ට තවත් සහෝදරයෝ දෙනෙක් ඉන්නවා. නිපුන් තාරක සහ සුපුන් චාමර කියලා. ඔවුන් සියලුම දෙනා යැපුණෙ පියාගේ පෙදරේරු රැකියාවෙන්. “ඒක බොහොම අමාරු කාලයක්” නුවන් තම අතීතය මතක් කළා. 

Nuwan Thushara
නුවන් තම මව හා පියා සමඟ

කොච්චර අමාරුකම් තිබුනත් නුවන්ගේ හිතත් ගතත් දෙකම ඉල්ලුවේ ක්‍රිකට්. ගෙදරින් වුනත් නුවන් ක්‍රිකට් ගහන්න යනවට මොනවත්ම කිව්වේ නැහැ. මොකද පාසල් යන කාලයේ සිටම තමන්ගේ දේවල් කර ගන්න මේ ක්‍රිකට් ගැහිල්ල නුවන්ලාට ගොඩක් උදව් වුන නිසා. 

“ඉගල කනිෂ්ඨයට යන කාලෙම මම මාස කිහිපයක් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇවිත් ඒ කණ්ඩායම සමඟ ක්‍රිකට් පුහුණු වුනා. රංජිත් ප්‍රියන්ත සර්ගෙන් තමයි මම ක්‍රිකට් ගැන මුලින්ම යමක් ඉගෙන ගත්තා නම් ඉගෙන ගත්තේ. මගේ බලාපොරොත්තුව වුනේ කරන්දෙණියට ඇවිත් ක්‍රිකට් ගහන්න. ඒත් ගෙදර තියෙන අඩු-පාඩුත් එක්ක ඒක ටිකක් අමාරු බව තේරුණා. මම ඉගලෙනුත් අයින් වෙලා AC Course එකකට ගියා. ඒකෙන් මට උවමනා වුනේ ඉක්මනින් රස්සාවක් හොයා ගන්න.”

දැන් නුවන් සතියේ දවස්වල වෘත්තීය පුහුණුවට යනවා. සති අන්තයේ Six A Side තරගවලට සහභාගි වෙන්න රට පුරා යනවා. මේ අතර දවසක නුවන්ගේ ගමන වෙනස් කළ තීරකයා හමු වෙනවා. ඒ කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි දුෂාන් කාරියවසම් මහතා. මේ ගැන දුෂාන් කාරියවසම් මන්ත්‍රිවරයා පැවසුවේ මෙහෙම කතාවක්.

“මේ 2013 විතර කතාවක්. එදා අපි තලාව ප්‍රදේශයේ ශාඛා සමිති පිහිටුවනවා. දහවල් කෑම ගත්තට පස්සේ අපි ගමේ තරුණයන් සමඟ ක්‍රිකට් ගහන්න ගත්තා. මේ ක්‍රිකට් ගහන්න ආපු අය අතර නුවනුත් ඇවිත් හිටියා. යවපු මුල්ම පන්දුවෙන්ම අපිට නුවන්ගෙ ලොකු වෙනසක් තේරුණා. ඔහු සතුව තිබූ ක්‍රිකට් දක්ෂතාව මගේ හිත ගත්තා. කවදහරි දවසක ඔහුට උදව් කරන්න ඕන කියන දේ ඇති වුනා. මේ නිසා මගේ හිතවතෙක් වූ හරීන් සේමගේ හමුවුනා. ඔහුගේ ඥාති සහෝදරයෙක් උපුල් තරංග. ඒ මාර්ගයෙන් නුවන් කොළඹට එවනවා.”

Nuwan Thusharaඑදා ආරම්භ කළ ගමනේ බොහෝ දුර එන්න දැන් නුවන් සමත් වෙලා. මේ පිටුපස විශාල පිරිසක් නුවන් ව තල්ලු කළා කියලයි නුවන් පවසන්නේ. දුෂාන්, හරීන්, උපුල් මෙන්ම හැළඹගේ කුමාර යන මහත්වරුනුත් ඊට අමතරව සැහැල්ලු පන්දු සෙල්ලම් කළ බොහෝ පිරිසක් ද ඉන්නවා කියලයි නුවන් කියන්නේ.

“ක්‍රිකට් ගහන්න ආසාවට කොළඹ ආවත් මට කිසිම අරමුණක් තිබුණෙ නැහැ. නැවතිලා හිටපු බෝඩිමට, බස්වල යන්න එන්න පවා මුදල් ගෙව්වේ සොබා (Soft Ball Cricket) ගහපු යාළුවෝ. අදටත් ඒ Set එක මමත් එක්ක ඉන්නවා. ඒ ගැන සතුටුයි. අනූෂ සමරනායක සර් සහ දිල්හාර ප්‍රනාන්දු අයියා තමයි මාව අරමුණක් ඇතිව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ. මට අවශ්‍ය වුනේ හයියෙන් බෝල් කරන්න විතරයි. ඒක වෙනස් කළේ අනූෂ සර්.”

Nuwan Thushara
අර්ජුන රණතුංග හමුවූ අවස්ථාවක්

හයියෙන් බොල් කරන්න කොළඹ ආව, නුවන් තුෂාර ටික දවසකින් දිල්හාරත් සමඟ එස්. එස්. සී. ගහන්න යනවා. එතැන තරගාවලි කිහිපයක් ක්‍රීඩා කරන නුවන් ඊට පස්සේ සී. සී. සී. කණ්ඩායම තෝරා ගන්නවා. එතැන් සිට මේ දක්වා නුවන්ගේ නවාතැන සී. සී. සී. එක. නුවන් එතැනට යන විට තරංග ධම්මික පුහුණුකරු වූ අතර කණ්ඩායමේ නායකත්වයේ සිටියේ අශාන් ප්‍රියන්ජන්.

“සී. සී. සී. එක මට විශාල ශක්තියක් වුනා. එදා සිට අද දක්වා මාත් සමඟ ක්‍රීඩා කළ සෑම කෙනෙක්ම මට විශාල ලෙස සහයෝගය දැක්වුවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි පෙරේරා සර් ගොඩක් උදව් කළා. අදටත් ශම්මි සර් මට ගොඩක් උදව් කරනවා. මං ගැන ගොඩක් සොයා බැලුවා. ඒ වගේම චමිල ගමගේ, රවින්ද්‍ර පුෂ්පකුමාර අයියලා මම වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා. ඔවුන් තමයි මාව අද ඉන්න තත්ත්වයට ගෙනාවේ. ඒ වගේම මාලි අයියා (ලසිත් මාලිංග) නතරම කතා කරනවා. ගොඩක් උපදෙස් දෙනවා. ඒක මට විශාල ශක්තියක්.” 

Nuwan Thusharaනුවන් මේ වන ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ සංචිතය හා එක්ව සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකයෙක් වන අතර නැගී එන කණ්ඩායම සමඟ එක්වෙමින් තරගාවලියක් ද නියෝජනය කළා. 

“පටන් ගත්ත දේවල් ඉවර කරන්න ඕන. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා, කැප වෙනවා. තව තවත් දේවල් ඉගෙන ගන්නවා. මාලි අයිය වුනත් කියන්නේ හරියට කරන්න, බය වෙන්න එපා, වරදින්නේ නැහැ කියලා. වැඩි වැඩියෙන් තරගවලට සහභාගී වෙලා අත්දැකීම් ලබා ගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එන්න ලෙහෙසියෙන් බැහැ. ඒත් ඊට එක්වෙන්න තරගයක් දෙනවා. විශ්වාසයකින් යුතුව වැඩ කරනවා” නුවන් පැවසුවා. 

දකුණේ සැඟවුන ගම්මානයකින් කොළඹ ඇවිත්, මාලිංගගේ අඩුව පුරවන්නට පෙරුම් පුරන පොඩි මාලි, නුවන් තුෂාරට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<