කෙටිදුරෙන් එතෙර දිනා යගුලියෙන් රට දිනූ “ජෝයි”

903

ඇත්මඩලගේ ජෝයි ධනුෂ්ක පෙරේරා මෙරට මලල ක්‍රීඩාවේ සුවිශේෂී ක්‍රීඩකයෙක්. කෙටිදුර ධාවකයෙක් ලෙසින් දක්ෂතා දක්වමින් සිටිය දී මුහුණ පෑ අනතුරක් හේතුවෙන් යගුලිය ඉසව්ව තෝරා ගනිමින් ඒ ඉසව්වෙන් ජාතික ශූරයා වූ ක්‍රීඩකයෙක්. මේ ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ කඩඉම් ගැන ThePapare.com තබන සටහනක්. 

ජෝයිගේ පියා ජෝයි විල්ෆ්‍රඩ් පෙරේරා. කඳාන ද මැසිනෝද් විද්‍යාලයේත් ඊට පසුව නාගොඩ මහා විද්‍යාලයෙනුත් ශිල්ප හැදෑරූ අයෙක්. පාසල් කාලයේ දිවීමේ තරගවලටත් යගුලිය දැමීමේ ඉසව්වේත් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්. මේ නිසාම පොලිස් සේවයට එක්වීමට වාසනාවන්ත වූ අයෙක්. 

“තාත්තා 1983 අවුරුද්දේ නැති වෙනවා. එතකොට වැඩ කරල තියෙන්නේ ආනමඩුව පොලිස් ස්ථානයේ සාජන්වරයෙක් ලෙසින්. මම තාත්ත දැකල නෑ. මම ඉපදෙන්න මාස 4කට විතර කලින් තමයි තාත්තා මැරිල තියෙන්නේ. තාත්තව සිහිවෙන්න තමයි මගේ නමටත් ජෝයි කෑල්ල එන්නේ.”

ජෝයිගේ අම්මා, දයානි කුලතුංග. කිසිදු හව්හරණක් නොමැති විටක තම පුතා උපද්දවනවා. කරන්න රස්සාවක් නෑ. හරි හමං ආදායමක් නැහැ. බැරිම තැනත්, වෙනත් කරන්න කිසි දෙයක් නැති තැනත් ජෝයිගේ අම්මා, ජෝයි මෙරට තනි කරලා පිටරට රැකියාවක් සඳහා පිටත් වෙනවා. 

“අම්මා රට යද්දී මට අවුරුදු 3ක් විතර වගේලු වෙන්නේ. මාව උස් මහත් කළේ ආච්චි. තාත්තගෙ අම්මා. තාත්තගේ සහෝදර සහෝදරියන් තමයි බලාගෙන තියෙන්නේ. ‘ඒක හරි අමාරු කාලයක්.’ ආච්චි නිතරම කියපු කතාවක්. අම්ම පිටරට ඉඳන් හැම මාසෙම සල්ලි එවනවා. ඒකෙන් තමයි මගේ හැම දෙයක් ම ආච්චි කරල තියෙන්නේ.”

කුඩා වියේදී

අම්ම ගෙදර නැති එක කුඩා ජෝයිගේ සෙල්ලමට කදිම පිටිවහලක් වුනා. ආච්චිට ඕවා බලන්න එච්චර වෙලාවක් නැහැ. තිබුනත් ‘අම්මත් තාත්තත් නැති පොඩි එකානේ’ කියල පොඩි තරවටුවක් කරල නිහඬ වෙනවා. ජෝයි ඉතිං වැඩි හරියක්ම සෙල්ලමේ ම තමයි. සරුංගල් හදනවා, ක්‍රිකට් ගහනවා, ඔට්ටුවට දුවනවා. ඒව තමයි ජෝයිගේ ජීවිතය වෙන්නේ. වත්තෙ පිටියේ වගේම ගෙදර ආසන්නයේ ඇති වෙල්යායේ හැම අස්සක් මුල්ලක ම ජෝයිගේ පා සටහන් ඇති.  

ජෝයි පාසල් යන්නේ කඳාන ද මැසිනොද් විද්‍යාලයට. පාසලේ 4 වසරේ දී ජෝයි පාසලේ නිවාසාන්තර තරගවලට සහභාගී වෙනවා. කිසිදු පුහුණුවක් නොමැතිව සහභාගී වූ එම තරගවල දී ජයග්‍රහණය කරන ජෝයි ඊට පසුව කොට්ඨාස තරගවලටත්, ඊටත් පසුව බස්නාහිර කලාප තරගවලටත් සහභාගී වෙමින් සමස්ත ලංකා තරගවලටත් සහභාගී වෙනවා. 

“ඒ අවුරුද්දේ මම මීටර් 75 සහ 100 තරග ඉසව් දෙකම බස්නාහිර පළාත් දිනනවා. මේක පාසල ලැබූ ලොකු ජයග්‍රහණයක්. මේ නිසා පාසලෙන් ගොඩක් උදව් කළා. විදුහල්පති වෙලා හිටියේ ග්‍රැන්විල් පෙරේරා සහෝදරතුමා. එතුමා මගේ තත්ත්වය දැනගෙන මට පෞද්ගලිකවත් පාසල් මට්ටමෙනුත් උදව් කළා. පාසල් ගාස්තු පවා අඩු කළා. මම පාසලින් ඉවත් වෙන තුරුම විදුහල්පති ලෙසින් හිටියේ එතුමා. එතුමා මගේ මලල ක්‍රීඩා ජීවිතයට ලොකු ශක්තියක් වුනා.” 

කිසිදු පුහුණුවක් නොමැතිව පළාත් තරග දිනූ ජෝයිට, වයස අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයේ දී හරි අපූරු පුහුණුකරුවෙක් ලැබෙනවා. ඔහු ජුඩික නිශාන්. පාසලේ මලල ක්‍රීඩා කණ්ඩායමේ නායකයා. ඔහු ජෝයිට පුහුණුකරුවෙක් වෙනවා. දෙන්නත් එක්ක කළ පුහුණුවේදි ජෝයි පළමු අවුරුද්දේ ම සමස්ත ලංකා තරගාවලියේ දී දෙවැනි ස්ථානය ලබා ගන්නවා. 

“13න් පහළ ඉවර වුනාට පස්සේ මගේ කකුලේ මස් පෙරළෙනවා වගේ වුනා. ඇඳෙන් බහින්නවත් බැහැ. අමාරු වුනා. සිංහල බෙහෙත් කළා. ඒත් හොඳ වුනේ නැහැ. ඇන්කල් එකෙන් දණහිසට ආවා. බැරිම තැන ඉංග්‍රීසි බෙහෙත් කළා. පරික්ෂණවල දී කිව්වේ රූමැටික් උණ සහ ආතරයිටීස් දෙකම තියෙනවා කියලා. මාසයක් විතර යද්දී හොඳ වුනා. ඒත් දොස්තරවරු කිව්වේ ක්‍රීඩා කළොත් ආයිමත් මේ ලෙඩේ මතුවෙන්න පුළුවන් කියලා. ඒ නිසා අවුරුදු කිහිපයක් කිසිදු ක්‍රීඩාවක් කළේ නැහැ.”

මේ සංක්‍රාන්ති සමය ජූඩ් ගෙවා දමන්නේ හරි අමාරුවෙන්. ක්‍රීඩා කරන්න කැමැත්තක් තිබුනත් ඒකට සුදුසු පරිසරය ගෙදරින් හැදුණේ නැහැ. ආච්චි තමයි පරහකට ඉඳල තියෙන්නේ. 

“ආච්චිට කොච්චර කිව්වත් මට පිට්ටනියකට බහින්න දුන්නෙ නැහැ. පස්සෙ මම බාස්කට් බෝල් ගහන්න ආවා. ආච්චි ඒකට අවසර දුන්නේ වැඩිය දුවන්න නැහැ කියල කියපු නිසා. ආච්චි ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ. ටික දවසක් සෙල්ලම් කරන විට මට දැනුණා දුවන්න පුළුවන් කියලා.”

ජෝයි නැවත වෛද්‍යවරු හමුවෙනවා. සම්පූර්ණයෙන්ම සුව නොවුනත්, ඒ පරීක්ෂණවලින් පසුව ජෝයිට නැවත මලල ක්‍රීඩා පිටියට බහින්න ඉඩ සැලසෙනවා. දැන් ජෝයි පැසිපන්දු වගේම තමන්ගේ කෙටිදුර ඉසව්වල ද පුහුණු වෙනවා. ‘මුල් දවස්වල 15න් පහළ අයටත් පරාද වුනා. එතකොට මට අවුරුදු 18ක් විතර ඇති,’ ජෝයි පවසනවා.

ජෝයි නැවත සුපුරුදු රිද්මයට පැමිණෙන්නේ වයස අවුරුදු 18න් පහළ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 200 ඉසව්වෙන් තෙවැනියා බවට පත් වෙමින්. ඒ ගැන ජෝයි සිහිපත් කළේ මෙහෙම.

පැසිපන්දු ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වමින්

“මම 19න් පහළ කාණ්ඩයේ දී මීටර් 100 සහ 200 දෙකම දිව්වා. නැවත සුපුරුදු දක්ෂතාවලට ආවා. සීනියර් නැෂනල් රෙකෝඩ් බ්රේක් කළා. මේ නිසා මට 2001 වසරේ දී බෘෘනායිවල තිබුණ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒකෙදි මම මීටර් 100 සහ 200 දෙකේ දී 7 වැනියා වුනේ. ඒත් මගේ හොඳම කාලය ඒ තරගාවලියේ දී වාර්තා කළා.”

ඒ වෙද්දී ජෝයි විද්‍යාලයීය පැසිපන්දු කණ්ඩායමේ නායකයා. සමස්ත ලංකා අනුශූරයන් වුනේ ඔවුන්. 2002 ශ්‍රී ලංකාවේ හොඳම පැසිපන්දු ක්‍රීඩකයා ලෙසින් ජාතික සංචිතයට ද එක්වීමට ඔහු වරම් ලැබුවා. ඔය අතර මෙරට දී පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 200 ඉසව්වට සහභාගී වීමටත් අවස්ථාව උදා වුනා. නමුත් ඔහු අවසන් පූර්ව තරගයේ දී පරාජය වෙනවා.

පසුව සහභාගී වූ 2002 සිංගප්පූර් විවෘත මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් 200 ඉසව්වේ රිදී පදක්කමක් දිනා ගත් ජෝයි කාගේත් අවධානය දිනා ගත්තා. ඒක තමයි ජෝයි ඒ වෙද්දී දිනා ගත් ඉහළම පදක්කම. ඊට පසුව  2003 දී පිලිපීනයේ මැනිලා නුවර පැවති ආසියානු ශූරතාවලියට සහභාගී වූ ජෝයි ඇතුළු කණ්ඩායම මීටර් 100 සහාය දිවීමේ ඉසව්වට සහභාගී වෙමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට සමත් වෙනවා. 

“ඒ වෙද්දී මම පුහුණුවිම් ලැබුවේ මගේ පාසල් පුහුණුකරු වූ සුරේෂ් චම්පික මහතා සහ අයි. ඩී. ප්‍රේමසිරි මහතා යටතේ. මේ දෙන්නා යටතේ මලල ක්‍රීඩාව පුහුණුවෙන ගමන් බාස්කට් බෝල් ක්‍රීඩාවත් කළා. ඒක හරි අපහසුයි. මේ නිසා මම බාස්කට් බෝල් අතහැරලා මලල ක්‍රීඩාව විතරක් තෝරා ගත්තා. ඒත් එක්කම ජාතික පුහුණුකරු වූ සුනිල් ගුණවර්ධන සර් ළඟ පුහුණුවීම්වලට සහභාගී වුනා”. 

මේ කියන 2004 වසරේ දී පාකිස්තානයේ පැවති සාග් ක්‍රීඩා උළෙලේ දී ජෝයි ඇතුළු පිරිස මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ රිදි පදක්කම දිනා ගත්තා. අනතුරුව එම වසරේ ම පැවැති ආසියානු ගෝන් ෆ්‍රී තරගාවලියේ මීටර් 100 තුන්වැනියා වෙමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ජෝයි සමත් වෙනවා. එම තරගාවලියේ ම මීටර් 100 සහාය දිවීමේ ඉසව්වට සහභාගි වෙමින් නැවත වතාවක් ශ්‍රී ලංකා නව තරග වාර්තාවක් තබනවා.

“ඒකෙදි අපි මිනිත්තු 39.71ට දුවනවා. පළමු වතාවට 40ට අඩුවෙන් දිනලා රිදී පදක්කම දිනුවා. 2005 කොරියාවේ පැවති ආසියානු ශූරතාවලියට සහභාගී වුනා, රිලේ කණ්ඩායම නියෝජනය කරමින්. නමුත් ප්ලේස් නැහැ. ඒක තමයි මගේ අවසන් ජාත්‍යන්තර දිවීමේ තරගය වුනේ.”

රටක් දිනූ මෙන්ම ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා කෙළිබිමේ අනාගත අපේක්ෂාවක් බවට පත්ව සිටි ජෝයි 2006 වසරේ එක්තරා දවසක දී හදිසි අනතුරකට ලක් වෙනවා. එය ජෝයිගේ ඉරණම වෙනස් කරන සිදුවීමක් ද වෙනවා. ජෝයි ඒ අඳුරු දවස ගැන මතක් කරන්නේ මෙහෙම.

“මම අපේ රටේ තිබුණ සාග් තරගාවලියට සූදානම් වෙමින් හිටියේ. ඒ වෙද්දී මාස දෙකක් විතර තමයි තරගාවලියට තිබුණේ. මම රන් පදක්කම් බලාපොරොත්තු වූවන්ගේ ලිස්ට් එකේ හිටි ප්‍රධාන කෙනෙක්. මේ නිසාම මට ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) දැන්වීමක රඟපාන්න ලැබුණා. මම දවසේ පටිගත කිරීම් කරලා පෙම්වතිය සමඟ බයික් එකේ ගියා. ඒත් වත්තල ටොයොටා එක ඉස්සරහ දී බයික් එක අනතුරකට ලක් වුනා. දකුණෙ කකුලෙ බල නහරයේ භාගයක් ගැලවිලා තිබුණා. පෙම්වතියත් සුළු තුවාල ලැබුවා. මගේ කකුලේ හිරි වැටීම කාලයක් තිබුණා. මේ නිසා සාග් තරගාවලියට සහභාගී වෙන්න බැරි වුනා.”

ජෝයි කෙටි දුර තරගයක දී

මාළුවා පිහිනනවා හැරෙන්නට වෙන මොනවා කරන්න ද? ජෝයිගෙ හිතේම තිබුණෙ මලල ක්‍රීඩාව. ඒ වෙද්දී ජෝයි නාවික හමුදා මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩකයෙක්. මේ නිසා අවශ්‍ය වෛද්‍ය පහසුකම් කලට වේලාවට ලැබුණා. ඒත් ඉක්මනින් සුව නොවීම ගැන ජෝයි හිටියේ කනස්සල්ලෙන්. 

“මම අනතුරට ලක්වෙලා අවුරුද්දකට විතර පස්සේ නැවත දුවන්න උත්සාහ කළා. ඒත් වෙනද වගේ කකුල සෙට් නැති බව දැනුණා. කකුල වේගයෙන් එන්නෙ නැහැ කියල තේරණා. අවුරුද්දක් විතර මම මගේ උපරිම රිද්මයට එන්න උත්සාහ කළා. ඒත් බැරි වුනා. මේ නිසා සුනිල් සර් බොහෝ අයගෙන් දොස් ඇහුවා. මගේ පසු බැසීමට හේතුව සර් කියලා කිව්වා. මේක මට දරාගන්න බැරි වුනා. මොකද මම දන්නව වුනේ මොනවද කියලා. මම සර් එක්ක කතා කරලා මලල ක්‍රීඩාවෙන් ඉවත් වුනා.”

එසේ ඉවත් වෙන ජෝයි අනතුරුව මලල ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ පුහුණුකරුවෙක් ලෙසින්. ඒ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ කනිෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් ලෙසින්. ඒ සඳහා උදව් කරන්නේ සුනිල් ජයවීර මහතා. ඔය අතර දවසක දී ජෝයි, ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ප්‍රනාන්දුගේ සහෝදරයාගේ විවාහ උත්සවයට සහභාගී වෙනවා. එම ගමන ජෝයිගේ ඉරණම වෙනත් ලෙසකින් ලියැවෙන්න ගන්නවා.

“සුසන්තිකා ඔලිම්පික් දිනලා ඇවිත් මාධ්‍ය හමුව තිබුණේ ඒ හොටෙල් එකේ. සුසන්තිකා මාව දැකලා ඇහුවා දැන් දුවන්නැද්ද කියලා. මම කෙටියෙන් විස්තරේ කිවුවා. ඇය මට කිව්වේ ‘උඹල දුවන්නේ නැතිව කවුද දුවන්නේ. උඹ මම ළඟට වරෙන් මම පුහුණු කරල ගන්නම්’ කියලා. එතකොට මට අවුරුදු 23යි. හිත ක්‍රීඩාවේම තමයි. සුසන්තිකාගේ කතාව මට හොඳට ම වැදුණා. ඒ වෙද්දි මම විවාහ වෙලා. මම බිරිඳ සමඟ කතා කරල සුනිල් සර්ටත් කියලා රස්සාවෙන් අයින් වුනා. ආයිමත් නේවි එකට ලියුමක් දුන්නා. සුසන්තිකා සමඟ එක්වෙලා පුහුණුවිම් පටන් ගත්තා.”

නමුත් ජෝයිට මේ වැඩේ දිගටම කරගෙන යන්නට ලැබෙන්නේ නැහැ. නැවත ජෝයිගේ ජීවිතයට කණකොකා එබිකම් කරනවා. සුසන්තිකා එකල මුහුණ දුන් පෞද්ගලික ප්‍රශ්න හේතුවෙන් පුහුණුවීම් මඟ හැරෙනවා. ජෝයිගේ ඥාති සහෝදරයෙක් ද හදිසියේ ම මිය යනවා. ඒ කම්පනය සමග සිටිද්දී ආදරණීය මිත්තනිය ද මිය යනවා. එය ජෝයිගේ ජීවිතයට ප්‍රබල ලෙස බලපෑවා.

“ආච්චි නැති වෙච්ච එක මට දරාගන්න බැරි වුනා. සුසන්තිකා එන්නෙත් නැහැ. මට දුවන්නත් බැහැ. ලැබුණ එකම දේ නැවත නේවි එකේ සංචිතයට එක්වෙන්න පුළුවන් වුන එක විතරයි. භද්‍රා ගුණවර්ධන මේ දවස්වල මට ගොඩක් උදව් කළා. මට දැන් ක්‍රීඩාවක් නොකර බැහැ. මොකද එහෙම වුනොත් නේවි එකෙන් අයින් වෙන්න වෙනවා. මම වෙනත් ඉසව්වක් කරන්න තීරණය කළා.”

එතෙර දිනාවිත් මෙරට දී ඇගයීම් ලබා…

ඒ අනුව ජෝයිගේ තෝරා ගැනීම වුනේ හෙල්ල විසී කිරීමේ ඉසව්ව. ඔහු ප්‍රදීප් නිශාන්ත මහතා යටතේ පුහුණුවිම්වලට සහභාගි වුනා. ඒත් මාස දෙකක පමණ කාලයක් පුහුණුවිම්වල දී ජෝයිට තේරෙනවා ඒක හරියට වැඩක් නෙවේ කියලා. 

“ඊට පස්සේ මගේ තේරීම වුනේ යගුලිය දැමීම. ඒත් ටොරින්ටන් එකේ මේක කරන්නත් බැහැ. ලැජ්ජයි. මට රස්සාව බේර ගන්න නම් ක්‍රීඩාවක් කළ යුතුයි. ඒත් කකුලෙ අමාරුවත් එක්ක හරි යන එකක් තමයි කරන්න ඕන.  මම කොළඹ කොටුවේ කරක් ගහලා රුපියල් 1850ක් දීල යගුලියක් අරගෙන ගෙදර ඇවිත් සති දෙකක් විතර කරේ තියාගෙන දැම්මා. මම මීටර් 11.5ක් විතර දැම්මා.”

සති දෙකක පමණ පුහුණුවෙන් පස්සේ ජෝයි ක්‍රීඩා අමාත්‍යාංශයට ගොස් මේ ඉසව්වේ පෙළ ගැස්වීම සොයා බැලුවා. එහි 8 වැනියාගේ දක්ෂතාව වී තිබුණේ මීටර් 11.4ක්. ජෝයිට ඊට වඩා සතුටක් නැහැ. ලැජ්ජාව පසෙකින් තැබූ ජෝයි යගුලියත් රැගෙන ටොරින්ටන් පුහුණුවීම්වලට යනවා. යහළුවන්ටත්, නාවික හමුදා කණ්ඩායමටත් මේක අලුත් දෙයක්. 

“හැමෝම මම දිහා බැලුවේ අමුතු විදිහට. මම මගේ වැඩේ පටන් ගත්තා. මම මේ ඉසව්වෙන් සහභාගී වුන පළමු තරගය වුනේ 2009 ජාතික තේරිම් තරග. මම ඒකෙ 7 වැනියා වෙනවා. ඊට මාස දෙකකට විතර පස්සේ පොළොන්නරුවේ දී ජාතික මලල ක්‍රීඩා උළෙල තිබුණා. ඒකෙදි මම මීටර් 13.48ක් දාල ලංකාවේ තුන්වැනියා වෙනවා.”

එතෙක් යගුලියේ පුහුණුකරුවෙක් නොසිටි ජෝයිට පුහුණුකරුවෙක්ගේ සේවය එතැන් සිට අවශ්‍ය වෙනවා. මේ අනුව ඔහු ඒ සඳහා එවකට සිටි විශිෂ්ටතමයා වන ඒ. ජේ. රොද්‍රිගූ මහතා සොයාගෙන යනවා. ජෝයි පවසන්නේ ඒක හරි දුෂ්කර ගමනක් බවයි. ජෝයිට දිනපතා කඳානේ සිට පන්නිපිටියට යන්න වෙනවා. ඒ රොද්‍රිගූ මහතා පන්නිපිටියේ සිටි නිසා. එහෙම පුහුණුවීම්වලට සහභාගී වුන ජෝයි 2010 වසරේ දී යගුලියේ දෙවැනියා බවට පත් වෙනවා. 

“ඊට පස්සෙ අවුරුද්දේ මම ජාතික තරගාවලියේ දී මීටර් 14.05ක් දාල ලංකාවේ පළමුවැනියා වෙනවා. එතැන් සිට 2018 අවුරුද්ද දක්වාම යගුලියේ ජාතික ශූරයා වෙන්නේ මම. ඒ දවස්වල මේ ඉසව්වේ දක්ෂතාව වුනේ මීටර් 13ක් හෝ ඒ හා සමාන අගයන්. ඒත් මම ඒක මීටර් 16ක් දක්වා ගෙනාවා. 2016 වසරේ ඉන්දියාවේ පැවති සාග් තරගාවලියේ දී මම 15.86ක් දමමින් හතරවැනියා වුනා. ඒක තමයි මගේ ජාත්‍යන්තර තරග පිටියේ ඉහළම දක්ෂතාව.”

තවත් විශේෂාංග ලිපි:

මේ වෙද්දී 37 හැවිරිදි වියේ පසුවෙන ජෝයි පවසන්නේ ‘දැන් නම් ඇති’ කියාය. ඒ ඔහුගෙන් පසු හැදී එන පිරිසට ඉඩ දිය යුතු නිසාය. කෙසේ වෙතත් ජෝයි මේ වෙද්දීත් යගුලිය ඉසව්වේ ජාතික මට්ටමේ පළමු ස්ථාන තුන අතර සිටිනවා. මේ අතර නාවික හමුදා පැසිපන්දු කණ්ඩායම වෙනුවෙන් දශකයක කාලයක් තිස්සේ නියෝජනය කරනවා. නායකත්වයේ ද කටයුතු කළා. 

ජෝයි තම ආදරණීයයන් සමග

“ක්‍රීඩාවම තමයි ජීවිතේ. වෙනත් කිසිවක් ගැන හිතෙන්නෙම නැති තරම්. මේ වෙද්දී මම ශ්‍රි ලංකා TRACK AND Field Athletic Win කියන ක්‍රීඩකයන් සංසදයේ සභාපති විදිහට කටයුතු කරනවා.  ක්‍රීඩාව දියුණු කරන්න වගේ ම මේ තියෙන ක්‍රීඩකයන් ඉහළට ගැනීමත් අරමුණෙන් මගේ මූලිකත්වයෙන් මේක පිහිටුවා ගත්තේ” ජෝයි පවසනවා. 

ජෝයිගේ බිරිඳ රන්දිකා විදුශානි අබේරත්න. පාසල් ප්‍රේමයක ප්‍රතිඵලයක්. ජෝයි අනතුරට ලක් වෙන්නේ ද ඇය සමඟ. ඔවුන්ගේ කුටුම්බයේ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගනුම ලබන මහිමි ජෙනිත් පෙරේරා දියණියත්, ද මැසිනෝද් විද්‍යාලයේ ඉගනුම ලබන මයිකල් ජෝයි පෙරේරා පුතණුවනුත් සහ වයස අවුරුදු 2ක් වන මලීනා ජෙනලි පෙරේරා නැමති දියණියත් සිටිනවා. 

“බිරිඳ ලොකු සපෝට් එකක් දෙනවා. ඒ වගේම මගේ කටයුතු වෙනුවෙන් ලොකු නිදහසක් ලබා දෙනවා. මම ක්‍රීඩා කරනවට අමතරව පුහුණුකරුවෙක් ලෙසින් ද කටයුතු කරනවා. මගේ පුහුණුවීම්වල උදේ වරුවේ කරල සවස් වරුවේ වෙනත් අය පුහුණු කරවනවා. මේ නිසා කාර්ය බහුලයි.“

කෙතරම් කාර්ය බහුල වූව ද ජෝයිගේ බලාපොරොත්තුව අනාගතයේ මෙරට විසි කිරීමේ තරග ඉසව් හොඳ මට්ටමකට ගේන්න. ඒවගේ මලල ක්‍රීඩාව වෘත්තීය මට්ටමට ගෙන එන්නත් ඔහුගේ එක් ආසාවක්. ‘මේ වෙනුවෙන් ලැබෙන හැම වෙලාවක් ම ගත කරනවා.’ ජෝයි පවසනවා. 

ඔහුගේ බලාපොරොත්තු සඵල වේවායි ThePapare.com අපෙන් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<